“මීළඟ යෝධ පිම්ම තබන්න අරගලයේ ජනතා පුස්තකාලය සූදානම්”

මගේ කියැවීමට සහ දැක්මට අනුව අරගල භූමියේ ප්‍රධාන කොටස් හතරක් තිබුණා.

  1. ගෝඨාගෝගම පුස්තකාලය
  2. ගේට් සීරෝ
  3. ගම සහ කුස්සිය
  4. මාධ්‍ය මධ්‍යස්ථානය

මේ අතරින් මිනිස්සුන්ව වඩාත්ම සංවේදී කරපු තැන, ජාත්‍යන්තරයේ වැඩිම අවධානය ගත්ත තැන බවට පත් වුනේ පුස්තකාලය. ගෝඨාගෝගම පුස්තකාලයෙන් මගේ දුවට තෑගි ලැබුණ පොතක් ගෙදර තියනවා. ඒක අපූරු සිහිවටනක් වේවි.

මේ පුස්තකාලය ගැන, ඒ පුස්තකාලයේ ආරම්භකයෙක් වෙන අපේ චමලේ Chamal Akalanka Polwaththage තිබ්බ සංවේදී සටහනක්.
(මංජුල සමරසේකර)

අරගලය එක තැනක නොපවතී. රටම අරගල බිමකි !!

අර්ජුනත් මමත් අශානුත් අප්‍රේල් 11 වෙනිදා රෑ, පොත් 15-20 ක් අත්වල තියාගෙන 10×10 ටෙන්ට් එකක පුස්තකාලය පටන් අරන්, පුස්තකාලය කියලා භාෂා තුනෙන්ම ලියපු බෝඩ් කෑල්ලක් උස්සගෙන ගත්‍ත පොටෝ එකක් ෆේස්බුක් දැම්මා.

එතනින් පස්සෙ සිදුවුණ දේ අමුතුවෙන් ලිවිය යුතු නැහැ. පුස්තකාලය පුංචි පැලයක් විදිහට ආරම්භ කලාට පස්සෙ අපි අමුතුවෙන් කිසිම දෙයක් කලේ නෑ. පුස්තකාලය විසින්ම ස්වයංපෝෂිත ජීවියෙක් විදිහට මේ රටේ ජනතාවගෙ ආදරය ගෞරවයෙන් පෝෂණය වෙමින් මහා වනස්පතියක් වෙනතෙක්ම අතුපතර විහිදවමින් වැඩුණා.

ලංකාවේ විශ්වවිද්‍යාලවලින් මේ පුස්තකාලය ගැන පර්‍යේෂණ කළා.
පිටරටවල්වල පවා අරගලයක් ඇතුලෙ හදපු අමුතු පුස්තකාලෙ ගැන කතා කරන්න පටන් ගත්තා.

අදටත් දහස් ගණන් දරුවන් මේ පුස්තකාලයෙන් තමන්ගේ අධ්‍යාපනයට උදව් ගන්නවා.

පුස්තකාලය දාපු දවස්වල පුස්තකාල දාලා අරගල කරන්න පුළුවන්ද කියලා අහපු අය ගොඩක් හිටියා.

ඒ දවස්වල ඒ කිසි දේකට උත්තර දුන්නෙ නෑ. මොකද රාක්කයක්වත් නැති පුස්තකාලෙ බිම තිබ්බ පොත් සීය දෙසීය වැස්සෙන් බේරගන්න වැඩ තිබ්බ හින්දා.

මං හිතන්නෙ ඒ ප්‍රශ්නෙට උත්තරය දැන් අපි හැමෝම දන්නවා.
ගෝටාගෝගම ජනතා පුස්තකාලය අරගලය ඇතුලෙ කොයිතරම් ජනතාවකගෙ හදවත්වල ජීවත් වෙනවද කියලා තේරුම් ගත්තෙ මැයි 9 වෙනිදා. එක දිගට ඇමතුම් සිය ගණනක් ආවා පුස්තකාලෙට හානියක් වෙලාද කියලා අහලා. සමහර නොදන්න මිනිස්සු කතා කරන ගමන් ඇඬුවා. සමහර අය මුලින්ම පුස්තකාලෙට දුවගෙන ආවෙ.

ගෝටාගෝගම ජනතා පුස්තකාලය පුස්තකාලයක් විතරක් නෙමෙයි. අරගලය ඇතුලෙ අපිව රටම එක්ක එකතු කරපු යෝධ දම්වැලක්. හම්බන්තොට මැදමුලන වල්සපුගල ගොවියො අපිව මුණගැහුනෙ පුස්තකාලෙ දි. අපි එහෙ ගියාට පස්සෙ ඒ මිනිස්සු එහෙ හදපු පුස්තකාලය නම් කලේ අරගලයේ පුස්තකාලය කියලා.

අපේ යාපනේ ගමනෙදි කිලිනොච්චියෙ එක මහළු වැඩිහිටියෙක් අපි එක්ක කිව්වා පුස්තකාලෙ බලන්න එන්න ආසයි කියලා. එයා යුද්දෙට කලින් ඉඳන් ගමේ දරුවන්ට පුස්තකාලයක් කරන මනුස්සයෙක්.

අපි මුල ඉඳලම කියපු දෙයක් තමයි අරගලය එක තැනක පවතින්නක් නොව. රටම අරගල බිමක් බව.

අදින් ගෝල්ෆේස් භූමියෙ භෞතික මෙහෙයුම් නැවතුනත් හෙට ඉඳන් අරගලය ඇතුලෙ අලුත් ගමනක් කලින්ට වඩා පුළුල් විදිහට ආරම්භ වෙනවා. ඒක ලංකාව සහ ඉන් එපිටත් අරගලයේ දැනුම, අධ්‍යාපනය, සමාජ සංස්කෘතික පරිවර්තනය වෙනුවෙන් මීළඟ යෝධ පිම්ම තබන්න අරගලයේ ජනතා පුස්තකාලය සූදානම්.

මම අරගලය ඇතුලෙ පෞද්ගලිකව වැඩිම බරක් දැම්මෙ පුස්තකාලයට. පුස්තකාලයේ වැඩවලට ලංකාව පුරා කිලෝමීටර් දහස් ගාණක දුරක් මං ඇවිදින්න ඇති. දහස් ගාණක් මිනිස්සු එක්ක කතා කරන්න ඇති.

විශ්වවිද්‍යාලයකින් ගන්න බැරි දැනුම, අධ්‍යාපනය, අත්දැකීම් එකතුවෙන්න ඇති.
විශේෂයෙන් මතක් කළ යුතුයි පුස්තකාලෙ ස්වේච්ඡාවෙන් වැඩ කරපු සෙට් එක. මං ස්වේච්ඡා වැඩවල අවුරුදු ගාණක් ගංවතුර, නායයාම්, ආදී බොහෝ තැන්වල විවිධ කණ්ඩායම් එක්ක වැඩ කරලා තියනවා. මේ තමයි හොඳම සෙට් එක. මේ ගෞරවය වඩා හොඳ රටක් වෙනුවෙන් පොතක් හරි ගෙනාව මේ රටේ මිනිස්සුන්ට විශ්වාසෙ රැකපු පුස්තකාලෙ උන් ටිකට.

අදින් අරගලයේ ජනතා පුස්තකාලය අලුත් ගමනක් ආරම්භ කරනවා. රනිල් රාජපක්සගෙ අනීතික ආණ්ඩුවට එරෙහිවත්, අපි බලාපොරොත්තුවන සමාජ පරිවර්තනය වෙනුවෙනුත්, පෙරට වඩා පුළුල්ව ශක්තිමත්ව මහා ගංගාවක් විදිහට ඉදිරියට ඇදෙනවා.

පළවෙනි පියවර විදිහට ගංවතුරෙන් අවතැන් වූ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙනුත්, අදූරදර්ශි ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා පාසල් වැසීයාමෙන් අධ්‍යාපනය අහිමි වී දරුවන් වෙනුවෙනුත් ව්‍යාපෘති ඇරඹේ.
හෙට ඉඳන් ලෑස්තිවෙන්න !

අරගලය එක තැනක නොපවතී. රටම අරගල බිමකි !!
අරගලයට ජය.

සුජිත් අන්නමලේ and Don Supz

සබැඳි

Leave a Reply

Your email address will not be published.