සර්ව පාක්ෂික අටමගලය සහ රනිල් වික්‍රමසිංහගේ 4D චෙස් ගේම………..

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අළුත්ම අටමගලය වී ඇත්තේ සර්ව පාක්ෂික ආණ්ඩු සංකල්පයයි. ඔබට මතක නම් රනිල් වික්‍රමසිංහ මැයි 12 වන දින අගමැති තනතුරේ දිවුරුම් දී සවස 7ට පමණ ආශීර්වාද ලබා ගැනීමට ගංගාරාම පන්සලට පැමිණි අවස්ථාව. එහිදී , දේශීය මෙන්ම විදේශීය මාධ්‍යවේදීන් විමසා සිටියේ රටේ පවතින ආර්ථික අර්බුදය විසඳීමට ඔබට තිබෙන සැලැස්ම කුමක්ද කියලයි. එහිදී , එංගලන්තයේ චැනල් 4 මාධ්‍යවේදියාට වින්ස්ටන් චර්චිල් පිළිබඳ කෙටි පාඩමක් කියාදුන් බවත්
ඔබට මතක ඇති.

” මම ආවේ තුන්වේල කන්න දෙන්න. ගෑස් ටික ලබල දෙන්න. ඉස්කෝල ටික අරින්න. බෙහෙත් ටික ගෙනත් දෙන්න. ඒ ටික කලාම මදිද . වෙන මොනවාද ඕනේ?,” රනිල් වික්‍රමසිංහ 12.05.2022 ගංගාරාමයේදි..

එතුමා බලාපොරොත්තු වූ දේ ඉටු කරගැනීමට නොහැකි වූයේ සර්ව පාක්ෂික රජයක් නොතිබූ නිසාද?
ලෝක ආහාර වැඩසටහන (WFP Sri Lanka:Situation Report 29 July 2022) අනුව ජනගහනයෙන් මිලියන 6.3 කට අවශ්‍ය ආහාර ප්‍රමාණයන් නොළැබෙන අතර (Food Insecure), මිලි‍යන 6.7 ජනයාට ආහාර වේල් එකක් හෝ කිහිපයක් අහිමිවන බව ප්‍රකාශ කරයි. තුන් වේල කෙසේ වෙතත් , එක වේලක් වත් කෑමට නැති ජනගහනය එන්න එන්නම වැඩි වන බව නම් සැබෑය.
ගෑස් මිලදී ගැනීම සඳහා ලෝක බැංකුව ඩොලර් මිලියන 70 ක සහනදායි ණයක් ලබා දුන් අතර, අගමැති කාර්යාලයට සම්බන්ධ පිරිසක් (රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරේ සිටි කාලයේ) කල රුපියල් මිලියන 1200 ක අක්‍රමිකතාවයක් සිදුවීම පිළිබඳ පාර්ලිමේන්තු COPE කමිටුවේදි හෙළිදරව් විය. මෙය ජාත්‍යන්තර මාධ්‍යවල පවා පළවී තිබූ අතර ඒ හේතුව නිසාමදෝ ලෝක බැංකුව ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන තුරු කිසිදු මූල්‍ය ආධාරයක් මින් පසු ලබා නොදීමට තීරණය කල බව ජූලි 28 වන දින World Bank Statement on Sri Lanka මගින් නිවේදනය කොට තිබෙනවා. (worldbank.org). රටේ ජනයා කල්පනා කරන්නේ පාලකයන් හොරකම් කලත් අපිට ගෑස් ලැබෙනවා නම් මදෑ කියාය. ඉන්ධන සැපැයීමද එසේමය. ලංකාවේ ජනයා (බහුතර ) තරම් හොරකම දැක නිශ්ශබ්ධව සිටින ජනතාවක් සිටින රටක් ලෝකයේ නැති තරම්‍ ය.
ඉන්ධන ප්‍රශ්නය , පාසැල් අධ්‍යාපනය , සහ සෞඛ්‍ය ප්‍රශ්නය පිළිබඳ ඔබට අමුතුවෙන් කිව යුතු නැත. මහබැංකු අධිපති නම් කියන්නේ අගොස්තු මාසයෙන් පසු ඉන්ධන සැපැයීම අවිනිශ්චිත බවයි. එවිට කුමක් කරමුද ?

මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා ලිපියක් මගින් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියළු පක්ෂ වලට සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට ආරාධනා කරනවා. එය සර්ව පාක්ෂික /ජාතික ආණ්ඩුවක් වන්නේ නම් එයට සම්බන්ධ වන පිරිස් අනිවාර්යයෙන්ම සම්බන්ධ වන්නේ කිසියම් වරප්‍රසාද ලබා දෙන්නේ නම් පමණයි. ලංකාවේ සාමාන්‍ය දේශපාලනය එයයි .
මේ වන විට දැන ගන්නට ලැබෙන ආකාරයට පොහොට්ටු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ අනෙකුත් මන්ත්‍රීවරුන් 70 දෙනෙකු තනතුරු බලාපොරොත්තු වන බව ජනාධිපති වරයාට දැනුම් දී තිබෙනවා . ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇමැති කම් 4ක් බලාපොරොත්තු වන බවත් සමගි ජනබලවේගය ඇමැති තනතුරු 7ක් බලාපොරොත්තු වන බවත් ආරංචියි. සමගි ජනබලවේගය ඉදිරිපෙළ කිහිප දෙනෙකු ඒ අතර සිටින බව නම් සහිතව මාධ්‍ය වාර්තා කොට තිබුණා.

එජාප යේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වජිර අබේවර්දන වැදගත් ඇමැති තනතුරකට පත්කිරීමට නියමිතයි . එජාපයේ පසුගිය මැතිවරණයෙන් පරාජය වු මැති ඇමැති වරුන් සහ ඔවුන් සමග කටයුතු කල නිළධාරීන් 25කට ආසන්න පිරිසක් මේ වන විටත් විවිධ උපදේශක , අධ්‍යක්ෂ ජනරාල් , සභාපති වැනි තනතුරු සඳහා පත්කොට තිබෙනවා. IMF, ලෝක බැංකුව වැනි ආයතන කෙතරම් රජයේ වියදම් අඩු කරන ලෙස ප්‍රකාශ කලත් ලංකාවේ පාලකයන්ට ඒවා අදාළ වන්නේ නැහැ .

ඊට අමතරව , පොහොට්ටුවෙන් නිදහස් වූවා යැයි නාමිකව ප්‍රකාශ කරන වීරවංශ කණ්ඩායම , ඩලස් අලහප්පෙරුම කණ්ඩායමෙන් ඉවත් වූ කණ්ඩායම , අනුර ප්‍රියදර්ශන කණ්ඩායම , රත්නසේකර කණ්ඩායම , උඩරට වතු කණ්ඩායම , මුස්ලිම් පක්ෂ කණ්ඩායම් යනාදිය ඇමැති කම්, වගකීම් , වරප්‍රසාද බලාපොරොත්තු වෙනවා. එසේ නොමැතිව මෙවැනි ආකාරයේ රජයකට සම්බන්ධ වෙන්නේ කුමට?

ජාතික ආණ්ඩුවක කැබිනට් ඇමැති වරුන් 40 ක් පත්කර ගත හැකියි. රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැති කම් සංඛ්‍යාව පාර්ලිමේන්තු යෝජනාවක් (Resolution ) මගින් තීරණය කිරීමට හැකියි. කෙසේ වෙතත් , 2010-15 මහින්ද රාජපක්ෂ රජයේ ඇමැති , නියෝජ්‍ය , රාජ්‍ය ඇමැති තනතුරු සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති කම් සියල්ලේ එකතුව 105 පමණ වූ බව මතකයි . ඒ අන්දමින්ම මෙවරත් රනිල් වික්‍රමසිංහ තම තනතුර ආරක්ෂා කරගැනීම සඳහා කළ යුතු සියල්ල කරනු ඇති.

රනිල් වික්‍රමසිංහ දේශපාලනයේ 4D චෙස් සූරයකු නිසා සියල්ලෝම චෙක් මේට් (Checkmate ) කොට තමාගේ අරමුණ කරා යෑමට අත්වැලක් ලෙස මෙම සර්ව පාක්ෂික අටමගලය යොදා ගන්නා බවට සැකයක් නැත. ඒ අනුව පසුගිය අප්‍රේල් 09 වන දින නිවාස අහිමි වූ මැති ඇමැති වරුන්ට නව නිවාස, ලී බඩු සඳහා කෝටියක් මුදල් දීමට මේ වන විටත් කටයුතු කොට තිබෙනවා. ඊයේ කැබිනට් මණ්ඩලය තීරණය කලේ මන්ත්‍රී වරුන්ට රුපියල් ලක්ෂ දෙකක ඉන්ධන දීමනාවක් ලබා දීමටයි. කෙසේ වෙතත් , ජාතික ජනබලවේගය මන්ත්‍රී වරුන් තිදෙනා මේ වන විටත් එවැනි දීමනා ප්‍රතිකේෂ්ප කල බව දිවයින පුවත් පත අද දින වාර්තා කොට තිබුණා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා උස්සාහ කරනුයේ ඉදිරි අවුරුදු 21/2 කෙසේ හෝ බලයේ සිටීමට බව පැහැදිලියි. අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව, බොහෝ දුරට ජනමත විචාරණයක් හරහා පාර්ලිමේන්තු කාලය තවත් වසර පහකට දීර්ඝ කරගැනීමට 2023 අගභාගයේ හෝ 2024 මුල් කාර්තුවේදී කටයුතු කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. මාමා ගිය අඩිපාරේ බෑනා නොයා සිටීද?

IMF සාකච්ඡා එතරම් සාර්ථක මට්ටමක නොතිබීම , චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට අකමැති වීම , අමෙරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් ලංකාණ්ඩුවට විරුද්ධව ඉදිරිපත් කොට ඇති නඩු කරය, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය හිමියන් විසින් ඉදිරියට ගොනු කිරීමට නියමිත නඩු කර සියල්ල සලකා බැලීමේ දී ලංකාවේ ආර්ථික අර්බුදය ඉදිරියේදී තවත් දරුණු වන බව පැහැදිලිය. එහෙත් ලංකාවේ බොහෝ අයට එය නොතේරීම කනගාටුවට කරුණකි.
ජනයා කෙතරම් දුක් ව්න්දත්, බල ලෝබී දේශපාලකයින්ට එය අදාළ නොවේ. ඔවුන් සෑම විටම කටයුතු කරනුයේ ලෑබූ බලය කෙසේ හෝ ආරක්ෂා කරගැනීමටයි. තවත් බලය වැඩි කරගැනීමටයි . සර්ව පාක්ෂික අටමගලය අවශ්‍ය ඒ සඳහායි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ කරන්නෙත් එයයි. “Until you get power , behave like a fox. After getting power , behave like a lion .” Niccolo Machiavelli. ( Lion & Fox metaphor in the Prince).

ශාන්ත ජයරත්න

ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය

SLIDA

සබැඳි

Leave a Reply

Your email address will not be published.