සුගත් බලන්න ගිය සිහින නාට්‍යකරුවා!

සුගතපාල ද සිල්වා ගේ උපන් දිනය, අගෝස්තු 4 වෙනිදා එනම් ඊයේ යැයි තරමක් ප්‍රමාද වී නමුත් මතක් වන විට ඒ සමගම මට පැරණි රස කතාවක් මතකයට ආවා කියන්න.

මේක සිද්ධවුනේ මට මතක හැටියට 90 දශකයේ මැද භාගයේ විතර මම එවකට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උගන්වන කොට. ඒ කාලේ ෆස්ට් ඉයර් එකේ එකෙක් හිටියා ඌ පූර්ණ කාලීනව නාට්‍ය කලාවෙන් යනවද සංගීතයෙන් යනවද නැටුම් වලින් යනවද කියලා අදහසක් නැතුව නන්නත්තාර වෙලා හිටිය. ඊට අමතරව මේ ඔක්කොම දමලා ගහලා හමුදාවට යන්න අදහසකුත් ඌට තිබුණා. සාමාන්‍යයෙන් ෆස්ට් ඉයර් එකේ ඒ වගේ යන්නේ කොහෙද කියල හොයා ගන්න බැරි උන් හරියට ඉන්නවා. ඉතින් මූ නිතරම මගෙන් අහනවා නාට්‍ය කලාව ගැන තොරතුරු රස කතා වගේ දේවල්. මට හිතෙන්නේ මූට දැනගන්ඩ ඕන වෙලා තිබුණෙ නාට්‍ය කලාවෙන් මිනිහෙකුට කොයි තරම් ‘ඉහලට ‘ යන්න පුලුවන්ද වගේ එකක්.

අපි මේ හාදයාට දැනට නමක් දාමු සිහින නාට්‍යකාරයා කියලා.

කොහොම හරි දවසක් මම හවස පන්තියක් ඉවර වෙලා එලියට එනකොට සිහින නාට්‍යකාරයා මගෙන් ඇහුවා කොහෙද යන්නෙ කියලා, මම කිව්වා සුගතපාල ද සිල්වා ගේ ගෙදර යනවා කියලා. මාත් එන්නද ඇහැව්වා මම කිව්ව හා වරෙන් කියලා. ඉතින් මිනිහට මේ මහා නාට්‍යකරුවාගේ ගෙදර යෑම විශාල සිද්ධියක් වුණා. මිනිහා ඉස්සෙල්ලාම මගෙන් අහපු දේ තමයි ඇඳගෙන ඉන්න ඇදුම හොඳද කියලා. මට හිතුනා මුට පොඩි ආතල් එකක් දෙන්න මම කිව්වා සෙරෙප්පු දෙක අයින්කරලා සපත්තු දෙකක් දාගෙන වරෙන් කියලා. ඊට පස්සේ මූ ටක් ගාලා ගිහිල්ලා දිලිසෙන පොලිෂ් කරපු සපත්තු දෙකක් දාගෙන කමිසෙත් යටකරගෙන කොන්ඩෙත් හොඳට පීරගෙන ආවා. මූ සුගතපාල ද සිල්වා ගැන එහෙන් මෙහෙන් අහලා තිබුනට කවුද කියලා හරියටම දන්නේ නෑ. කරපු නාට්‍ය ගැන වත් ඒ තරම් අදහසක් නෑ. දන්නේ මහා දැවැන්ත නාට්‍යකරුවෙක් කියන එක විතරයි.

ඉතින් අපි සුගතපාල ද සිල්වා ගේ නාට්‍ය කලාව ගැන විවිධ ඕපාදූප කතා කරමින් ගොළුමඩම හන්දිය ට යනකන් ගියා. හංදියෙන් බැස්ස ගමන් සිහින නාට්‍යකාරයා මගෙන් ඇහුවා කෙහෙල් ඇවරියක් වත් ගන්නවද කියලා, මං කිව්වා අවශ්‍ය නැහැ කියලා. දැන් ඉතින් අපි එතන ඉදන් සොයිසා ෆ්ලැට් වලට ඇවිදගෙන යනවා. සිහින නාට්‍යකාරයා අතිශය උද්‍යෝගයෙන් ලොකු ගෙවල් දිහා බලමින් සුගතපාල ද සිල්වාගේ ගෙදර හමුවෙනකන් කුතුහලයෙන් මාත් එක්ක ඇවිත් මම සුගත්ගේ අර මී ගුලක් වගේ හතරැස් අඩි කීපයක කුඩා ෆ්ලැට් එක ඇතුලට රිංගන කොටම මගෙන් ඇහුවා මේ මොකක්ද මේ කියල. මේකත් ගෙදරක් වරෙන් කියලා මම ඇතුලට ඇදගෙන ගියා. එතකොට අපේ මහා නාට්‍යකරුවා කුඩා සරම් කැබැල්ලක් විතරක් ඔහේ ඇඳගෙන එයාගෙ පුස්තකාලයයි නිදි යහනයි දෙකම එකක් වුණු අර කුඩා කාමරයේ ඔන්න ඉන්නවා. මම කිව්වා මෙන්න ඒ මරාසාද් හැදුව එක්කෙනා කියලා. සිහින නාට්‍යකරයා මුළුමනින්ම තක්බීර වෙලා කතා කරගන්න විදිහක් නැතුව වගේ ඉන්නවා. අඩු ගානේ මං ඌව අඳුන්වලා දුන්නම ඌට හිනාවෙන්න වත් අමතක උනා. එතන ඉදන් මම සුගතපාල ද සිල්වා එක්ක කතා කරනකොට සිහින නාට්‍යකරයා එහෙට මෙහෙට කැරකි කැරකි ගෙදර වහලය පරික්ෂා කරනවා, බිත්තිවලට ඇනල බලනවා, මිදුලට එබිලා ඉඩම් මායිම් බලනවා, පුටු ගණන් කරනවා, ඔය වගේ වැඩ. පස්සෙ ඌට චූ කරන්න ඕනේ කියලා ටොයිලට් එකට ගිහිල්ලා කුස්සියත් බලාගෙන ආවා. මූ මුකුත් කතා කරන්නේ නෑ ලොකු කල්පනාවක. මං කිව්වා මොනවා හරි ශාස්ත්‍රීය ප්‍රශ්නයක් එහෙම තියෙනවනම් අහපන් දැන් කියලා. ඌට එහෙම එකක් තිබුනෙත් නැහැ. මොහොතකින් ශීලා අක්කා සුපුරුදු පරිදි මොනවද රසකැවිලි ටිකක් තේ එක්කල අපිට ගෙනල්ලා දීලා විහිළුවක් කරලා ගියා . සිහින නාට්‍යකාරයා ඒකටවත් ඒ තරම් මිත්‍රශීලී බවක් පෙන්නුවේ නෑ, ඌ තාම බය වෙලා.

ඉතින් ඔහොම මොහොතක් ගත කරලා අපි දෙන්නා ආපහු යන්ඩ යනව ගාලුපාර දිහාවට. සිහින නාට්‍යකරයාගේ මුහුණ තාම කැවුමක් වෙලා. සෑහෙන නිහඬතාවයකින් පස්සෙ ඌ කිව්වා,

බලන්න නේද මිනිස්සුන්ට අන්තිමට ඉන්ඩ වෙලා තියෙන හැටි.

ඇයි මොකද උඹට මොකුත් අඩුවක් කලා ද ඒගොල්ලෝ? මං ඇහුවා.

අපොයි නෑ .

එහෙමනම් කෑම බීම තේ රහ නැද්ද?

අනේ එහෙම එකක් නෑ.

ඇයි ඒ මනුස්සයින්ගේ මොකක් හරි අප්සෙට් එකක් තියෙනවද?

අපොයි එහෙම එහෙකුත් නෑ.

එහෙනම් මොකක් ද ඉන්න විදිහෙ තියන ප්‍රශ්නය ?

ඊට පස්සේ සිහින නාට්‍යකාරයා මුකුත් මා එක්ක කතා කළේ නැහැ. අපි ගොළුමඩම හන්දියෙන් බස් දෙකක නැගලා දෙපැත්තට ගියා. ඒ තමයි මං ඌව හම්බවුණු අවසාන අවස්ථාව. ඊට පස්සේ කීප පාරක් මම ඌව කැම්පස් එකේදි එහෙන් මෙහෙන් දැක්කා පස්සේ පේන්නෙම නැතුව ගියා. පස්සෙ දවසක මම ළමයිගෙන් ඇහුවා ඌට මොකද උනේ කියලා ළමයි කිව්වා ඌ හමුදාවට ගියා කියලා.

සිහින නාට්‍යකාරයා කවදාවත් තේරුම් ගත්තෙ නැති බොහෝ දේ ඒ කතාවේ තිබුණා. ඒ නාට්‍ය කලාව කෙතරම් විශාලද බලවත් ද එතරම්ම ඒ නාාට්‍ය කරුවාගේ ජීවිතය කුඩා යි. ඒත් ඒ නාට්‍යවලට නාට්‍යකරුවාගේ ජීවිතයේ සියල්ල උකහා ගත් පසු ඒ ඉතුරු වුන ටික ඒ නාට්‍ය තරම්ම රසවත් බවත් අන්න ඒ සාරය රසවිඳින්නේ කෙසේද ඊට ගරු කරන්නේ කෙසේද කියන එක ඒ නාට්‍ය රසවිදීමටත් වඩා සංකීර්ණ දේශපාලන මානව අභ්‍යාසයක් ලෙසට ඉතුරු වෙනවා.

ධනංජය කරුණාරත්න (2020 අද වැනි දිනක ලියන ලද සටහනක්)

සොදුරු ආඥාදායකයා නික්ම ගොස් වසර 20 යි .අද ඔහුගේ 94 ජන්ම දින සැමරුමයි. 1928/08/04 – 2002/10/28

බිත්ති හතරින් වට වුණ,
පවර නිරිඳෙක් වීය බඹදත් ,
හිට්ලර් එල්ලා මරණ විට ,
අසුර නිකායෙ සිටි
බල්ලෝද බත් කන වෙලේ,
එසේ වී නම් මිනිසුනේ අසව්, කියමින් ,
ඉක්බිති ව සියල්ල සතුටින් ජීවත් වූහ යි යයි සිතා
ඔබ නික්ම ගියා.

ඇටමැස්සා හද, කළබවමින් ,
දෙයියම්පා සහතික ඇත්ත යැයි ද කියමින් ,
හතරවෙනි තට්ටුවට නැග්ග ඔහු,.

හරිම බඩු හයක් එක්ක ,
තුරඟ සන්නිය වැහි ,
ගෙන එන්න දුන්න දුනු ගමුවේ ගිය ,
නිල් කට්රොට් මල් නෙලන්,
මරාද එක්කරන්,
ගොඩෝ උන්නැහේ එනකං සිටියා ඔබ.

අනේ දෙව්දත් නොදුටි මොක්පුර කියා
සයිබු නානා හා ,
අනූ නමයෙන් හිනා උනා ඔබ අපූරුවට .
සොඳුරු ආඥා දායකයා වෙමින් අප සැමට ,
අපේ කට්ටිය අතැර,
ඔබ ගියා තනිවම ,
එහෙත් අප තවම
ඉන්නවා මග බලන්
ඒ අපේ සොදුරු මිනිසා එනතුරන්

ලලිත් රවීන්ද්‍ර බෝපිටිය

සබැඳි

Leave a Reply

Your email address will not be published.