ඉතිහාසය ආයෙ ආයෙම කොහේදි හරි සිද්ධ වෙනවා මිත්‍රයා!


ඡායාරූප දෙකයි. පළවෙනි එක ගැන කතා කරන්න අවුරුද්දක් පස්සට යන්න වෙනවා. අවුරුද්දක් පිටිපස්සෙ ජපානයේ ටෝකියෝ ඔලිම්පික් එකට අපිට යන්න වෙනවා.

දෙවනි ඡායාරූපය ගැන කතා කරන්න මේ සටහන ලියන වෙලාවෙන් පැය 7ක් 8ක් පස්සට ගියානම් හොඳටම ඇති. පළවෙනි එකේ ඉන්නේ මාර්සෙල් ජාකොබ්ස් එක්ක ජියෙන්මාරෝ ටැම්බේරි. දෙවනි එකේ ඉන්නෙ යුපුන් අබේකෝන් එක්ක පාලිත හල්ගහවෙලගෙදර.

මේ ඡායාරූප දෙකම බොහොම සමානකම් පෙන්වන ඡායාරූපයන් දෙකක්. ජියෙන්මාරෝ ටැම්බේරි කියන්නේ 2021 ඔලිම්පික් උස පැනීමේ රන් පදක්කම් ලාභියා. කටාරයේ බාර්ෂිම් එක්ක රන් පදක්කම දෙකට බෙදාගෙන මිනිහා එදා ට්‍රැක් එකේ ට්‍රැක් පැනලා නටපු නාඩගම ක්‍රීඩාව ගැන උනන්දු ඕනිම මනුස්සයෙක්ට මතක ඇති.

මාර්සෙල් ජාකොබ්ස් මීටර් 100 සෙමි ෆයිනල් එකේ තුන්වෙනියා වෙලා තමන්ව තුන්වෙනි තැනට ඇදලා දාපු ක්‍රීඩකයන්ව තඹේකට මායිම් නොකර ෆයිනල් එකේදි ඉතාලි ඉතිහාසය වෙනස් කරපු, සමාවෙන්න ඉතාලි විතරක් නෙමෙයි ලෝක මළල ක්‍රීඩා ඉතිහාසයම වෙනස් කරපු මීටර් 100 ඔලිම්පික් චැම්පියන්.

තමන්ගේ රටේ සහෝදර ක්‍රීඩකයා රන් පදක්කම ජයග්‍රහණය කරද්දි ටැම්බේරි විසින් ජාකොබ්ස් ව වැළඳෙගෙන ටෝකියෝ ඔලිම්පික් ධාවන පථය මධ්‍යයේ ඒක සමරපු එක බොහොම සුන්දර සිදුවීමක්!
දෙවනි ඡායාරූපයේ ඉන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේ ආබාධිත කාණ්ඩයේ පිරිමි කවපෙත්ත විසි කිරීම රිදී පදක්කම ලැබූ පාලිත හල්ගහවෙලගෙදර සහ මීටර් 100 ලෝකඩ පදක්කම දිනපු යුපුන් අබේකෝන්.

මාර්සෙල් වගේම යුපුන් කියන්නෙත් සෙමි ෆයිනල් එකේදි 4 වෙනියා වෙලා, ඒ සෙමි ෆයිනල් එකේදිම තමන්ව පහතට ඇදලා දාපු 3 දෙනාව පහු කරලා ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරපු කෙනෙක්. පාලිත සහ යුපුන් දෙදෙනාම බර්මිංහැම් ධාවන පථයේදී වැළඳගෙන සමරන්නේ රටකට ලැබුණු විශාල ජයග්‍රහණයක්.

අවස්ථා දෙකක්. තරඟාවලි දෙකක්. වෙනස් රටවල් දෙකක්. වෙනස් ආකාරයේ පදක්කම් ලැබුණු මොහොතවල් දෙකක්. හැබැයි ඒ වැළඳගැනීම ඇතුළේ තියෙන්නේ එක ජයග්‍රාහී පණිවිඩයක්.
පාලිත සහ යුපුන් වැලඳගෙන ඉන්න මේ සේයාරුව දැකපු ගමන් මට මතක් වුණේ ජාකොබ්ස් ව සහ ටැම්බේරිව. ක්‍රීඩාවෙදිත් ඉතිහාසය නැවත නැවත සිද්ධ වෙනවා. වෙනස් කාල වල වෙනස් ස්ථාන වල. හැබැයි ඉතිහාසයේ ඉඳන් ආපු ඒ වැලඳගැනීමේ ජයග්‍රාහී මොහොත? ඒක වෙනස් වෙන්නෙ නෑ

ශමින්ද ජයරත්න

සබැඳි

Leave a Reply

Your email address will not be published.