“ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීම නිෂ්ප්‍රභ කළ යුතුයි”

සාහසික පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ට අදාළ නඩු විභාගයෙන් තමා නිදහස් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීම, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කළ යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කරමින් කොළඹ අගරදගුරු හිමියන් පෙරේදා (02) ප්‍රකාශ කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම නඩු කටයුතුවලින් අනිවාර්යයෙන් ම නිදහස් කළ නො හැකි බවයි.

මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් වෙනුවෙන් මෙම පෙත්සම, ජනාධිපති නීතිඥ ෂම්මිල් පෙරේරා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක 8 වැනි වගඋත්තරකරු ලෙස රනිල් වික්‍රමසිංහ නම් කර තිබිණි.

මෙම සාහසික ප්‍රහාරය එනම්, 2019 අප්‍රේල් 21 වන දින, පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටි බව පවසයි. එහිදී රනිල් වික්‍රමසිංහගේ නිහඬ ක්‍රියා කලාපය හේතුවෙන් අදාළ ප්‍රහාරයේ වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගණය වී ඇති බවත්, අගතියට පත් පාර්ශ්වය නියෝජනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ කොළඹ අගරදගුරු පියතුමන් විසින් ජනාධිපතිවරයාව අදාළ පෙත්සමේ 57 වැනි වගඋත්තරකරු ලෙස නම් කර තිබේ.

126 ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති අධිකරණ බලය, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ප්‍රථම වරට හඳුන්වා දුන් බවත් ඉන් අනතුරුව 20 වැනි සංශෝධනය යටතේ ද එවැනි අධිකරණ බලය ව්‍යවස්ථාදායකය විසින් ආරක්ෂා කර ඇති බව කොළඹ අගරදගුරුතුමා සිය පෙත්සමේ වැඩි දුරටත් සඳහන් කරයි.

අදාළ පෙත්සම මගින් අගරදගුරුතුමා වැඩිදුරටත් සඳහන් කරන්නේ, ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් සහ අතපසුවීම් විමර්ශනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (1) වගන්තිය මගින් බලය පැවරී ඇති බවයි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.