කෝපි කඩේට ආ නාඩගම්කාරයෝ ..

මම ටෙලි නාට්‍යයක් නැරඹීම හැර ඒ සම්බන්ධයෙන් කිසිදු විචාරයක් කරන්න තරම් ප්‍රාමාණිකයෙක් නොවෙමි. එහෙත් මානසික සුවය සඳහා කුඩා අවධියේ පටන් ටෙලි නාට්‍යය ගණනාවක් නරඹා තිබේ. ජාතික රූපවාහිනියේ සතිපතා විකාශය වූ ටෙලි නාට්‍ය කිහිපයක්ම මතකයන් අතරේ නිදන්ව ඇත.

ජාතික රූපවාහිනියේ කාලාන්තරයක් තිස්සේ පැවති ටෙලි සම්ප්‍රදාය සති අග විකාශය වූ “දූ දරුවෝ” වැනි දීර්ඝ ටෙලි නාට්‍යය විසින් වඩාත් වාණිජ පරමාර්ථයන් දෙසට නැඹුරු වූවා විය හැකිය. මේ අතරවාරයේ දී ස්වාධීන රූපවාහිනියේ විකාශය ආරම්භ කළ “කෝපි කඩේ” ටෙලිනාට්‍ය ඒකාංගික සතිපතා විකාශය වන දීර්ඝ නාට්‍ය මාලාව අලූත් හැඩයක් ටෙලි වංශ කතාවට එකතු කළා වැනිය.

අනතුරුව සිරස රූපවාහිනිය මූලික කරගෙන ඉන්දියානු දීර්ඝ ටෙලිනාට්‍ය සිංහල හඬ මුසු කරමින් දෛනිකව විකාශය වන්නට පටන් ගැනිණ. පසුව ස්වාධීන රූපවාහිනීයේ “බට්ටී” නමින් දෛනිකව විකාශය වන සිංහල මෙගා ටෙලි නාට්‍යය ආරම්භ වූ බව විස්වාස කරමි. මේ ආකාරයට කාලය ගෙවෙද්දි ටෙලි නාට්‍යය රසිකයින් ඒකාකාරී ටෙලි රැල්ලක අතරමං වූහ.
ස්වර්ණවාහිනී නාලිකාවේ “නාඩගම්කාරයෝ” ටෙලි නාට්‍යය ආරම්භ වන්නේ රසිකයින්ට අලුත් ආරක ආශ්වාදයක් ලබා දෙන පෙර සලකුනු සහිතවය. කොටස් හාරසීයක් දිගේ දිග ඇදුනු නාඩගම්කාරයෝ එම අරමුණු මුදුන් පමුණුවා ගත්තේද යන්න සැක සහිතය. වාණිජ පරමාර්ථ වලට යට වු මාධ්‍ය නාලිකා වලට කෙසේ හෝ “රේටින්” රැක ගැනීම කල යුතුය.
ඒ නිසා මේ ගැන වාද විවාද කිරීම නිෂ්ඵලය. එහෙත් ප්‍රේක්ෂක අපට විකාශය වන ටෙලි නාට්‍යය කැමති නම් නැරඹීමටත් නොමැතිනම් වෙනත් නාලිකාවක් සුසර කිරීමටත් ඉඩ හසර පවතී.

එහෙත් නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය තුළ සමකාලීන සමාජයේ සමාජ දේශපාලනය මැනවින් විග්‍රහ කරන්නේ යැයි කිහිප දෙනෙක් කියනවා ඇසුණි. ඇත්තටම එය එසේද?

අපේ රටේ දේශපාලන බලය ලබාගැනීමට සහ පවත්වාගෙන යෑමට සකල විධ මාධ්‍යයන්ගෙන් ලබාගන්නා දායකත්වය සමීකරණයක් බඳුය. මුලින් දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘතියක් මගින් ඡන්ද දායකයින්ගේ ජන මනස ආක්‍රමණය කරනු ලබයි. ඉන් අනතුරුව ලබාගත් බලය පවත්වාගෙන යෑම සඳහා දෛනිකව, සතිපතා හෝ කාලීන වශයෙන් මාධ්‍ය සංදර්ශන, උණුසුම් පුවත් ආදී ලෙස විවිධ ප්‍රචාරණ උපක්‍රම මගින් මිනිසුන්ගේ අවධානය වෙනස් වෙනස් තැන්වල අතරමං කර දමයි.
ඕනෑම නාලිකාවක් මෙගා පන්නයේ ටෙලි නාට්‍යයක් රේටින් වලින් ඉහලට ගෙන කතා තේමාව පසෙක තබා එදිනෙදා අහුලා ගන්නා ලද කෑලි එයට අමුණා ගුවන් කාලය පුරවන්නේ ද ඉහත සදහන් කළ දේශපාලන බලය ලබා ගැනීමේ සහ පවත්වාගෙන යෑමේදී මාධ්‍ය හසුරුවන උපාය මාර්ගයට සමාන්තරව සහ සමානුපාතික වන ආකාරයටම ය. එනයින් බලන කල අපේ රටේ දේශපාලනය කරන විදිහත් මෙගා පන්නයේ ටෙලිනාට්‍යය රේටින් වල ඉහල රඳවා තබා ගැනීමත් එකම කාසියක දෙපැත්ත වැනිය.

එනිසාම නාඩගම්කාරයෝ ද සමකාලීන දේශපාලනය කතා කරන්නේ හුදු නාට්‍යයේ ජනප්‍රියත්වය රදවා ගැනීමට විනා ප්‍රේක්ෂකයින් ආනන්දයෙන් ප්‍රඥාවට කැඳවාගෙන යාමට නොවේ. ඡන්ද විමසීමකදි මාධ්‍ය මගින් ඡන්දදායකයාගේ සිතීමේ සීමා අකුලන තරමටම රේටින් ලබා ගැනීම සඳහා මාධ්‍ය විසින් ප්‍රේක්ෂකයාද නන්නත්තාර කර දමයි.
මේ තත්ත්වය වෙනස් වීමට නම් මිනිසුන්ගේ මාධ්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවිය යුතුමය. මිනිසුන් හිතන විදිය වෙනස් නොවන තාත් කල් කිසිදු සාධනීය වෙනසක් බලාපොරොත්තු වීම නිශ්ඵල ක්‍රියාවක් වනු ඇත.

සුධීර ජයරත්න (fb)

ඡායාරුපය(චිත්‍රය) අන්තර්ජාලයෙන්

සබැඳි

Leave a Reply

Your email address will not be published.