නො දිවූ අසු

මතකද දන්නෙ නෑ ඔයාට
අපි කසාද බැන්දෙ වෙනිසියෙදි !

විසි හතයි මට එතකොට
තිස් පහක් ඔයාට
ටිකක් බඩත් ඇවිල්ලයි තිබුණේ
ඒත් නිල් පාට ඇස් !
මං හා කිව්වෙ ඒවට

ලොකුම පල්ලිය තෝරා ගත්තෙ
මංගල්ලෙ දාට
කලින් බලන්න ගිය දවසෙ
කරන්ට් ගිහිල්ලයි තිබුණෙ
බැරි උනා එදා බලාගන්න

සරසපු බෝට්ටුවකින් ආවෙ ඔයාලගෙ කට්ටිය
රතුපාට රිබන්, කහ රෝස
සීරුවට කපල දාල
නටුවල දිග කටු

මතක නැතුව ඇති
අල්තාරෙ ළඟදි කකුල පැටළුණා ඔයාගෙ
මමයි අල්ලගත්තෙ අතින්
වැටෙන්න නොදී, ලැජ්ජයිනෙ…

‘මගෙ පැන්ඩෝරා!’ කියල කිව්වෙ ඔයා
ගොන්ඩෝලාවෙ යද්දි මට
වතුර මලක් අද්දර
හනිමූන් හෝටලේට

හත් දවසක් ම වෙනිසියෙ හිටියෙ අපි
වීදුරු අශ්වයෙකුත් අරන් දුන්නා මට
ඒත් දුවන්න බැරි උනා ඌට
දවස් හතේ ම

ඔයා ආවා දවසක් කාමරේට
පාට පාට වෙස් මූණක් දාගෙන
හවසක
‘හෙටයි අන්තිම දවස’
‘අනේ! අදවත් මේ අශ්වයා දුවයි ද?’

ලොකු රවුම් පාලම යට
පිට්සා කඩයක් තිබුණා එදා
ඒ අන්තිම හවස ගියා අපි පාලමට
පිටින් කන්න ආසයි කිව්වෙ ඔයාමයි

වීදුරු අශ්වයා දිලිහුණා රෝස පාටින්
අරිනකොට හෑන්ඩ් බෑග් එක
රතු කම්මුල් තියෙන වේටරයෙකු එතකොට ම
ළං වුණා ඔයාගෙ වම් කණට

මං බැලුවෙ නෑ ඒ දිහා
කැමති කෑමක් අහන්න වෙන්න ඇති
ඔයා ගියා චුට්ටකින් නැගිටල
‘මං වොෂ් රූම් ගිහින් එන්නම්’

පාළුවක් දැනුණා මට
ඒකයි ගත්තෙ වීදුරු අශ්වයා එළියට
ඌට තිබ්බෙ හීනි ඇස්
තොල් රතුපාට කළේ ඇයි ද මන්දා

ඔයා ආවෙ විනාඩි දහයකින්
තොල් රතු පාට වෙලයි තිබුණේ ඔයාගෙත්
පිට්සා බන්දේසියක් ආවා එවෙලෙ ම
අර වේටර් තැන
ඒක තියලා ගියේ ඔයාගෙ ඇඟේ හැප්පිලා

මතකද මන්ද ඔයාට
අපි කසාද බැන්දෙ වෙනිසියෙදි
ඔයා අරන් දුන්නු අශ්වයා තාම මා ළඟ
ඌ කවදාවත් දිව්වෙ නෑ !!!

(‘හැඟුම් මුහුළස ලිහුණි’ 30 පිටුව )

ලක්මාලී හේවාවසම්

සබැඳි

Leave a Reply

Your email address will not be published.