සඳ පතර අහස යට හිද මෙසේ ලියන්නට සිත්විය

විචාරය කරනු පිණිස පොතපත මට නිරතුරුව ලැබෙන බව කිව යුතුය .
එසේ එවන බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව හෝ අපේක්ෂාව වනුයේ තම පොත සදහා විචාරයක් ලියා ගැනීම බව පෙනේ. ඒ සෑම පොතක් පිළිබඳව විචාර ලියන්නට ගියොත් මට වෙනත් වැඩක් කරන්නට කාලය නැතුව යනවා නිසැකය. එහෙයින් ඉඳහිට ඉන් පොතක් දෙකක් කියවා බලා ” හොදයි යයි ” සිතුණ පොතක්පතක් පිළිබඳව විචාරයක් නොවුණත් කිසියම් වූ තුලාත්මක සටහනක් තැබීමට මම කිසිවිටකත් අමතක නොකරමි.

මට සාපේක්ෂව හොදයි යයි නිගමනය කරන කිසිවක් ඔබට සාපේක්ෂව හොද නැති වීමට පුළුවනි. හොද යන්න ආනුභවික නොවූ ඇගයුම්ශීලි සංකල්පයක් වන හෙයින් ඒ මත පදනම්ව නිශ්චිත කිසියම් අදහස් පළ කිරීම සාර්ථක හෝ අසාර්ථක යයි යමෙකුට ඉඳුරාම කිව නොහැක.

(මෙම වර්තමානයේ සාහිත්‍ය නිර්මාණකරණය සම්බන්ධයෙන් වඩාත් ගැලපෙන කාරණාවක් බව පෙනේ.)
ඉනෝකා වැලිකඩආරච්චි නැමති තුරුණු කිවිදිය විසින් රචිත”සඳ පතර අහස යට” 2021 නැමති කාව්‍ය සංග්‍රහය මා අතට පත්වූයේ එය ප්‍රකාශයට පත්වී දින කීපයක් ගතවීමෙන් ඉක්බිතිව. එනම් ඒ 2021 වර්ෂයේ නොවැම්බර් මස තෙවැනි සතියේ බව මට යාන්තමින් මතක ඇත.

කාව්‍යය සංග්‍රහය න්‍යයාත්මක කියවීම

“සඳ පතර අහස යට” නැමති කාව්‍ය සංග්‍රහය මා නෙත ගැටුණු විගසම එම පොත පිළිබඳව කිසියම් වූ පහන් සිතුවිල්ලක් මසිතට නැගුණේ එහි සිත්ගන්නා සුළු පිටකවරය නිසාය.

එය එතැනින් අහවර විය. කාලයාගේ ඇවෙමෙන් මෙහි කවි අතරින් පතර කියවා බලන කල්හි තුරුණු කිවිදියක් වශයෙන් තමා ලද විවිධ අත්දැකීම් හා සිතුවිලි තම නිර්මාණ ප්‍රකාශනය වූ කවිය තුළින් අව්‍යාජව රසික හදවත් ආමණ්ත්‍රය කොට ඔවුනට තමා අවට වූ සමාජය පිළිබඳව කිසියම් වූ සංවේදීතාවක් ලබා දීමට වෙසෙසින්ම සමත් වී ඇති බව පෙනුණි. අද කාලයට අනුව එය ඉතා වැදගත් කාරණාවක් බව පෙනේ.

රසිකයා කාව්‍ය සේවනයෙන් අත්පත් කර ගන්නා ලද වින්දනය – ආශිර්වාදය අර්ථ සම්පන්න වන්නේ එමගින් ඔහුගේ ජීවිතාවලෝකනය – සහනුභූතීක ධාරිතාව පෘථුල වන කල්හිදී ය. කවියා මවන භාව ලෝකය ස්වාත්මිකාරයෙන් ගැනීමටත් එම භාව ලෝකය සමග සහෘද්භාවයෙන් සම වැඳීමට කාව්‍ය රසිකයාට හැකිවන්නේ රසියාගේ භාව සමෘති අවදි කරලීමට ඊට ඇති ශක්තිය අනුවය . මක්නිසාදයත් ඒ භාව හා සමෘති මනුෂ්‍ය ජීවිතය සමඟ ඵෙන්ද්‍රීයව බැඳී පවතින බැවිනි. ඒවා ජීවිතයයෙන් කිසිවිටෙකත් වෙන් කළ නොහැකි ය. ඒ අනුව කාව්‍යය මගින් සිදුවන හෘද සංවාදය – භාව භාෂණය මනුෂ්‍ය ජීවිතය හා අත්‍යන්තයෙන්ම බැඳී පවතින්නක් බව අපට තේරුම් ගැනීමට අසීරු නොවනු ඇත. එවන් ඉතා වැදගත් හෘද සංවාදයට හා භාව භාෂණයට බදුන් වන කාව්‍යයන් කීපයක්ම “සඳ පතර අහස යට” නැමති කාව්‍යය සංග්‍රහයට ඇතුළත් වන්නේ ය.

ඒවා අතර අවසඟ කිරිල්ලී , ඔටුනු තිබුණත් , ගම රට ගිහින් නුඹ, දික්කසාදයෙන් වසරකට පසු , අසංතෘප්ත, යළි ඉපදෙමි, වේවැල් කෝටු, හැකිනම් අසන්න, දෙවෙන්දොරා සං , කටුවාපිටියේ දී ය, පින් කැටය කැඩූ සොරාට සමන් දෙවියන්ගෙන් සංදේශයක්, අකාලයේ මියගිය සැමියා ළග ළසොවින් වැළපෙන නැගෙණිය දුටිමි, කොරෝනා අරන් ගිය තාත්තා , කැණිමඬල කැඩී ඇත, පාස්කු ප්‍රහාරයෙන් මියගිය සිඟිත්තියක ගේ ලේ වැකුණු සපත්තුව තවම තාත්තා ළග ය,
අභිනික්මනට පෙර, වියපත් නොවේ පෙම, හිරුත් ඉර සේවනයක, කඳ සුරිඳුනි, නූථන කුණ්ඩලකේශි, ඉල් මහ යනාදි කාව්‍යයන් පෙන්වා දිය හැකිය.

“කොරෝනා අරන් ගිය, තාත්තා” නැමති කාව්‍යය මගේ සිත්ගත් ඉතා සංවේදී කාව්‍යයකි. පසුගිය කාලයේ චීනයේ වූහාන් ප්‍රදේශයෙන් ආරම්භ වී ලොවපුරා ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්තවගිය කොවිඩ් 19 ගෝලීය වසංගතයට මෙරට සමාජය බිලිවීම යන කාලීන වැදගත් කමක් ඇති තේමාවක් ඇසුරින් රචිත මෙම කාව්‍යය කිනම් හෝ තේමාවක අතීක්ෂණ භාවය ඉසියුම්ව නිරීක්ෂණය කළ විට එය සෘජු ලෙස කවියකුගේ හෝ කිවිඳියකගේ දෘෂ්ටිමය ක්ෂේත්‍රය හා සහසම්බන්ධ වන්නේ කෙසේද යයි උදාහරණ සහිතව පෙන්නා දීමට කදීම නිදසුනක් වන්නේ ය.

කොරෝනා වසංගතය විසින් බිලිගත් එක්තර සෙනෙහෙබර පියකු අහිමිව තම දරුවන්ගේ චිත්තසංතානයට දැනෙන ආකාරය වාර්තාවක් වශයෙන් නොව එය තම ජීවන අත්දැකීමක් ලෙස ගෙන එතුළින් ගැඹුරු ජීවන අනුභූතියක් ප්‍රත්‍යමාන කිරීමට කිවිඳිය සමත්ව ඇති බව වෙසෙසින් අගය කළ යුතුවන්නේ ය.

තාත්තේ මේ අත් කකුල් හැම
ලොකු වුණේ ඔය ලේවලින් ම යි….
වඩාගෙන කර උඩ තියාගෙන
පෙරහැරක් පෙන්නුවා මතකයි …..
යළි නොදකින මේ ආත්මෙට
ඉතුරු බර නම් හරි ලොකුයි….
තාත්තා අපටත් කලින් යන
දිව්‍ය ලෝකෙත් හරි හැඩයි ….

“පාස්කු ප්‍රහාරයෙන් මියගිය සිඟිත්තියකගේ ලේ වැකුණු සපත්තුව තවම තාත්තා ළගය” යන කාව්‍යය තවත් මගේ විශේෂ අවධානයක් දිනාගත් කාව්‍යයක් වන්නේ ය. මෙරට සමාජයේ සිදුවූ එක්තරා බේදජනක සිද්ධියක් වස්තු විෂයය කරගනිමින් රචිත මෙම කාව්‍ය තුළින් කිවිඳිය සමාජයට වෙත හෙළන්නා වූ මානවීය දෘෂ්ටිය අතිශයින්ම වැදගත් ය. එමගින් කිවිඳිය වරෙක තම මානව දයාවේ ගුණසුවඳ ප්‍රකට කරවන අතර තවත් විටෙක කාව්‍යයක් තුළින් සංවේදී චිත්ත රූප ජනනයේ ඇති වැදගත්කම ප්‍රකට කරයි. එපමණක්ද නොව කවිය සංක්ෂිප්ත කළ මාධ්‍යයක් වීම ,නූතන තේමා සංස්පර්ශයට හෝ දාර්ශනික සංකථනයට කිසිදු බාධාවක් නොවන බව මෙමගින් කිවිඳිය විසින් මැනවින් ප්‍රකට කර ඇත්තේ ය. ස්ත්‍රී දෘෂ්ටියෙන් මිදී මෙය නුතන මෙරට මිනිසාගේ පරත්වාරෝපණය නැමති මානසික සංකීරණය ගවේශනය කිරීමට දරණ ලද කාව්‍යාත්මක වෑයමක අග්‍ර ථලයක් බව දැක්වීම යුක්ති යුක්ත වන්නේ ය.

මලක් පිපුණත් පරවෙන වග පල්ලියේදී
ගීතිකා ගැයුණා….
ඒ මලුත් හෙට දෙවියන්ගේ ළග හුගාක්
පාටට පිපෙයි හිතුණා …
සින්දු අරගෙන උදෙන් ගෙට එන
කුරුල්ලෙකු ළග දුකක් තියලා….
පාළුවුණු මිදුලේ කොණක උඹේ
සොහොන ළග රතු මලක් පිපුණා…

කවියකුගේ හෝ කිවිදියකගේ හෝ ප්‍රකාශනයෙහි ප්‍රබලත්වය ඔහු හෝ ඇය විසින් භාවතා කරන කාව්‍යය භාෂාවේ අපූර්වත්වය මත රඳා පවති. තම නිර්මාණයට පාදක වන අත්දැකීම් කුමක් වුවද, එය කවියා හෝ කිවිඳිය විසින් කාව්‍යයාත්මක ප්‍රකාශනයක් ලෙස ඉදිරිපත් කිරීම සදහා භාෂාව භාවිතා කරන ආකාරයෙහි රම්‍යතාව, විශිෂ්ටත්වය අතිශයින්ම වැදගත් වන්නේ ය. ඒ අනුව ගත් කල්හි කිවිඳිය විසින් තම “සඳ පතර අහස යට” නැමති තම කළුදුල් කාව්‍යය සංග්‍රහය උදෙස භාවිතා කර ඇති කාව්‍යය භාෂාව කාව්‍යය හා බැදී පවතින්නේ එකිනෙක ගලවා වෙන් කළ හැකි ලෙස නොවේ. මෙය , තවත් ආකාරයකින් විස්තර කලහොත් කිවිඳිය විසින් තම පරමාර්ථය ස්වකීය නිර්මාණය හා සහනුභූතිකව බැදෙන කාව්‍ය- රසිකයාගේ හදවතෙහි ගැඹුරුම තැනකට ආමන්ත්‍රණය කොට ඔහුගේ භාව ලෝකය අවදි කිරීමට තම කවිබස ඉතා ව්‍යක්ත ආකාරයෙන් යොදාගෙන ඇති බව ඉතා ප්‍රසංසා මුඛයෙන් කිව යුතුය.

“සඳ පතර අහස යට” නැමති කාව්‍යය සංග්‍රහය සමස්තයක් වශයෙන් ප්‍රසස්ථ මට්ටමක පැවතද එහි අතරින්-පතර ඌණතා ද නැත්තේම නොවේ. එහිලා මා දකින ප්‍රධාන ඌණතාවය නම් කිවිඳිය විසින් කාව්‍යයන් මාතෘකා අනුව පෙළ ගැස්වීමේ දී දක්වා ඇති නොසැලකිල්ල යි. කිනම් හෝ කාව්‍යයක රිද්මයක් හෝ ගලා යෑමක් තිබිය යුතු වන්නා සේම එම කාව්‍යයන් මාතෘකා අනුව එකින් එක පෙළ ගැස්මෙහිලා ද රිද්මයක් තිබිය යුතු වන්නේ ය. නොඑසේනම් කාව්‍යය වින්දනය කිරීමේදී වින්දකයා වෙහෙසට පත්වීම නිරායාසයෙන්ම සිදුවන්නේ ය. මෙම කාව්‍යය වින්දනය කිරීමේදී එය මා නොමඳව අත් වින්දේ ය. එය වින්දකයාගේ රසඥතාවයට බෙහෙවින් බලපාන බව කිව යුතුය. මෙම කාරණාව සම්බන්ධයෙන් ලංකාව වන් රටක එතරම් සැලකිල්ලක් නොදැක්වුවද ජාත්‍යන්තර වශයෙන් නම් ඉතා අවධානයක් යොමු කරන කාරණාවක් වන්නේ ය.

මෙහි කවරය පිළිබඳව යමක් සදහන් නොකළේ නම් එය සටහනට අඩුවක් යයි සිතේ. මෑතකදී මෙරට කාව්‍යය සංග්‍රහය අතර මා දුටු ඉතාමත් අලංකාර හා සිත්ගන්නා සුළු පිටකවරයක් මෙම “සඳ පතර අහස යට” නැමති කාව්‍යයට හිමි බවද මෙහිලා සදහන් කරනු වටී. එය කාව්‍යය සංග්‍රහය කෙරෙහි. පාඨකයාගේ නෙත් සොරා ගැනීමට වෙසෙසින්ම සමත් වන්නේ ය.

සමාලෝචනය ———

අපූර්ව වූ සංකල්පනයෙන්ද අසංකීර්ණවූ බුද්ධි ප්‍රභාවයෙන් ද තරමක විප්ලවවාදී දෘෂ්ටියෙන් ද නැවුම් ගෛලයකි ද එසේම භාවපූර්ණ කවි බසකින් ද පෝෂිත “සඳ සතර අහස යට” නැමති කාව්‍යය සංග්‍රහය තුළින් මෙරට වත්මන් කවිකෙතට තවත් එක් ප්‍රතිභාසම්පන්න තුරුණු කිවිඳියකගේ ආගමනය සිදුවී ඇති බව පසක් කරමින් ද එසේම අනාගතයේ දී මෙරට සාහිත්‍ය රසිකයින්ගේ භාව ක්ෂේත්‍රය පුළුල් කිරීමට ඇවැසි නිර්මාණ ශක්තිය කිවිඳියට නිබඳව හිමි වේවා යයි පතමින් ද මෙම සටහනට නැවතිමේ තිත තබමි.

විශේෂ සටහන —-

කාව්‍යකරණය වූ කලී මානවයා වීසින් කරන ලද ආදිතම ප්‍රබන්ධකරණය බව පෙනේ. එහෙයින් මානව වංශයේ මූලාරම්භක අවදියේ දී සෑම ලේඛකයකුම කවියකු විය . මක්නිසාදයත් ඒ ආදිතම මානව භාෂාව හා කවිය යනු එකක්ම වූ නිසාය . ජීවිතයේ සත්‍යය හා සුන්දරත්වය අවබෝධ කර ගැනීම වූ කලී සැබවින්ම කවීත්වය ලැබීම වන්නේ ය.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

සබැඳි

Leave a Reply

Your email address will not be published.