වාරිස් ඩයිරි : කාන්තාරයේ කුසුම

මට මුලින්ම ඇය පිළිබඳව කියවන්නට ලැබුණෙ අදටත් මා ළඟ තිබෙන Reader’s Digest සඟරාවේ 1999 වසරේ ජූලි මස කලාපයේ පළ කර තිබුණු Book Choice විශේෂාංගය තුළින්.

එයට පෙර වසරේ, එනම් 1998 වසරේ ඇය ඇමරිකානු ජාතික ලේඛිකාවක වන කැත්ලීන් මිලර් සමග සම කතුවරත්වයෙන් එළි දැක්වූ Desert Flower නම් ඇගේ චරිතාපදානයයි සංක්ෂිප්තව එම විශේෂාංගයේ උපුටා දැක්වුණේ.
ජාත්‍යන්තරව ඉහළම අලෙවියක් ඇති කෘතියක් බවට පත්වූ එහි පිටපත් මිලියන 11කට වැඩි ගණනක් ලොව පුරා මේ වන විට අලෙවි වී තිබේ.

පසුව ඇය Desert Dawn , Letter to My Mother සහ Desert Children යන කෘති තුන ද එළි දක්වනව.
සෝමාලියානු එඬේර පවුලක දරුවන් දුසිමකින් එක් දැරියක ලෙස වාරිස් උපත ලබන්නේ, 1965 වසරේ.
ඇගේ පළමු නාමය වන Waris යන්නෙහි අරුත ” කාන්තාරයේ කුසුම ” ( Desert Flower ) යන්නයි.

මේ කුඩා දැරිය තම පස්වෙනි වියේදී සාතිශය තිරශ්චීන වූ ද, දැඩි ලෙස වේදනාකාරී මෙන්ම ම්ලේච්ඡ වූ ද ගෝත්‍රික චාරිත්‍රයකට මුහුණ දෙනව.
එනම් බාහිර ස්ත්‍රී ජනනේන්ද්‍රිය අංග ඡේදනය කිරීමයි.

නිර්වින්දනයක් හෝ ජීවාණුහරිත උපකරණ භාවිතා කිරීමක් සිදු නොකරන Female Genital Mutilation ( FGM ) නම් මෙම අති අමානුෂික හා ප්‍රාථමික සැත්කම අවසානයේ යෝනි විවරය මසා දමනව.

කීර්තිමත් බ්‍රිතාන්‍ය සත්ව විද්‍යාඥ ඩෙස්මන්ඩ් මොරිස් තම Naked Woman ( නිරුවත් ගැහැණිය ) කෘතියේ සඳහන් කර තිබෙන පරිදි ස්ත්‍රී දේහයේ ස්නායු තන්තු 8,000ක් පමණ ඒකරාශී වූ වඩාත්ම සංවේදී ස්ථානය වන භගමණිය ( Clittoris ) කොටසක් පවා මෙම චාරිත්‍රය මගින් ඉවත් කෙරෙනව.

ඒ අමිහිරි අත්දැකීම ලද වාරිස් ඩයිරි තම 13වෙනි වියේදී දෙමාපියන් විසින් විවාහ කර දීමට යෝජිත හැට හැවිරිදි මහල්ලෙකුගෙන් ගැලවීම පිණිස තම රැහෙන් පමණක් නොව මව්බිමෙන් ද පළා යනව.

අවසානයේ ඇගේ ඉරණම විසින් ඇය එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නුවර වෙසෙන , ජාත්‍යන්තර කීර්තියට පත් ජගත් විලාසිතා ලොවේ සුපිරි නිරූපිකාවක් ලෙස ඔටුනු පළඳවනව.
එතැන් සිට ඇය ස්ත්‍රී ජනනේන්ද්‍රිය සුන්නත් කිරීමේ වනචාරී චාරිත්‍රයට එරෙහිව ලෝක ජන මතයක් ගොඩ නැගීමේ සුවිසල් කාර්යභාරයක නිරත වෙනව.

Desert Flower කෘතියේ පිටපත් මිලියන 3ක්ම අලෙවි වූ ජර්මනියේ වෙසෙන අපේ ප්‍රවීණ පරිවර්තක රංජිත් කුරුප්පු මහතා විසින් එම කෘතිය හා Desert Children යන,කෘති ද්විත්වය පිළිවෙළින් ” කාන්තාරයේ කුසුම ” සහ ” කාන්තාරයේ දරුවෝ ” නමින් සිංහලට පරිවර්තනය කර තිබෙනව.

ප්‍රේමශාන්ත කුමාරසිරි

lankaweb.lk

සබැඳි

Leave a Reply

Your email address will not be published.