සැබෑ මිනිස්සු මොන ආගමේද මොන ජාතියේද අදාල නෑ. ඒ මිනිස්සු සුවඳයි.

උඹ බුදු වෙලාද..?

“එහෙම කිව්වට කවුරුත් විශ්වාස කරන්නෙ නෑ පුතේ. පේනවනෙ රත්තරං රිදී පුරෝගෙන … පට සේල පටලවගෙන පාවෙන අපේ සම්භාවනීය නෑදෑ හිතවත්තු.”
“බුදු වෙලා කියල පෙන්නන්න නම් ඉතින් අහසට පැනල මැජික් පෙන්නන්න වෙයි.
නැතුව මේ රාජකීයයන් උඹව විශ්වාස කරන්නෙ නෑ පුතේ.”

ගෞතම සිද්ධාර්ථ බුදුන්ටත් මූණ දෙන්න වුනේ මෙන්න මේ රූකඩ සමාජයට.

නමුත් අද ගස් ගල් ගානෙ පිලිම හදල උදේ ඉඳන් රෑ වෙනකල් වැඳ වැටෙන්නෙත් අර කියපු සමාජයම තමයි.

“මෙන්න මේ තරුණයා කියනව ඌ පණිවිඩ කාරයෙක්ලු… ඌ දෙවියන්ගෙ පුත්‍රයාලු.
මූ නම් දෙවියන්ට අපහාසයක්. මේකව අල්ලල ඇණ ගහන්න වටිනව .. කොහෙන් ආපු රස්තියාදු කාරයෙක්ද.?”

මග හොයපු මිනිස්සුන්ට මග කියල දීපු… ජීවිතය ගැන ලස්සන දේශණා කරපු යේසුස් වත් කුරුසෙ ඇණ ගැහුව අර රූකඩ ටිකම එකතු වෙලා.

බරබ්බාස් කියන හොරාව නිදහස් කරල.. යේසුස්ට මරණ දඬුවම දුන්න විතරක් නෙවේ…මැරුණු මිනිහගෙ වස්ත්‍ර බෙදාගන්න උන් දාදු දානව.

ගාන්ධි… මාර්ටින් ලූතර් කිං… චේ අමු අමුවේ මරා දානව… ස්ටීව් බිකෝට මැරෙනකම් පහර දෙනව… මැන්ඩෙලාව හිර ගත කරනව.
නමුත් ඒ සමාජයම අද ඒ මිනිස්සුන්ව දේවත්වයෙන් සලකනව.

මේක මහා විකාර ලෝකයක් නෙවේද?
තනිකරම වලිගෙ පාග ගත්ත කෝලම් කාරයො වෙසෙන සමාජයක් නෙවේද?
සුනීත සෝපාකට පයින් ගහල එලවල… පඨාචාරාට වේස ගැහැනිය කියල බැණ වැදිල දාගැබ් ලඟ කෑම ගොඩගහන සමාජයක නෙවේද අපි ඉන්නෙ.?

මරියා මද්ලේනා ගණිකාවක් කියල හංවඩු ගහල ලේ එනකම් පහර දීල … නත්තල් ගහ සරුව පිත්තල වලින් සරසන සමාජයක නෙවේද අපි ජීවත් වෙන්නෙ.?

අද යේසුස් හිටිය නම් මේ හාදයො එකතුවෙලා ගල් ගහල මරල ගෝල්ෆේස් එකෙන් මුහුදට විසික් කරයි.
ගෞතම සිද්ධාර්ථ බුදුන් හිටිය නම් පොලු වලින් ගහල බෝ ගහක එල්ලයි බුද්ධාගමට අපහාස කරනව කියල.
ඊට පස්සෙ පිලිම හොය හොය දුවයි ලෝකෙ වටේ.

“දෙව්‍ රම් වෙහෙර වටේ තිබ්බ නම් මහා තාප්පයක්
පටාචාරා මහ මග තාම හෙළුවෙන්” කියල කවියෙක් ලියල තිබුනෙ ඒ නිසයි.

අපි අතරෙම ඉන්නව..කිසා ගෝතමීල .. විල්මා රුඩොල්ෆ්ල..රෝසා පාක්ල.. ස්ටීව් බිකෝල… සිද්ධාර්ථල.. සැරියුත්ල.
නමුත් අපි පිලිගන්න අකමැතියි.

අපි පුදුමාකාර විදිහට කුහකයි. අපි අතරෙ ඉන්න ශ්‍රේෂ්ඨයන්.. කැපකිරීම් කරන මිනිස්ස්සු.. අනිත් අය වෙනුවෙන් හඬ නගන මිනිස්සුන්ට අපි කැමති නෑ.

උන් කොහොමද අපිට වඩා ශ්‍රේෂ්ඨ වෙන්නෙ.? මේ තමයි අපි අහන ප්‍රශ්ණය.

නමුත් අනාගතයේ දවසක ඒ මිනිස්සු වෙනුවෙන්ම පිලිම ඉදිවෙනව. ඒ ඉස්සරහ සමරු උත්සව තියනව. කඳුළු පෙරාගෙන කවි කතංදර ලියනව.

හේතුව මිය ගිය මිනිස්සු වැරදි කරන්නෙ නෑ.. මරාදැමූ මිනිස්සුන්ට අතපසු වීම් කරන්න බෑ. ඒ නිසා ඒ අය වීරයො වෙනව.

මහා නළුවන්ට… ගායක ගායිකාවන්ට ලැබෙන අවධානයෙන් .. ආදරයෙන් සීයට එකක්වත් සැබෑ මිනිස්සුන්ට ලැබෙන්නෙ නෑ.

ඒ තමයි අපි ජීවත් වන කෘතීම ..විකාර .. සෝභන වටපිටාව. ඒ විකාරයෙන් ගැලවෙන්න ලේසි නෑ.
ඒකට උඩුගම් පීනන්න වෙනව.
දෙවියො බුදුන් ඉන්නෙ මහා මන්දිර වල.. පංසල් අස්සෙ සුවඳ දුම් මැද්දෙ නෙවේ.
ඒ අය දූවිල්ලෙ.. මහ අව්වෙ ..දුප්පත්.. හඬක් නැති
අසරන මිනිස්සු වෙනුවෙන් කෑ ගහනව.
සමහරු හිරගෙවල් ඇතුලෙ .. තවත් අයව දම්වැලින් බැඳල.

මොනව වුනත් සැබෑ මිනිසුන්ගෙ ගුණ සුවඳ යටපත් වෙන්නෙ නෑ. ඒ සැබෑ මිනිස්සු මොන ආගමේද මොන ජාතියේද අදාල නෑ.
ඒ මිනිස්සු සුවඳයි.

Malcolm Sang

සබැඳි

Leave a Reply

Your email address will not be published.