අපගේ පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේ බලපෑම.

පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමක් අතරතුරදී, කථානායකවරයා අඛණ්ඩව සිය කාර්යයන් ඉටුකරන අතර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි නොවූවද ඔවුන් සිය ධූරයේ රැඳී සිටී. වාරාවසාන කිරීමක බලපෑම වන්නේ පාර්ලිමේන්තුව අභිමුව ඇති සියලු කටයුතු අත්හිටුවීම සහ දෝෂාභියෝග හැර ඒ වනවිට සභාව අභිමුව ඇති සියලු ක්‍රියාවලි අවලංගු වීමයි. එකම කරුණ හා සම්බන්ධ පනත් කෙටුම්පතක්, යෝජනාවක් හෝ ප්‍රශ්නයක් එම සැසිවාරය තුළම දෙවැනි වතාවට ඉදිරිපත් කළ නොහැකිය. කෙසේ වෙතත්, එය වාරාවසාන කිරීමකින් අනතුරුව එළැ‌‌‌ඹෙන සැසිවාරය දක්වා ගෙනයා හැකිය.

ඉදිරියේදී ගැනීමට නියමිත සභාවේ කටයුතු

“යථා පරිදි පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන එනු ලැබ, පාර්ලිමේන්තුවේ වාරය අවසාන කරන අවස්ථාව වන විට කටයතු නිම කරනු නොලැබ ඇති යම් කාරණා ඇත්තේ ද, ඒ සියලු කාරණා පිළිබඳව පාර්ලිමේන්තුවේ ඊළඟ සභාවාරයේ දී ඉතිරි පියවර ගැනීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේ ය.” යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ 4 වන පරිච්ඡේදයේ සඳහන් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙම ප්‍රතිපාදනය තුළ පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම නිසා ඉදිරියේදී ගැනීමට නියමිත කටයුතු අහෝසි වීමක් සිදු නොවේ. එහිදී, ඉදිරියට ගැනීමට නියමිත කටයුතු පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වූ වහාම එය පැවති තත්ත්වයේ සිට ඉදිරි කටයුතු සිදු කිරීමට හැකියාව තිබේ. පාර්ලිමේන්තුවේ නව සැසිවාරයක් ආරම්භ වන අවස්ථාවේ න්‍යාය පත්‍රයේ පෙළ ගස්වා තිබෙන සභාවේ කටයුතු පිළිබඳ විෂයයන් අඛණ්ඩව පවත්වාගැනීම අවශ්‍ය වන්නේ නම් ඒවා නැවත ලැයිස්තුගත කළ යුතු වේ.

පාර්ලිමේන්තුවේ කාරක සභා

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 114 අනුව තේරීම් කාරක සභාව පත් කළ යුතු අතර , විශේෂ කාර්යයන් සඳහා වන පහත සඳහන් සියලු කාරක සභා පාර්ලිමේන්තුවේ විරාම කාලය හෝ වාර අවසන් කිරීමකදී අහෝසි වේ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 124(5), 111(2), සහ 109 අනුව පිළිවෙලින් උසස් නිලතල පිළිබඳ කාරක සභාව, ආංශික අධීක්ෂණ කාරක සභා සහ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා හැර අන් සියල්ල පාර්ලිමේන්තුවේ සැසිවාරය නැවත ආරම්භ වන අවස්ථාවේ නැවත ස්ථාපිත කිරීමත් කළ යුතු ය.

අ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව
ආ. ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව
ඇ. ගෘහ්‍ය කාරක සභාව
ඈ. ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව
ඉ. ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව
ඊ. අමාත්‍යංශයීය උපදේශක කාරක සභා
උ. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
ඌ. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
එ. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව
ඒ. මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව
ඕ. පසුපෙළ මන්ත්‍රීන්ගේ කාරක සභාව

සභාපති නාමාවලිය

නියෝජ්‍ය කථානායකවරයාගේ හෝ නියෝජ්‍ය කථානායකවරයා පැමිණ නොසිටින අවස්ථාවක දී , නි‍යෝජ්‍ය කාරක සභා සභාපතිවරයාගේ ඉල්ලීම මත කාරක සභාවල තාවකාලික සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීමට මන්ත්‍රීවරයන් සිවු දෙනෙකුට නොඅඩු ගණනකින් සමන්විත සභාපති නාමාවලියක් සෑම සභාවාරයක් ආරම්භයේ දීම කථානායකවරයා විසින් නම් කරනු ලැබිය යුතු ය.

නව සැසිවාරය ආරම්භ කිරීම

පාර්ලිමේන්තුව වාරඅවසාන කිරීමක් අවසානයේ දී නව සැසිවාරය ආරම්භ වන අතර එය ජනාධිපතිවරයා විසින් උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබේ. පාර්ලිමේන්තුවේ එක් එක් සැසිවාරය ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරිමටත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ (2) පරිච්ඡේදය අනුව ජනාධිපතිවරයාට බලතල ඇත්තේ ය.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සැසිවාරයන් ආරම්භ වීම

පාර්ලිමේන්තු වාර්තා අනුව අනාවරණය වනුයේ පාර්ලිමේන්තුව 1947 සිට 50 වරක් පමණ වාරාවසාන කර ඇති බවයි. 1978 සිට සැසිවාර 25කට වඩා පවත්වනු ලැබ තිබේ. එනම්,

පළමුවන පාර්ලිමේන්තුවේ 1978/09/07 දින සිට 1988/12/20 දක්වා සැසිවාර 07ක් පැවැත්විණි.
දෙවන පාර්ලිමේන්තුවේ 1989/03/09 සිට 1994/06/24 දක්වා සැසිවාර 05ක් පැවැත්විණි.
තුන්වන පාර්ලිමේන්තුවේ 1994/08/25 සිට 2000/08/18 දක්වා සැසිවාර 03ක් පැවැත්විණි.
හතරවන පාර්ලිමේන්තුවේ 2000/10/18 දින සිට 2001/10/10 දක්වා සැසිවාර 03ක් පැවැත්විණි.
පස්වන පාර්ලිමේන්තුවේ 2001/12/19 සිට 2004/02/09 දක්වා සැසිවාර 02ක් පැවැත්විණි.
හයවන පාර්ලිමේන්තුවේ 2004/04/22 සිට 2010/02/09 දක්වා සැසිවාර 04ක් පැවැත්විණි.
(හදිසි අවස්ථා රෙගුලාසි සම්මත කර ගැනීම සදහා විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව 2010/03/09 සහ 2010/04/06 දින නැවත කැඳවන ලදී.)
හත්වන පාර්ලිමේන්තුවේ 2010/04/22 සිට 2015/06/26 දක්වා සැසිවාර එකක් පැවැත්විණි.
අටවැනි පාර්ලිමේන්තුවේ 2015/09/01 සිට 2020/03/02 දක්වා සැසිවාර 04ක් පැවැත්විණි.
නවවැනි පාර්ලිමේන්තුවේ 2020/08/20 සිට මේ දක්වා සැසිවාර එකක් පැවැත්විණි.

වාරාවසාන කර තිබූ කාල සීමාව තුළ අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා විසින් 1958 මැයි 27 දින පාර්ලිමේන්තුව කැඳවන ලදී. ඒ ජනවාර්ගික කෝලාහල පැන නැගුණු බැවින් හදිසි අවස්ථා නීතිය ප්‍රකාශයට පත්කළ බව පාර්ලිමේන්තුවට දැනුම් දීම සඳහා ය. ඒ අනුව 1958 ජූනි 04 වැනි දින පාර්ලිමේන්තුව රැස්විය. එය සුවිශේෂී අවස්ථාවකි.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය

නව සැසිවාරයක් ආරම්භයේ දී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. අතීතයේ එය හඳුන්වනු ලැබුවේ රාජාසන කථාව නමිනි. එය ඉදිරිපත් කරන ලද්දේ අග්‍රාණ්ඩුකාරවරයා විසිනි.

1960 අප්‍රේල් 22 දින ඩඩ්ලි සේනානායක අගමැතිවරයාගේ ආණ්ඩුව පරාජය වී ඇත. අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා විසින් 1960 අප්‍රේල් 06 වන දින රාජාසන කථාව ඉදිරිපත් කරන ලදී. එයට ස්තුතිය පළ කිරීමේ යෝජනාවට විපක්ෂය විසින් ගෙන එන ලද සංශෝධනයට පක්ෂව ඡන්ද 86 ක් ද විරුද්ධව ඡන්ද 61 ක් ද ලැබුණ අතර මන්ත්‍රීවරු 08 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. නැවත වරක් ස්තුති යෝජනාව සංශෝධනය කරමින් ගෙන එන ලද යෝජනාවට පක්ෂව ඡන්ද 93 ක් ද විපක්ෂව ඡන්ද 61 ක් ද ලැබුණ අතර එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය.

1978 සිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ප්‍රකාශ විවාදයට ලක් කිරීමක් හෝ ඡන්ද විමසීමකට භාජනය කිරීමක් සිදු නොවේ.

parliment.lk

සබැඳි

Leave a Reply

Your email address will not be published.