“දේශපාල⁣නයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැත” : යන තක්කඩි ප්‍රකාශය යළි ලාංකික දේශපාලනයේ කරළියට පැමිණ ඇත

“දේශපාල⁣නයේ සදාකාලික මිතුරන් හෝ සදාකාලික සතුරන් නොවන්නේය” වන තක්කඩි ප්‍රකාශය යළි ලාංකික දේශපාලනයේ කරළියට පැමිණ තිබේ. ජනවරම, ජනතා පරමාධිපත්‍යය සහ ජන අරගල පසෙක තිබියදී දේශපාලනඥයින්ගේ පන්දු කෙළිය ඇරඹී තිබේ. ශ්‍රී ලංකාවේ පක්ෂ මාරු කිරීමේ ඉතිහාසය පාර්ලිමේන්තු ඉතිහාසය තරම්ම ඈතට දිවෙන නමුත්, වරදාන, වරප්‍රසාද හෝ තක්කඩින් සුරැකෙන පරිදි පක්ෂ මාරු කරන විලාසිතාව ප්‍රවර්ධනය කිරීමේ කුපක්‍රටභාවයද අත්පත් කරගන්නෝ රාජපක්ෂලාම වන්නෝය. එහෙයින් රාජපක්ෂලාගේ පිටියේම මේ වෙද්දී රට වෙනුවෙන් පන්දු කෙළි ඇරඹී ඇත. බහුතර ජනතා වි⁣රෝධයක් මෙන්ම සහභාගිත්වයක් ඇතිව පළවා හැරි ජනාධිපතිවරයා වෙනුවට පත් කරගන්නේ කවුද යන උභතෝකෝටිකයක ජනතාවම යළි ගිල්වීමට පාර්ලිමේන්තු දේශපාලනය අදූරදර්ශී වී තිබේ.

මිරිහානේ ගෝඨාභය රාජපක්ෂගේ නිවස ඉදිරිපිටින් ඇරඹි ජන විරෝධයේ සාර්ථකත්වය හෝ ජයග්‍රහණය කිසිදු දේශපාලන පක්ෂයකට තනිව පවරාගත හැකි දෙයක් නොවේ. නමුත්, මෙකී තත්ත්වය නිර්මාණය වීමට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂය හැටියට සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයත්, ශිෂ්‍ය හා වෘත්තීය සමිති සංවිධාන කෙරෙන් ගෝඨාභය එළවීමට පසුබිම් දායකත්වය සැපයිණි. නමුත්, මේ කිසිදු පක්ෂයකට හෝ පාර්ශ්වයකට තනිව කළ නොහැකි පරිදි ගෝල්ෆේස් අරගලයට ජනතාව ඒකරාශී වූහ. එහෙයින්ම දැන් පක්ෂ දේශපාලනය රට තුළ අහෝසි වී අහවරය. අරගලය විසින් ජනාධිපතිවරයකු ලෝකය තුළ පැන ගිය (Escaped) අයෙකු ලෙස හඳුන්වන තත්ත්වයට පත් කෙරිණි. එයට දේශපාලනඥයින් අවැසි වූයේ නැත. එහෙත්, දැන් පාර්ලිමේන්තුවේ වාරය එළඹ ඇත.

2019 නොවැම්බර් ජනාධිපතිවරණයෙන් ගෝඨාභය ජයගත්තේ පාර්ලිමේන්තුවේ 3න් 2ක බලය කල් තියා තහවුරු කරගනිමිනි. සජිත් ප්‍රේමදාස පරාජය වුවත් රටේ ලක්ෂ 52ක් ජනතාවගේ ප්‍රසාදය ඔහුට හිමි විය. ඒ සජිත්ට දිනන්නට සහාය දෙන බව කී ප්‍රමුඛයෙකු හැටියට රනිල් වික්‍රමසිංහද අහක බලාගෙන සිටියදීය. රනිල් වික්‍රමසිංහ එදාද අනියමින් කළේ වර්තමාන විපක්ෂ නායක – ජනාධිපති වෙනු දැකීම ප්‍රතික්ෂේප කිරීමය. සහාය දෙන බව කියා රනිල් පස්ස හැරවීය. සජබ හැදීමේ පසුබිමද එබඳුය. ජනමතය අනුව සුදුස්සෙකු සිතන්නේ නම් එහිදී සජිත් ⁣ප්‍රේමදාස යනු එකම තැනැත්තාය. පොදු විවේචන පසෙක තබා බලන්නේ නම් ජනමතය ඇත්තේ එතනය. ගෝඨාභයට එල්ල වූ විරෝධය හමුවේ සජිත්ට ඇත්තේද එවන් විරෝධයක් විය හැකි නමුත්, අවසන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ, වැඩිම ඡන්ද ලැබූ ප්‍රතිවාදී අපේක්ෂකයාට තනතුර හැර ගිය ජනාධිපතිගේ අනුප්‍රාප්තිකයා හැටියට ඡන්දයට ඉදිරිපත් වීමේ සදාචාරාත්මක අයිතියක් ඇත.

නමුත්, මැයි 13 වැනිදා රට රකින නාමයෙන් ගෝඨාභය ඉදිරිව දිවුරුම් දුන් හෙයින් ගෝඨාභය රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා වීමට රනිල් සුදුස්සා වී, පාර තනාගෙන ඇත. ගෝඨාභයගේ හා රාජපක්ෂවරුන්ගේ උවමනාවද බොහෝ විට එය විය හැකි නමුත්, ප්‍රශ්නය ඇත්තේ පාර්ලිමේන්තුවේය. රනිල් යනු පරාජිත පක්ෂයක, ජාතික ලයිස්තු එකම මන්ත්‍රී ධුරයට පවා ප්‍රමාද වී පැමිණි අයෙකි. පාර්ලිමේන්තුවේ ජනමතය තුළ රනිල් ජනාධිපති වීමට සුදුස්සෙකු නොවේ. එසේම රනිල් සිය දේශපාලන ඉතිහාසයේදී වසර 17කින්වත් ජනාධිපතිවරණයකට සහභාගි වූවකුද නොවේ. මීළඟට අනුර කුමාර දිසානායකය. ඔහු මුල සිටම කීවේ තමන් ජනාධිපතිගේ අනුප්‍රාප්තිකයා වීමට වඩා ව්‍යවස්ථානුකූලව කථානායකවරයා ජනාධිපති හැටියට පත්කොට, අන්තර්කාලීන පාලනයකින් පසු මැතිවරණයකට යා යුතු බවය. ඔහු පවසන පරිදි එසේම සිදුවන්නේ නම් ව්‍යවස්ථාපිතව රටට වඩාත් හොඳම සහ ප්‍රජාතන්ත්‍රවාදීම තීරණය වන්නේ මෙයය. මන්ද, දැන් ජනමතය සහමුලින්ම උඩුයටිකුරුව ඇති බැවිනුත් එහෙයින්ම පාර්ලිමේන්තු නියෝජනයද ජනමතය නොවීමේ වැඩි සම්භාවිතාවක් වන බැවිනුත්ය. නමුත්, අනුරගේ යෝජනාවට කිසිදු පාර්ශ්වයක් එකඟ නැති හෙයින් ඔහුද ජනාධිපති අපේක්ෂක හැටියට ඉදිරිපත් වීමට තීරණය කර ඇති බව කියයි. මේ අතර පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි පොහොට්ටුවේ මන්ත්‍රී ඩලස්, ගෝඨාභය ගිය පසු අනුප්‍රාප්තිකයා වන බව පෙර සිටම කියැවුණ අතර ඩලස් ජනාධිපති අ⁣පේක්ෂකයා හැටියට නම් කිරීමට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ පොහොට්ටුවටද සදාචාරාත්මක අයිතියක් ඇත. ඩලස් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වූවා නම් එයද ඔහුට ජනාධිපති වීමට සහයක් වන්නට තිබිණි. පොහොට්ටුව එක මතයක සිටී නම් නිසැකවම ඩලස් අනාගත ජනපති වීම වැළකිය නොහැක. නමුත්, පොහොට්ටු මහලේකම්වරයා පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් වන පක්ෂ මතය මේ වන විට දෙකඩ කර තිබේ. මේ සිදුවීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයද ඉතා වැදගත් එකකි. එම පක්ෂය කියන පරිදි පාර්ලිමේන්තුව ජනමතය අනුව කටයුතු ⁣නොකර, මහජන අරගලයට හිස නොනමන්නේ නම් එය සියලු සදාචාර සීමා ඉක්මවා යාමකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීමට, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අත එසවූ ශ්‍රීලනිපය, දැන් ජනාධිපතිවරයෙකු පත් කිරීමට ඡන්දය නොදීමේ ප්‍රතිඵලය හොඳම තීරණය නොවේ. එසේ වුවත් එය ජනඅරගලයක් ඉදිරියේ මිතුරන් ඇති කරගැනීමට අනාගත හේතුවකි. මේ වෙද්දී රට හැටියට ගත් කල රට වෙනුවෙන් තවමත් දශමයක හෝ යහපතක් වී ඇත්නම් එ් ජනතා අරගලයේ ජයග්‍රහණය නිසා පමණි. තවදුරටත් අනාගත පාර්ලිමේන්තු දේශපාලනය රට ගොඩගන්නා බව පෙන්වන්නේ නම් එයද ජනතාවට ජයක් වන්නේය. නමුත් මේ පෙනෙන දේ අනුව එය සිදු නොවේද යන සැකය පහළව තිබේ. කෙසේනමුත්, විධායක ජනාධිපතිවරයෙකු පැන යාමට සැලසූ ජනතා අරගලය ඉදිරියේ සදාකාලික මිතුරන් හෝ සතුරන් සිටින්නේ පාර්ලිමේන්තුවේද නැතිනම් මහපොළොවේද යන්න දේශපාලකයින් අනාගත දේශපාලනයේදී වටහාගනු ඇත. ඒ වටහාගැනීම දුර ඈත නොවේ.

ශිවන්ති ප්‍රනාන්දු

සබැඳි

Leave a Reply

Your email address will not be published.