“අරගලකරුවන් නිසා වාකරේ කලපුව පිල්ලෙයාන්ගෙන් බේරුනා”

ගෝටා ගෝ හෝම් (#GotaGoHome2022) අරගලයේ නිරත වෙලා ඉන්න කොල්ලො කෙල්ලො නිසා වාකරේ කලපුව පිල්ලෙයාන්ගෙන් බේරගන්න පුලුවන් වුනා. මෙහෙම කිව්වෙ වාකරේ, ඌරියන්කට්ටු ජනතාව.

පාර්ලිමේන්තු මන්ත්‍රි, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් විසින් ජාතික ජලජීවී සංවර්ධන අධිකාරිය සහ වාකරේ – කෝරලේපත්තු උතුර ප්‍රාදේශීය ලේකම් හා එක් ව වාකරේ කලපුවෙ අක්කර 60 ක තිලාපියා මසුන් බෝ කිරීම සඳහා පොකුණු සකස් කර එම පොකුණු සහිත ඉඩම් ඔහු ගේ හිතවතුන් අතර බෙදා දීම සිදු කර ඇත.

එම පොකුණුවලට මත්ස්‍ය පැටවුන් දැමීමට ඔවුන් පසුගිය අප්‍රේල් මාසයේ දී පැමිණි අවස්ථාවේ දී ජනතාව දැඩි බලපෑමක් කර එම ක්‍රියා ව නතර කර තිබේ.

ඊට එරෙහි ව රාජ්‍ය දේපලවලට හානි කිරීමේ වරදට ගම්වාසීන් විසි දෙදෙනෙකුට විරුද්ධ ව නඩු පවරා තිබේ.
කලපුව ලවණ ජලයෙන් යට වී පවතින මාස 6 ක් මසුන් ඇල්ලීම ද ජලයෙන් යට නොවී පවතින තෘණ බිම් බවට පත් වන මාස 6 ක කාලය එළුවන් හා හරකුන්ට තණ කැවීම ද සිදු කරයි. ඒ අයුරින් කලපුව අවට ජනතාව ජීවන මාර්ග ගොඩනගා ගෙන තිබේ.

වාකරේ කලපුව අවට පදිංචි ජනතාව මේ ආකාරයෙන් භාවිත කළ කලපුව විනාශයට ලක් කරමින් ජන දිවිය පීඩාවට පත් කරමින් සිදු කළ ව්‍යාපෘතිය මේ වන විට තාවකාලික ව නතර කර ගැනීමට හැකියාව ලැබී තිබේ. නමුත් කලපුවට සිදු කළ විනාශය හා කලපුවේ ජලය බැස යාම අවහිර කිරීම නිසා ගම්මාන ජලයෙන් යටවීමෙන් සිදු වූ විනාශය ඒ ආකාරයට ම පවතී.

නමුත් වාකරේ, ඌරියන්කට්ටු ජනතාව හදවතින් ගෝටා ගෝ හෝම් අරගලයේ නිරත තරුණ තරුණියන් ඇතුළු සියලුදෙනා සමඟ ආදරයෙන් බැදී සිටිති.
එහි දී අප අවධාරණය කළේ දේශපාලඥයන් හා රාජ්‍ය නිලධාරීන් එක් ව සිදු කරන ස්වාභාවික සම්පත් විනාශයට එරෙහි ව ප්‍රාදේශීය මට්ටමින් ද ශක්තිමත් අරගල සංවිධානය කළ යුතු බව ය.

– සජීව චාමිකර
(පරිසරවේදී)

සබැඳි

Leave a Reply

Your email address will not be published.