ඉතිහාසයට එක්වන රාජපක්‍ෂ රෙජීමය මෙසිරිලක ජනයාට ලබා දෙන පාඩමක්

චෞර රාජපක්ෂ පවුල් රෙජීමය.
මහජනයාට ජනාධිපති මන්දිරය දැක බලාගන්නට.
සැලැස්වූ ඓතිහාසික අවස්ථාව.
කියා දුන් ඒ පාඩම.

ජනතා පරමාධිපත්‍යයට වග කියනු, වග වෙනු , ගරු කරණු
රාජපක්ෂලා යනු එසේ මෙසේ රෙජීමයක් පවත්වාගෙන ගිය අය නොවේ. රාජපක්ෂලා යනු චෞර පවුල් රෙජීමයක් පවත්සවාගෙන ගිය, ඇතැම් විට අප මේ සියවසේ දුටු නින්දා සහගත පවුල බව අමුතුවෙන් කිව යුතු නැත.
2005 සිට 2010 දක්වා රජ කළ රාජපක්ෂ පවුල් රෙජීමය සිය දූෂිත, අපරාධකාරී පවුල් පාලනය නිසාම 2015 දී බලයෙන් ‍විසි‍වන්නේය. එහත් නැවත 2019 දී බලයට පත්වන්නේ එතෙක් මෙතෙක් සිදු කළා යයි සැක කෙරෙන, එසේ නැත්නම් සිදුවන්නට ඉඩ හැරියා යයි සැකකෙරෙන සාහසික ” පාස්කු අපරාධය” නිසාය. නැවතත් ශ්‍රී ලාංකීය රාජ්‍ය සිය පවුල් පාලනයට නතු කරගන්නට සමත් වූ රාජපක්ෂ පවුල් රෙජීමය ආණ්ඩුව කොතරම් සිය භුක්තියට සවි කරගත්තේ ද යත් සහෝදරයින් සිව් දෙනා ද පුතුන් දෙදෙනා ඇතුළු සනුහරය රාජ්‍ය අයවැයෙන් සියයට 65 % – 75% අත් කරගත්තේ සියුලු වටිනා අමාත්‍යංශ පවුල සතු කරගනිමිනි. බෙලහීන ඩලස් වැනි අයට පවා ලැබුණේ කටු කෑමටය. රාජපක්ෂ වෙනුවෙන් කඩේ ගිය අනෙක් දේශපාලඥයින් රොත්තටම සිදුවූයේ එයයි.

සිය පවුලේ සියළු නඩු හබද, සමීපතම හෙන්චයියන්ගේ ද නඩු හබ විසඳා ගත් පසු හැකි පමණින් රට තවත් කොල්ල කනවා විනා ‍රට නැවත ගොඩ නැගීමක් පිළිබඳ නිවැරදි දැක්මකින් හෝ වැඩපිළිවෙලක් ඇතුව කටයුතු නොකළේය. ගෝඨාබය යනු රාජපක්ෂ පවුලේ සිටින දුර්වලතමයා යයි කීවේ ජවිපෙය. කියූ ලෙසම ගෝටාභය රාජපක්ෂ පවුල රට වල පල්ලටම ඇරියේය. ‍ගෝඨාභයගේ ආණ්ඩුවේ වියතුන් ඇතැයි කීවේය. සිංගප්පූරුවේ මෙන්, මැලේසියාවේ මහතීර් මොහොමඩ් මෙන් රට ගොඩ නගනු ඇතැයි කීවේය. කලාකරුවන් රොද බැදගෙන ගොඨාභය නාමය විශ්වය පුරා පැතිර යන බව සමූහ ගීතිකා ගයමින් කියා සිටියහ. ඇත්තය මේ සියවසේ චෞර පවුල් රෙජීමයක් පවත්වාගෙන යන්නට ගොස් තණතුර ද, රට ද හැරයන්නට සිදුව ඇත.

රාජපක්ෂ පවුලම බුද්ධාගමට ලැදි අයය. ඔවුන් බලයට පත්කිරීමට ඡන්දය දුන් බහුතරය සිංහල බෞද්ධයින්ය. සෑම පෝය දිනකම අරලියගහ මන්දිරයේ බන ඇසීමත් ඒවා සජීව ලෙස ප්‍රචාරය කිරීමත් මහින්ද රාජපක්ෂගේ සිරිත විය. යන යන තැන පංසල් වැඳ ගැනීමත්, ඒවාට අසීමිත අනුග්‍රහය දැක්වීමත් ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂගේ චර්යාවන් වල සුවිශේෂ ලක්ෂණයකි. එහෙව් බෞද්ධයන් වූ රාජපක්ෂලාට බුදු දහමේ එන මූලික හරයක් තේරුණේ නැත. එය අන්කිසිවක් නොව අත්හැරීමයි. ධන තන්හාවෙන් ද බල තන්හාවෙන් ද උමතු වූ රාජපක්ෂ රෙජීමය අවසානයේ සාමාන්‍ය ජනයාට යා නොහැකි, සම්භාවනීය වූ රජ ගෙදර ලෙස ද හැඳින්වූ ජනාධිපති මන්දිරය දැක බලා ගන්නට ඉඩ සැලසුවේ ඒ ලෙසිනි.

චන්ද්‍රිකාගේ කාලයේ මා එක් වරක් ජනධිපති මන්දර‍යට ගොස් ඇත්තෙමි.ඒ වාර්තා කටයුත්තකටය. රාජ්‍ය නායිකාවක් ලෙස අපූරු අසම සම පුරුද්දක් චන්ද්‍රිකාට විය. එය අන් කිසිවක් නොව “ කාලකණ්නි කමයි” එනම් කාලය කා දැමීමයි. එය විනඩි ගණනින් නොව පැය ගණනි. එය එකළ මාධ්‍ය කරුවෝ ද, මැති ඇමතිවරු ද, රජයේ නිළධා‍රීන් ද හොඳින් දනිති. එඳින් එදාද ඒ රාජ්‍ය නායිකාව අදාල කටයුත්තට පැමිණියේ පැය කිහිපයක් ප්‍රමාද වීමෙනි. එදා, වසර 18 කට පමණ පෙර එහි ගිය මට නැවත ජනාධිපති මන්දිරයට යන්නට ලැබුණේ අදය. ඒ ගෝගෝටා ගමින් ඇරඹි මාස තුනක් ඉකුත් වූ පසු ගිය ජනතා කෝපය මිශ්‍රිත ජන අරගලය නිසාය.

ජනතා පරමාධිපත්‍යයට වග නොවන විට, වග නොකියන විට එය වගකීමෙන් පරිහරණය නොකරණ විට පාලකයින් කෙරෙහි ජනතා විරෝධය සහ කෝපය එල්ල වීම ස්වාභාවිකය, සාධාරණය. එහිදී තම විරෝධය දැක්වීම උදෙසා ප්‍රජාතන්ත්‍රවාදයේ එක් මූලික හරයක් වන නිදහසේ අදහස් දැක්වීම සහ විරෝධතා දැක්වීම මහජනයා විසින් සිදු කරණු ලබයි. එය හිංසාකාරී නොවිය යුතු බවත්, සාමකාමී විය යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදීන් අදහන දර්ශනයයි. එය ශිෂ්ට සම්පන්නය. එහෙත් මහජන විරෝධතා හා ප්‍රතිවිරෝධයන්ගේ ස්වභාවය තීරණය වන්නේ පාලකයින් එයට දරණ ප්‍රතිවිරෝධයේ ස්වභාවය මතය. වාසනාවකට වෙනත් රටවල මෙවන් අරගල සිදුවූ විට ඇතිවන තරම් හිංසනයක් හෝ භීෂණයක් ලංකාවේ ඇති නොවූ බව සැබෑය. ඊට මූලික හේතුව අපට එරෙහිව ජාත්‍යනත්ර කුමන්ත්‍රණ කරනවා යයි කියන ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත් වීම, අනතුරු ඇඟවීම බව අප අමතක නොකළ යුතුය. එසේ නොවන්නට රාජපක්ෂලා මේ අරගලයේ දී ජනතාවට සලකන්නට ඉඩ තිබුණේ සජීවී උණ්ඩ වලිනි.

ඊයේ ජනාධිපති මන්දිරයට කඩා වැදුණු මහජනයා කිසිදිනක තමන්ට දැක ගන්නට නොලැබේ යයි සිතූ ජනාධිපති මන්දිරය හෙවත් රජ ගෙදර සිත් සේ නැරඹූහ. ඡායාරූප ගත්හ. ‍ගෝටාභය ජනාධිපතිවරයා අසුන්ගන්නට ඇතැයි සිතෙන තැන්වල හිඳ ගත්හ, ඔහු නිදා ගන්නට ඇතැයි සිතූ ඇඳන් වල ඇළවුණහ. ඔහු භාවිතා කරන්නට ඇතැයි සිතූ නානාකාමර භාවිතා කළහ. පෞරාණික වටිනාකමක් ඇති චිත්‍ර නැරඹූහ. නනා තටාකයට පැන ස්නානය කළහ. රථ ගාලේ ඇති රථ කන්දරාව නිරීක්ෂණය කළහ. මේ සියල්ලමත් ඡායාරූපයට නැගූහ. එය මහජනයා ගේ ස්වාභාවික ආශාවයි. එයට කිසිවක් කිව නොහැකිය. එහෙත් රජ ගෙය ඇතුළට ගිය ඇතැමෙක් ඇතැම් භාන්ඩ සොරාගෙන ගියා හෝ සොරා ගෙන යන්නට උත්සහ කළ බව අසන්නට ලැබිණි. එය මැඩ පැවැත්වීමට තරුණ අරගල කරුවන් සහ හමුදා සාමාජිකයින් එක්ව ගත් උත්සහය ගැන ඔවුන්ගේ ගෞරවය පිණිස සඳහන් කළ යුතුය.

රාජ්‍ය නායකයකු සුව පහසු දිවියක් ගත කිරීම, ඇති තරම් පහසුකම් භුක්ති විඳීම සහ වරප්‍රසාද විඳීම සාමාන්‍යයයෙන් ලෝකයේ ඕනෑම රටක සිදුවන්නකි. එය සාමාන්‍ය කරුණකි. ඇතැම් විට ඔහුගේ කාර්යභාරය අනුව එය අවැසිය. එහෙත් ගැටළුව වන්නේ එතරම් බලයක්, වරප්‍රසාද සහ පහසුකම් ලබා දී තිබිය දීත් රට කරවන කාර්ය නිසි ලෙස ඉටු නොකිරීමය.

ඉතිහාසයට එක්වන රාජපක්ෂ රෙජීමය මෙසිරිලක ජනයාට ලබා දෙන පාඩමක් තිබේ ඒ අන් කිසිවක් නොව රට, ජාතිය, ආගම අනතුරේ යයි කියන විට, ජාත්‍යන්තර කුමන්ත්‍රණ ඇතැයි කියන විට ඒවා කියාගෙන එන පාලකයින් අන්ත තක්කඩියන් ලෙස තේරුම් ගත යුතු බවයි.

දැන් ඇත්තේ ඉතාම තීරණාත්මක සහ සංකීර්ණම අවස්ථාවයි. ඉදිරි කාලය මුකුත්ම නොවන, එහාට මෙහාට ඇදී කල් මරණ එකක් නොවිය යුතු අතර ප්‍රජාතන්ත්‍රවාදය උපරිම අන්දමින් සාක්ෂාත් කරගැනීමට මහජනයා සම්මුති ගත යුතුය. එහිදී ආගමික කණ්ඩායම් ලෞකික රාජ්‍යයට ඇඟලි ගැසීමෙන් සිදුවිය හැකි අනතුර ද බරපතල ලෙස තේරුම් ගත යුතුය.

– අතුල දිසානායක
(සමාජ කතා – Social Conversation)

සබැඳි

Leave a Reply

Your email address will not be published.