“රනිල් අගමැති පුටුවේ ඇඹලයෙක් වගේ ඇලී ගැලී ඉන්න සුදානම් වෙනවා නම් අපි ඒකට විරුද්ධයි”

“රනිල් වික්‍රමසිංහ ඔබටවත් මටවත් මේ ආණ්ඩුව භාරගන්න ජනවරමක් නෑ. අඩුම ගානේ මට ජනවරමක් තියනවා පාර්ලිමේන්තුවේ වාඩිවෙන්න ඔබට එහෙමවත් ජනවරමක් නෑ.” යනුවෙන් අද පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක වැඩිදුරටත් මෙසේ අදහස් දක්වන ලදී.

“පසුගිය මැයි 11 වෙනිදා මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අපි යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒකට කරුණු දෙකක් ඇතුලත් වුනා. පළමු කරුණ තමයි මේ ජනාධිපතිවරයා සහ මේ ආණ්ඩුවත් ඉවත්වී අපට භාර දෙනවා නම්, අපි කැමති ඇමති මණ්ඩලයක් මේ 225 තුලින්ම අරගෙන අපි ආණ්ඩුවක් කරන්න අපි සුදානම් කියල. කවුරුහරි කිව්වා නම් අපි භාරගන්න බෑ කිව්වයි කියල අපි ඒක කිව්වේ මැයි මාසෙ 11 දා. මේ ඉන්න ගොඩක් ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට තමන්ට වාසි කෑල්ල විතරයි ඇහෙන්නෙ. විශේෂයෙන්ම අගමැතිවරයාට. ඔබ තුමා(රනිල් වික්‍රමසිංහ) කැමති කෑල්ල ඔබ තුමාට වාසි කෑල්ල විතරක් ඔබ තුමාට ඇහෙන පුරුද්දක් තියන බව මම කාලාන්තරයක් තිස්සේ දන්නවා.

දෙවැනි යෝජනාව ඒකට අපිට ඉඩ දෙන්නේ නැත්නම් කවර හෝ කණ්ඩායමක් ආණ්ඩුවක් කරන්නේ නම් යම් නිශ්චිත වැඩ සටහනක් හා කාල රාමුවක් ඉදිරිපත් කරන්නේ නම් අපි විපක්ෂයේ සිට සහය දෙන්න සුදානම් කියල. ඒත් මැයි 11 මේ යෝජනා සංවාදයට භාජනය වීමටත් කලින් හිටිහැටියේ රනිල් වික්‍රමසිංහ නව අගමැතිවරයෙක් හැටියට දිවුරුම් දුන්න.”

මේ මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අපි ලෑස්තියි අපිට භාරදෙනවානම්. මේ මොහොතේ මම මේ අග්‍රාමාත්‍ය ධුරය භාරගත්තත් රනිල් වික්‍රමසිංහ ඔබටවත් මටවත් මේ ආණ්ඩුව භාරගන්න ජනවරමක් නෑ. අඩුම ගානේ මට ජනවරමක් තියනවා පාර්ලිමේන්තුවේ වාඩිවෙන්න ඔබට එහෙමවත් ජනවරමක් නෑ. එහෙම කෙනෙක් අග්‍රාමාත්‍ය ධූරයේ දින නියමයක් නැතුව, අවසන්වන කාල වකවානුවක් නැතුව සිටින එක යුක්තිසහගත ද ?. සාමාන්‍යයෙන් ඔබ මාධ්‍යවල හදුන්වන්නෙ ප්‍රජාතන්ත්‍රවාදියෙක් ලෙසයි. හැබැයි මම අහනවා ඔබගෙන් ප්‍රජාතන්ත්රවාදී මූලධර්මයන්ට කොහොමද මේක අනුකූල වෙන්නේ කියල. ඔබ වාඩිවූ පුටුවේ ඇඹලයෙක් ලෙස ඇලී ගැලී නැගිටින්න සුදානම් නැත්නම් අන්න ඒකට මම විරුද්ධයි.

අපි මැතිවරණයක් ඉල්ලන්නෙ ඇයි, මේ අර්බුධයෙන් ගොඩ එන්න ස්ථාවර පාලනයක් විතරක් නෙමෙයි, මේ අර්බුධයෙන් ගොඩ එන්න විශ්වාසනිය ස්ථාවර පාලනයක් අවශ්‍යයි. මේ ආණ්ඩුවට ස්ථාවර භාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබුනේ නෑ. නමුත් මේ ආණ්ඩුවට විශ්වාසනියත්වය පිළිබඳ තමයි ප්‍රශ්නය තිබුනෙ. මෙවැනි අර්බුදයක් පැනනැගුන අවස්ථාවකදී විශ්වාසනියත්වය කඩාවැටුණු පාලනයකින් අර්බුධයට විසඳුම් සොයන්න බෑ.”

සබැඳි

Leave a Reply

Your email address will not be published.