තරුණයෙකුට පා පහර දුන් යුද හමුදා ඉහළ නිලධාරියාට හමුදා පරීක්ෂණ

අද දිනයේ සමාජමාධ්‍ය හරහා සංසරණය වූ කුරුණෑගල යග්ගහපිටිය ප්‍රදේශයේ IOC ඉන්ධන පිරවුම්හලකදී යුද හමුදා ඉහළ නිලධාරියෙකු යුද හමුදාව භාරයට ගෙන සිටින පුද්ගල‍යෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව යුද හමුදාව පවසයි.

යග්ගහපිටිය පිරවුම්හල අසල කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙකු යුද හමුදා සෙබළුන් විසින් සිය භාරයට ගෙන තිබූ අවස්ථාවකදී අදාළ යුද හමුදා ඉහළ නිලධාරියා විසින් එම පුද්ගලයාට පහරදීමක් සිදුකරන අයුරු වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබිණි.

මේ සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මාධ්‍යට ප්‍රකාශ කර ඇත්තේ, පහරදීමේ සිද්ධියට සම්බන්ධ ඉහළ නිලධාරියා සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.

හමුදා නිලධාරීන්ට අසභ්‍ය වචනවලින් බැණ වැදුණු පිරිසක් පොලිසියට රැගෙන යමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

කුරුණෑගල, වැහැර යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා විසින් දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ යග්ගහපිටිය ඉන්ධන පිරවුම්හලේදී මෙම පහරදීම සිදුකර තිබේ.

සබැඳි

Leave a Reply

Your email address will not be published.