ප්‍රේමය හුදු ස්ත්‍රී පුරුෂ සම්බන්දතාවකට එහා ගිය මානවීය හැඟීම් ධාරාවක් බව “ප්‍රේමයේ මුණිවරිය” කියයි

ගීතය යනු හුදෙක් තුන් ඈඳුතු වික්‍රමයක් නොව ඉන් එහා ගිය සිව්වන පාර්ශවයක දායකත්වය එයට අනිවාර්යයෙන් අවශ්‍ය බව නූතනය විසින් බලකර සිටින කාරණයක්. ඒ සිව්වන පාර්ශවය වන්නේ ගීතයට රූපරචනය කරන අධ්‍යක්ෂවරයා. මේ නිසා අධ්‍යතන ගීතය ගායකයා හෝ ගායිකාව, පදරචකයා, තනු හා සංගීත නිර්මාණකරුවා සහ රූපරචකයා යන සිව් ඈඳුතු නිර්මාණයක් වී හමාරයි. අප මේ ගෙවන්නේ රූප අවදිය හෙවත් Visual Age එක. ඒ නිසා ශ්‍රව්‍ය කාරණයට වඩා ග්‍රාහකයාගේ පැත්තෙන් ශ්‍රව්‍ය දෘෂ්‍ය කියන කාරණය වැදගත්. අනෙක් අතට අද ගීත නිර්මාණය වන්නේ විද්‍යුත් මාධ්‍ය අවකාශය වෙනුවෙන් නොවේ. අතත්‍ය සන්නිවේදන අවකාශයේ සමාජ මාධ්‍ය වෙනුවෙන්. ඒ නිසා දෘෂ්‍ය කොටස ඉතා වැදගත්.

මේ සැම අතින්ම නව්‍ය වූ හා අපූර්ව වූ ගීත නිර්මාණයක් පසුගිය දිනක එළිදුටුවා. ඒ යූටියුබ් අවකාශයේ. “ප්‍රේමයේ මුණිවරිය” ඒ අපූර්වතම නිර්මාණය.

ගැයුම : දුමාල් වර්ණකුලසූරිය
පදරචනය : රවි සිරිවර්ධන
තනු හා සංගීත නිර්මාණය : කසුන් කල්හාර
රූපරචනය හා අධ්‍යක්ෂණය : නාමල් ජයසිංහ

පිරිමියා නූතනයේ ගැහැනිය කියවා ගන්නේ කෙසේද? ඇය තවදුරටත් පිරිමියා යටතේ සිටිය යුතුකෙනෙක් ද? ගැහැනිය සිය ජීවිතය තුල පසුකරන භූමිකා රංගන අවදීන් අප නිසි ලෙස තේරුම් ගන්නවාද ? යන කාරණා මේ ගීතය තුල කතා කෙරෙනවා. දියණිය, සොහොයුරිය, බිරිඳ, මව ඈ අවදීන් ඈ පසුකරන විට ඊට ස්වායත්ත ඇයට රිසි ඇගයීමක් ලැබෙනවා ද?

ගීතය තුල ඇය සමස්තාර්ථයෙන් හඳුන්වන්නේ ප්‍රේමයේ මුණිවරිය ලෙසින්. ඇගේ සෑම අවදියකම පදනම වන්නේ ප්‍රේමය. කිතුණු දහමට අනුව ප්‍රේමයේ මුණිවරිය ලෙස මරිය මව්තුමිය ගන්න පුලුවන්. ඇගේ මුලු ආත්මයම කැපවන්නේ ප්‍රේමය වෙනුවෙන්.

ප්‍රේමයේ මුණිවරිය
අත්නෑර ළඟ සිටිය
සසල ලොව ලඟ
නිසල සනහස
බෙදුව ඔබ
ප්‍රේමයේ මුණිවරිය

මුලු ලොවක් සසල වන මොහොතක නිසලව ප්‍රේමයම පමණක් බෙදාදිය හැක්කේ ඇයට පමණයි. ඒ මවට පමණයි. ප්‍රේමයේ මුණිවෘතය නම් එයයි.

ජීවිතේ මහ පුදුම
කවිපොත
ප්‍රේමයෙන් පුරවා තබන අතරේ
අත්හැරීමක මිහිර තැවරූ
කවි කොතෙක් තිබුණාද ඔබ ඇසුරේ

ප්‍රේමය යනු හිමිකරගැනීම නොවේ. අත්හැරීමත් ප්‍රේමයේ එක් බරසාර කොටසක්. අත්හැරිම යනු ප්‍රේමයේ මිහිරිතම කවයි. එවැනි අත්හැරීම ගණනාවක්ම උපේක්ෂාභරිතව දරා ගන්නේ ඇයයි. ඇය දරුවන් අත් හරියි, සහෝදර සහෝදරියන් අත් හරියි. ස්වාමියා අත් හරියි. එහෙත් ප්‍රේමය නොනැසී රඳවා ගනී.

මිනිස් ගුණ සුවඳින්
පහන් වූ
ඔබේ එළියෙන් මම නිවෙන අතරේ
ඒ එළිය පතුරා තැනින් තැන
ඔබ පහන් දැල්වූ අරුම අඳුරේ

ගැහැනිය සිය ජීවිතය පුරා කරන්නේ ඇගේ හද පහනින් අන් පහන් දැල්වීම පමණයි. දියණියක සිය හද පහනින් සිය පවුලේ අනෙකාගේ දිවි පහන දල්වයි. සොහොයුරියක් සිය සෝවුරු සෝවුරියන්ගේ දිවි පහන දල්වයි. පෙම්වතියක් සිය පෙම්වතාගේ අඳුරු දිවිය ඒකාලෝක කරයි. බිරිඳක් සිය ස්වාමියා ඉවසා මවක් ලෙස සිය දරුවන්ගේ දිවි පහන් දල්වයි. ඇයගේ ප්‍රේමයේ නොනිමි බව එයයි.

රවි ගේ පදරචනය බහු අරුත් දනවන්නේ එලෙසිනි. බස මෙන්ම තනු නිර්මාපකයාට නිර්මාණාත්මකව හැසිරවිය හැකි නිදහස් ආකෘතිය හා ඒ තුල ඇති කාව්‍යාත්මක බව ගේය පද රචකයෙකු ලෙස ඔහුගේ ව්‍යක්ත බව මනාව මතුකර පෙන්වයි.
කසුන් කල්හාර යනු පදරචනයක සාහිත්‍යමය තලය විනිවිද පදරචනයේ හරයාර්ථය වන විසල් ප්‍රේමයක ඇති සෞම්‍ය හැඩරුව මතු කරන්නේ ඊටම ගැලපෙන අඝෝෂක සංගීත භාවිතාවකිනි. ඔහුගේ සංගීත නිර්මාණය තුල නව සම්භාව්‍යවාදී ( Neoclassical ) ලක්ෂණ අපූරුවට මතුවී පෙනේ.

දුමාල් යනු මෑත පරම්පරාවේ හැඟුම් ගායනයෙක් නිසර්ග සිද්ධ ප්‍රතිභාන්විත ගායකයෙක්. මේ ගැයුම තුලත් ඔහු ඒ බව ස්ඵුට කරනවා. අත්‍යන්ත වූ ප්‍රේමයේ හැඩ තලයන් ඔහු ගයන අපූරුව. ඒ ගැඹුරු කටහඬ ප්‍රේමයේ ගැඹුර ස්පර්ශ කරනවා.

ගීතයේ අර්ථාන්විත බව රූපයෙන් කතාන්දරය ලෙසන් කීම යනු අතිශය අමාරු කාරණයක්. වර්තමානයේ ගීත සඳහා සැකසෙන රූප රචනයන් තුල දකින්නට ලැබෙන්නේ වචන වලට රූප පිරිද්දීම විනා, ගීතයේ අර්ථය රූපයෙන් පරිකල්පනීය ලෙස ප්‍රතිනිර්මාණය කිරීම නොවේ. ඒ දශමයකින් හෝ ගීතය ඔසවා තැබීමට සමත් නෑ. ඒවා 70, 80 දශකයේ චිත්‍රපට ගීතයෙන් මදක් හෝ ඉදිරියට පැමිණ නෑ. “ප්‍රේමයේ මුණිවරිය” ගීතය සඳහා රූප රචනය කරමින් එය අධ්‍යක්ෂණය කරන නාමල් ජයසිංහ රූප මාධ්‍ය තුල මොනතරම් විචිත්‍රීය පරිකල්පනයක් සහිත නිර්මාණකරුවෙක් දැයි සනාථ කරනවා.

නාමල් මේ සඳහා භාවිතා කරන්නේ නව සම්භාව්‍යවාදී ( Neoclassical ) චිත්‍රය. ගීතයේ ඇතැම් රූප රාමු ඉතාලියානු චිත්‍ර හා සමවෙනවා. පසුතල හා ඇඳුම් මෙන්ම වර්ණය පවා එයට නෑකම් කියනවා. එසේම නාමල් මෙහිදී භාවිතා කරන පරිකල්පනීය කතාන්දරය කෙටිකතාවක ස්වරූපය ගන්නවා. ගීතයේ සංගෘහිත ප්‍රේමය ඔහු රූපරචනයේ සෑම රූප රාමුවකින්ම මතුකරන්නේ අතීතාවලෝකනයක් ලෙසයි. රූපරචනයේ දී එහි ප්‍රධාන නිරූපන ශිල්පීන් දෙදෙනා වන කලනි දොඩන්තැන්න හා දේවින්ද කෝන්ගහගේ නාමල් විසින් මෙහෙයවන ආකාරය ගීතයේ අරුත සමග පෑහෙන්නේ කිසිදු පිරිද්දුම් සලකුණක් හෝ නොතබා. එයින් ගීතයට ලැබෙන්නේ අපූරු ගාමක බලයක්.

කෙසේ වෙතත් මෑතකදී බිහිවූ ගීත අතරින් වෙනස් ශ්‍රව්‍ය රසයක් මෙන්ම වෙනස් දෘශ්‍ය රසයක් කැටි කරගත් නිර්මාණයක් බව සමස්තාර්ථයෙන් ගත් කල කියන්න අවශ්‍යයයි. බොහෝ ඒකාකාරී ප්‍රේම විලාප ගී අතර ප්‍රේමය හුදු ස්ත්‍රී පුරුෂ සම්බන්දතාවකට එහා ගිය මානවීය හැඟීම් ධාරාවක් බවත් එය ප්‍රේමයේ පුළුල් මානයක් (Dimension) බවත් එය නිවැරදිව කියවා ගන්නා ලෙසත් මේ ගීතය අපට බලකර සිටිනවා.

කපිල එම්. ගමගේ

“ප්‍රේමයේ මුණිවරිය”

සබැඳි

Leave a Reply

Your email address will not be published.