පිලිපීන ආඥාදායකයාගේ පුත්‍රයා ජනාධිපති ලෙස අද දිවුරුම් දෙයි

පිලිපීනයේ නව ජනපති ලෙස ෆර්ඩිනැන්ඩ් මාකෝස් අද (30) දිවුරුම් දුන්නේය. ෆර්ඩිනැන්ඩ් මාකෝස් මේ වනවිට 64 හැවිරිදි වියේ පසුවෙයි.

පසුගිය මැයි මස 09 වනදා පැවති එරට ජනාධිපතිවරණයෙන් ෆර්ඩිනැන්ඩ් මාකෝස් විශිෂ්ඨ ජයග්‍රණයක් ලබාගැනීමට සමත්විය.

මෙවර පිලිපීන ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 6දෙනෙකු ඉදිරිපත් වූ අතර ඊ.පී.පී ජාතික පක්ෂය නියෝජනය කරමින් ෆර්ඩිනැන්ඩ් මාකෝස් ඡන්ද මිලියන 18ක් ලබාගනිමින් ජනාධිපතිවරණයේ ජය හිමිකරගැනීමට සමත්විය.

1965 සිට 1986 දක්වා පිලිපීනයේ 10 වැනි ජනාධිපතිවරයා ලෙස ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ පියා වූ ෆර්ඩිනැන්ඩ් ඉමැනුවෙල් මාකෝස් කටයුතු කළ අතර ඔහු ම්ලේච්ඡත්වය රජ කළ ඒකාධිපති පාලකයෙක් ලෙස ප්‍රකටය.

මාකෝස් දේශපාලන ජයග්‍රහණයක් ලබා ගත්තේ පිලිපීන ජනතාවගේ ප්‍රියතම යුද විරුවා බවට පත් වෙමිනි. මාකෝස්ගේ අසාර්ථක පාලනයත් සමග ඇති වූ උද්ධමනයත් හේතුකොට ගෙන ඇතිවූ සමාජ නොසන්සුන්තාවය පාලනය කිරීමට 1972 සැප්තැම්බර් 23 වැනිදා ඔහු පිලිපීනය හමුදා නීතිය යටතට පත් කළේය.

ඉමැනුවෙල් මාකෝස් මාධ්‍ය ආයතන නිහඬ කරවමින් විපක්ෂ ක්‍රියාකාරීන්ට, සැකයට බඳුන් වූ කොමියුනිස්ට්වාදීන්ට සහ සාමාන්‍ය පුරවැසියන්ට එරෙහිව හමුදා නීතිය යටතේ ප්‍රචණ්ඩත්වය දියත් කළේය. මේ සියලු‍ දෙනා තලා පෙළා පීඩනයකට ලක් කළේය.

මේ අතර, මාකෝස්ගේ බිරිඳ ඉමෙල්ඩා මාකෝස්‌ සිය සැමියාගේ බලය අතට ගෙන රටේ වටිනා වස්‌තූන් තමන් සතු කරගත් අතර ජනාධිපති කොමිසම විසින් සපයන ලද ලේඛන මූලාශ්‍රවලට අනුව මාකෝස් පවුල පිලිපීනයේ මහ බැංකුවෙන් පවා මුදල් අයුතු ආකාරයට ඉවත් කර ගෙන තිබූ බවටද මාකෝස් පවුලට චෝදනා එල්ල වී තිබිණි.

කෙසේවෙතත් 1986 වසරේදී ඔහු බලයෙන් නෙරපා හරින ලදී.

සබැඳි

Leave a Reply

Your email address will not be published.