විදෙස් තෙල් සමාගම් තමන්ගේ අතින් වියදම් කර තෙල් ගෙනැවිත් අපට විකුණයි ද?

විදුලි බල ඇමතිවරයා මේ වන විට ප්‍රකාශ කරන කරුණක් තිබෙනවා. ඒ “විදේශ තෙල් සමාගම් කිහිපයකට සිපෙට්කෝ සතු ඉන්ධන පිරවුම් හල් ටික විකුණා දමනවා. එලෙස තෙල් සැපයුම භාර ගන්නා විදේශ සමාගම් වලට සිය මුදලින් අඩුම ගණනේ වසරක්වත් යන කල් අපේ රටට තෙල් ගේන්න කියල කොන්දේසියක් දානවා. අපි ඩොලර් සතයක්වත් දෙන්නේ නැහැ. තෙල් අර්බුදය අපි විසදන්නේ එහෙමයි” කියලා ඔහු කියනවා. මේ කථාව ඇත්තක ද? ඛණිජ තෙල් ඇමතිවරයා මෙම ප්‍රකාශය සිදු කරන්නේ සත්‍ය තත්ත්වය මුළුමනින්ම වසං කර බව අදාල තත්වය පිළිබඳව සීරුවට විමසා බලන විට පැහැදිළි වෙනවා.

IOC ය පිරවුම් හල් 200 ක් ඉල්ලනවා

මේ වන විට සිපෙට්කෝ නැතිනම් ඛණිජ තෙල් සංස්ථාව සතුව ඉන්ධන පිරවුම් හල් 1190 ක් පමණ තිබෙනව. මං හිතන්නේ IOC එක සතුවත් ඉන්ධන පිරිවුම් හල් 100 ක් විතර තිබෙනවා. මේ ඉන්ධන පිරිවුම් හල් වල අයිතිය ඇත්තටම මේ සමාගම් වලට නැහැ. ඒවා මෙරට ව්‍යාපාරිකයින් විසින් පුද්ගලික මට්ටමින් පවත්වා ගෙන යන පිරවුම් හල්. සිපෙට්කෝ එක සහ IOC එක මේ පිරවුම් හල් වෙත ඉන්ධන සැපයුම් සිදු කරනවා. දැනට කාලයක සිට IOC සමාගම තමන්ගේම පිරවුම් හල් ඉදිකිරීමට රජයෙන් අවසර ඉල්ලා තිබෙන බව කවුරුත් දන්නා කරුණක්. ඒ වගේම සිපෙට්කෝ එක ඉන්ධන සපයන පිරවුම් හල් අතරින් 200 ක් තමන්ට ලබා දෙන්න කියලා IOCදිගින් දිගටම ඉල්ලීම් කරනවා. මේක හරියට ලාභ ලබමින් තිබෙන කඩයක් එම කඩය තමන්ට ලබා දෙන්න කියලා වෙනත් පුද්ගලයෙකු/ ව්‍යාපාරිකයෙකු සිදු කරන ඉල්ලීමකට සමානයි. කිසිදු ආයෝජනයක් සිදු නොකර පුද්ගලික අංශයේ ආයෝජනයන් මතයි මෙම ඉන්ධන පිරවුම් හල් ඉදි කර තිබෙන්නේ. සිපෙට්කෝ එකට තියෙන්නේ තමන්ගේ තෙල් ටික ඒවාට විකිණිම පමණයි. ඒක ස්ථාවර ආදායමක් තියෙන වැඩක්. ඒ වගේම මේ ඉන්ධන අලෙවියෙන් ඉන්ධන පිරවුම්හල් හිමියන් ද දළ වශයෙන් 10% – 15% අතර ආදායමක් ලබනවා. IOC එක කියන්නේ මේ ආකාරයට ලාභ ලබන සිපෙට්කෝ එක තෙල් ලබා දෙන ෂෙඩ් වලින් 200 ක් වත් තමන්ට ලබා දෙන්න කියලා. කෙසේ වෙතත් පැන නැගුණ මහජන විරෝධතා නිසා ඒක වසර ගණනක් යන කල් ඉටු කර ගන්න බැරි වුණා.

මේ අතර පසුගියදා කැබිනට් මණ්ඩලය සිපෙට්කෝ එක තෙල් සැපයුම් සිදු කරන ‍මේ ඉන්ධන පිරවුම් හල් 1190 පුද්ගලික සමාගම් වලට විකුණා දැමීටම තීරණය කර තිබෙනවා. ඒ අනුව ආණ්ඩුව කියන්නේ තෙල් නිපදවන රටවල සමාගම් මෙම ෂෙඩ් ටික මිල දී ගනියි කියලා. මේක අමූලික බොරුවක් වගේම පොදු ජනතාව නොමග යනව ප්‍රකාශයක්. මොකද සිපෙට්කෝ එකට මේ ෂෙඩ් විකුණන්න බැහැ. මොකද ඔවුන්ට ඒවා අයිති නැහැ. ඒවා අයිති මෙරට සාමාන්‍ය ව්‍යාපාරිකයින්ට. සිදු කළ හැක්කේ මෙම ෂෙඩ් වලට සිදු කරන ඉන්ධන සැපයුම විදේශ සමාගම් වලට ලබා දීමයි. ඒ කියන්නේ දැනටත් කිසිදු පාඩුවක් නොලබන, ඒ වගේම පෙට්ට්‍රල් වලින් හා ඩීසල් වලින් අති විශාල බදු ප්‍රමාණයක් රජය උපායා ගන්නා පැහැදිළි ආදායම් මාර්ගයක් වෙනත් රටවලට දෙන්න තමයි යන්නේ. ඉතාම පැහැදිළි ලෙස මෙය තේරුම් ගත යුතු වන්නේ මෙරට ඛණිජ තෙල් සැපයුම හෝ අලෙවිය කිසි දිනක පාඩු ලැබුවේ නැහැ. ජනතාවට කිසි දිනක ඉන්ධන නිකන් දීලා නැහැ. ඒ වෙනුවට රාජ්‍ය ආදායම් මාර්ගයක් ලෙස දිගින් දිගටම මෙම ඉන්ධන අලෙවියි යොදා ගත්තා. නමුත් දැන් ආණ්ඩුව සිදු කරන්න යන්නේ එම පැහැදිළි ආදායම් මාර්ගය විකුණා දැමීමටයි. රාජ්‍ය ආදායම් මාර්ග වැඩි කර ගත යුතු මොහොතක පවතින ස්ථාවර ආදායම් මාර්ගයක් අහිමිකර ගන්නයි ආණ්ඩුව මේ කැස කවන්නේ. ඒ කාගේ උවමනාවටද?

මේක පට්ටපල් බොරුවක්

අනික ඇමතිවරයා කියන තවත් කථාවක් තමයි අවුරුද්දක්වත් යන කල් තෙල් ගේන්න ශ්‍රී ලංකා රජය ඩොලර් සතයක් වත් දේනේ නැහැ කියන එක. ඒ වෙනුවට අදාල සමාගම් ණය හෝ වෙනත් පදනමකින් තමන්ගේ රටවළින් තෙල් රැගෙන විත් අපේ රටේ විකුණිය යුතුයි. මේකේ තේරුම තමයි එම සමාගම් තමන්ගේ අතින් වියදම් කර තෙල් අපේ රටට ගෙන එනවා. ඒවා විකුණුවාම ඔවුන්ට හම්බ වෙන්නේ ඩොලර් හරි, තමන්ගේ රටේ මුදල් හරි නෙමෙයි. ශ්‍රි ලංකා රුපියල්. ශ්‍රි ලංකා රුපියල් ගන්න ඔවුන් කැමැතියි. මේ කථාව ඇත්තක් ද? මේක පට්ටපල් බොරුවක්. ලෝකයේ කිසිදු රටක් හරි සමාගමක් හරි එහෙම දෙයකට කැමැති වෙන්නේ නැහැ. හරි තෙල් ගෙනාවමයි කියමු. ඒ තෙල් අලෙවි කරල ලබන පිරිවැටුම / ආදායම තියෙන්නේ රුපියල් වළින්. ඒ රුපියල් ඩොලර් ලෙස පරිවර්ථනය කරල දෙන්න අන්තර් ජාතික බැඳීමක් එක්ක තමයි ඔවුන් එනවානම් එන්නේ. එහෙම නැතිව අපේ රටේ රුපියල් කටාරයට හරි ඩුබායි වලට හරි ඉංදියාවට හරි මොනවා කරන්න ද? ඒ නිසා අනිවාර්යෙන්ම තෙල් වලට ඩොලර් වළින් ගෙවීමට සිදු වීම ශ්‍රී ලංකා රජයේ වගකීමක් වගේම වගවීමක් වෙන එක කිසිවෙකුට වළක්වන්න බැහැ. අනික මේ සමාගම් පිං අතේ වැඩ කරන සමාගම් ද? ඇමති මේක නොදන්නවා නෙමෙයි. මේ කරන්නේ තෙල් ෂෙඩ් ටික විකුණා දමන කොට එන්න පුළුවන් මහජන විරෝධය වෙනතකට යොමු කිරීම සඳහා වු සැළසුම් සහගත උපක්‍රමයක්. තෙල් නිපදවන රටවල තෙල් සමාගම් අපේ රටේ තෙල් විකුණන්න එයි කියලා මම නම් විස්වාස කරන්නේ නැහැ. අනෙක තෙල් නිපදවල රටවල් බහුතරයක් පිරිපහදු කරන ලද තෙල් විකුණනවා වෙනුවට සිදු කරන්නේ බොරතෙල් විකුණන එකයි. ලෝකයේ වෙනත් සමාගම් තමයි මේ බො‍ර තෙල් මිලදී ගෙන ඒවා පිරිපහදු කර අලෙවි කරන්නේ.

මෙහිදි සිදු විය හැකි දේ තමයි IOC එකට තවත් ඉන්ධන අලෙවි සැල් 200 ක් විතර ලබා දෙන එක. ඒ වගේම ඉංදියාවෙම වෙනත් තෙල් සමාගමක් දෙකකට තවත් ෂෙඩ් ටිකක් ලබා දෙයි. දැනටමත් අපේ රටේ ඉන්ධන සැපයුමෙන් 100% ක්ම ඉංදියාව සතු කර ගෙන අවසන්. මොකද අපි දැන් මාස 3 ක විතර ඉඳළ තෙල් ගෙන්වන්නේ ඉංදියාවෙන් පමණයි. ඒවාත් පිරිපහදු කරන ලද තෙල්. මේ නිසයි අපි කියන්නේ අනෙක් අර්බුද වගේම අපේ රටේ ඉන්ධන අර්බුදයත් ඉබේ ඇති වුණ එකක් නොවන බව. එය කිසියම් උපාය මාර්ගික මෙහෙයුමක කොටසක්. අර්බුදයක් ඇති කර එම අර්බුදයම යොදා ගෙන සිය ඉලක්ක ලඟා කර ගැනීම.

විදේශ ඔත්තු සේවා අපේ රටේ ඕනි තරම්

ගොඩක් වෙලාවට අපේ රටේ ජනතාව හැප්පෙන්නේ ප්‍රථිඵලය (Outcome) එක්ක විතරයි. හේතුව (Cause) එක්ක නෙමෙයි. පාස්කු ප්‍රහාරය මෙම උපක්‍රමික සැළැස්මේ පළමු පියවර විය නොහැකිද?. විදේශ ඔත්තු සේවා ඕනි තරම් අපේ රටේ මැදිහත් විම් සිදු කරන බව නොරහසක්. මේ වෙන සියල්ල එතනින් ආරම්භ කළ දිගුවක් විය නොහැකිද?. අපේ රටේ මෙන්ම කලාපය තුළත් චීනය බලය තහවුරු කරගෙන හිටියේ. ඒකට අකමැති කට්ටිය ගැන ඕන කෙනෙක් දන්නවා. අපේ රටේ රාජ්‍ය නායකත්වය වෙනස් කිරීම, ඉංදියානු සහ ඇමරිකාණු හිතවාදී ආණ්ඩුවක් බිහිවීම, අවිධිමත් ලෙස සිදු කරන ලද කොරෝනා කළමනාකරණය සහ එහිදී චීනය සහ ඉංදියාවේ මිදිහත් වීම ( අමතක කරන්න එපා මුළින් එන්නත් 500,000 ක් ලබා දී පසුව එන්නත් ලබා දීම ඉංදියාව ප්‍රතික්ෂේප කළ බව) , මුදල් මුද්‍රණය කිරීම වැනි අමනෝඥ ආර්ථික තීරණ, වෙනත් තීන්දු තීරණ මත ආර්ථිකය සැලසුම්සහගතව බිඳ වැට්ටවීම, රුපියලේ අගය බලෙන් රඳවා ගනිමින් විදේශ සංචිත මුළුමන්ම විනාශ කිරීම, ආර්ථික අර්බුදය, එයින් රට මුදවා ගැනීම සඳහා ඉංදියාවේ සහ බටහිර රටවල මැදිහත් වීම, පීඩනයට එරෙහිව පැන නැගුණ අරගලය සහ එය ඇතැමුන් කළමණාකරණය කළ ආකාරය, එකම දිනක පැය කිහිපයක් තුළ රට පුරා දේශපාලකයින්ට එල්ල වු ප්‍රහාර, එය පසුබිම් කර ගෙන රනිල් බලයට පැමිණීම, කොළඹ වරාය ඇතුළු ආර්ථික සම්පත් හා මර්මස්ථාන වෙනත් රටවල් අත්පත් කර ගැනීම, බල ශක්ති ක්ෂේත්‍රය විකුණා දැමීම, ඉන්ධන ඒකාධිකරිය ඉංදියාව සතු වීම, මෑතකදිම ගත් තීරණයක් ලෙස ඉන්දියාව හා කන්කසන්තුරේ අතර ෆෙරි සේවාව ආරම්භ කිරිමට පියවර ගැනීම, ලබන මාසයේ සිට ඉංදියාවේ ගමනාන්ත කිහිපයක් වෙත පළාලි සිට ගුවන් ගමන් ආරම්භ කිරීම, කලාපීය කටයුතු වළින් චීනය ඈත් කර තැබීමට විශාල වෙහෙසක් දැරීම, ආදී සිදුවීම් ක්‍රියාවළියක් ලෙස එකට ගෙන බලන්න. එවිට මෙය කළින් සැළසුම් කරන ලද උපක්‍රමික මෙහෙයුමක කොටස් ලෙස දැකිය හැකි වනු ඇති.

අනුහස් බංඩාර
.

සබැඳි

Leave a Reply

Your email address will not be published.