කිසිදු දේශපාලනඥයකු නොමැතිව ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලි අද සහ හෙට

ශ්‍රී ලංකා පැරාලිම්පික් කමිටුව සංවිධාන කරන ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය අද (28) සහ හෙට (29) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. සමාරම්භක උලෙළට හා සමාප්ති උලෙළට කිසිදු දේශපාලනඥයකු සහභාගී නොකිරීමට ශ්‍රී ලංකා පැරාලිම්පික් කමිටුව ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹ තිබේ.

ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියට අනුග්‍රහය දක්වන ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙවර ශූරතාවලියේ උත්සව අවස්ථා සංවිධානය වේ.

මෙතෙක් පැවැති සෑම ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියකදීම ප්‍රධාන ආරාධිතයන් ලෙස විවිධ තරාතිරමේ දේශපාලනඥයන් සහභාගී කර ගැනීමට ශ්‍රී ලංකා පැරාලිම්පික් කමිටුව කටයුතු කළ ද පවතින තත්ත්වය හමුවේ එසේ නොකිරීමට තීරණය කර ඇත.

ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා තරග උදෙසා දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියෙන් හඳුනාගන්නා අතර, ඔවුන් ජාතික සංචිතවලට ඇතුළත් කරගැනීම මෙමගින් සිදු වේ.

පසුගිය වසරේ ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් 2020 උලෙළේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තබමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් මෙවර ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී නොවනු ඇත.

මෙවර ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා හා නව තරග වාර්තා කිහිපයක් බිහි වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පැරාලිම්පික් කමිටුවේ සභාපති ලුතිතන් කර්නල් දීපාල් හේරත් පැවසීය.

ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියට මාස් හෝලිඩිං හා ඩයලොග් ආයතන අනුග්‍රහය ලබාදෙන අතර, සමාප්ති උලෙළ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී හෙට (28) පස්වරුවේ පැවැත්වේ.

සබැඳි

Leave a Reply

Your email address will not be published.