ඉන්දියාව අපට උදව් කරන්නේ ඇයි?

Read Time:10 Minute, 28 Second

ගෙවුණ මාස 03ට අධික කාලය තුළ ඉංදියාව විසින් අපේ රටේ සාමාන්‍ය දෛනික පැවැත්ම සඳහා විශාල වශයෙන් උදව් උපකාර කළා. මේ පිළිබඳව අදහස් දක්වන ඉංදියාවේ බලධාරින් නිරන්තරයෙන්ම ප්‍රකාශ කරන්නේ මේ අර්බුදකාරි වාතාවරණය තුළ සමීපතම අසල්වැසියාට සහය වීම සඳහා මෙලෙස තමන් උදව් කරන බවයි. ඒ වගේම අපේ රටේ ආණූඩුව මෙන්ම බොහෝ දෙනා ද පවසන්නේ මීටම සමාන අදහසක්. ගෙවුණ මාස කිහිපය තුළ පමණක් ඉන්දියාව ශ්‍රි ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 4 ඉක්මවන ලද භාණ්ඩ ප්‍රමාණයක් රටට ලබා දී තිබෙනවා. ඒ අතරින් ඛණිජ තෙල් ප්‍රධානයි. මෙම මුදල් ණය ලෙස ලබා දි තිබෙන අතර එම ණය වල කොන්දේසි හෝ පොලි අනුපාත පිළිබදව කිසිදු පැහැදිළි කිරීමක් මේ වන තෙක් කිසිවෙක් ප්‍රකාශ කර නැහැ. අපේ රටේ දක්නට ලැබෙන ප්‍රධානම ගැටළුවක් වන්නේ සිදු කරන විදේශ ගණු දෙණු, ගිවිසුම් හෝ ණය ලබා ගැනීම් වලට අදාල කිසිදු විස්තරාත්මක තොරතුරක් රටේ ජනතාවට ලබා නොදීමයි. පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් කොකිරීමයි. ඒවා හැම විටම රහසිගත ගණු දෙනු සහ කරුණු ලෙස පවත්වා ගෙන යනවා. ඉංදියාව මෙලෙස මුදලින් හා ද්‍රව්‍යමය ආධාර ලබා දෙන්නේ ඒ රටේ ජනතාවට ප්‍රශ්ණ නැතිව නොවේ. ලෝකයේ අතිශයින් සමාජ අසමානතාවයක් සහිත, එදා වේලා කන්න නොමැති දිළිඳු ජනතාව විශාල ප්‍රමාණයක් ජීවත් වන, සමාජ ආර්ථික ප්‍රශ්ණ ගණනාවකින් පීඩා විඳින අතිවිශාල ජනතාවක් ජිවත් වෙන රටක්. එවැනි පසු බිමක තමන්ගේ රටේ ජනතාවගේ ප්‍රශ්ණ ගැන සොයා බැලීම වෙනුවට අපට ඔවුන් මේ ආකාරයට උදව් කරන්නේ ඇයි?

චීනය අපේ රටේ ස්ථාන ගතවීම් ඉන්දියාවේ

මේ සඳහා හේතු වන ප්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. ඉන් පළමු වැන්න වන්නේ ඉන්දියාවේ භු දේශපාලනික අවශ්‍යතාවයන්. කලාපය තුළ මෙන්ම ඉන් පිටතත් මේ වන විට චීනයේ මැදිහත් වීම් විශාල ලෙස ඉහළ යමින් තිබෙනු දැකිය හැකියි. විශේෂයෙන් රාජපක්ෂ පාලන සමයන් තුළ අතිවිශාල ලෙස චීනය අපේ රටේ උපක්‍රමික ලෙස ස්ථාන ගතවීම් සිදු වුණා. විශේෂයෙන් කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය ඒ අතරින් ප්‍රධානයි. ඒ වගේම චීනය අපේ රටේ වෙළදපළ අත්පත් කර ගැනීම සඳහාද වේගයෙන් මැදිහත් වෙමින් සිටියා. නිදසුනක් ලෙස අපේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් ටෙන්ඩර් මගින් අත්පත් කර ගෙන සිටින්නේ චීන ඉදිකිරීම් සමාගම්. ඒ වගේම අපේ රටේ සමස්ථ ආනයන වලින් 24% ක් අත්පත් කර ගෙන සිටින්නේ ද චීනයයි. එහි වාර්ෂික වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 5.5 ක්. ඒ අනුව චීනය අපේ රටට මැදිහත් විමේදී ද අරමුණු දෙකකින් කටයුතු කරනවා. එකක් භු දේශපාලනික උවමානවන්. අනෙක සිය වෙළදපළ කොටස පුළුල් කර ගැනීම. මේ ගැන වරක් ඉන්දියාවේ ආරක්ෂක උපදේශක වරයෙකු ලෙස කටයුතු කළ ශිව ශංකර් මේනන් ඉන්දියානුආණ්ඩුවට දෝශාරෝපණයක් ද සිදු කළා. එම දෝශාරෝපනය මගින් එල්ල කළ චෝදනාව වුණේ චීන උපාය මාර්ගයන්ට නිදහසේ කටයුතු කිරීමට ඉන්දියාව ඉඩ හැර ඇති බවයි.
ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් ඉන්දියාව දැන් මෙම බල උවමනාවන් දෙක වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. එහි පළමු වැන්න අපේ රටේ භු දේශපාලනික මර්මස්ථාන ක්‍රමයෙන් සිය පාලනයට නතු කර ගැනීම. ඒ අනුව ඉදිරියේදී ගාල්ල වරාය, කන්කසන්තුරේ වරාය, පළාලි ගුවන් තොටුපල, මත්තල ගුවන්තොටුපළ , ත්‍රිකුණාමලය තෙල් ටැංකි, ත්‍රිකුණාමය වරාය, කොළඹ වරායේ කොටස් මේ ආකාරයට සිය අණසකට නතු කර ගැනීම ඉලක්ක බවට පත් කර ගෙන තිබෙන බව පැහැදිළියි.

ඉන්දියාව මේ වෙලාවේ කරන්නෙ ගමේ මුදලාලිගෙ වැඩේ

අනෙක් පසින් අපේ රටේ සමස්ථ වාර්ෂික ආනයනවළින් ඉන්දියාව 23% ට දායක වනවා. වටිනාකම ඩොලර් බිලියන 4.5 ක්. මීට වසර කිහිපයකට පෙර අපේ රටේ වැඩිම ආනයන සිදු කළේ ඉන්දියාවෙන් වුවත් 2021 අවසන් වන විට චීනය වේගයෙන් ඉදිරියට පැමිණී ඉන්දියාව පසු කර අපේ රටේ වෙළදපළ කොටසින් බහුතරය අත්පත් කර ගෙන තිබෙනවා. විශේෂයෙන් අපේ රටේ වෙළඳපළ බිඳ වැටීමක් යනු කෙළින්ම ඉන්දියාවේ ආර්ථිකයට බලපානවා. නිදසුනක් ලෙස අපේ රට අල, බි ළූණූ, පරිප්පු ආදී අත්‍යාවශය ආනයන නැවැත්තුවහොත් එය ඉන්දියාවට බලපානවා. එමගින් හානි වන්නේ ඉන්දීය ව්‍යාපාරිකයින්ට, ඉන්දීය නිෂ්පාදකයින්ට. අපි කැමැති වුවත් අකමැති වුවත් වර්ථමානයේ ගෝළිය වෙළඳපළ යනු එකිනෙකු රටවල් එකිනෙකට බැඳ තබන හුයක් බවට පත්ව අවසන්. මේ ආර්ථික හා වෙළද සබදතා නොමැතිව පැවැත්මක් නැහැ. ඒ අනුව අපේ රටේ වෙළදපළ බිඳ වැටීම යනු එය සෘජුවත්, වක්‍රවත් ඉන්දියාවේ වෙළදපළට හා ආර්ථිකයට බලපානවා. මේ නිසා අපේ රට බිඳ වැටීම ඒ අර්ථයෙන් ඉන්දියාවට සෘජු බලපැමක් එල්ල කරනවා. මේ නිසා අපේ රටේ වෙළදපළ බිද වැටෙන්න දෙන්නේ නොමැතිව පවත්වා ගෙන යා යුතු වෙනවා. සරළව කිව්වොත් ගමේ මුදලාලි ගමේ ගොවියෙකුට අත්‍යාවශ්‍ය ආහාර ගන්න මුදල් නැති වුණත් බඩු ටික ණයට ලබා දෙනවා. ඇතැම් අවස්ථා වල මුදල්ම අදාල ගොවියාට ලබා දී අවශ්‍ය භාණ්ඩ තමන්ගේම කඩෙන් මිලට ගන්න කියලා කියනවා. ඒ මොකද ගොවිය වෙන කඩේකට ගියොත් මුදලාලි කම්බස්. ඒ ගමේ මුදලාලිගේ බිස්නම් එක. පස්සේ අදාල ගොවියට ණය ටික ගෙවන්න බැරි වුණොත් ඉඩං කෑල්ලක් හරි, රත්තරං බඩු ටික හරි මුදලාලි අත්පත් කර ගන්නවා. ඉන්දියාව මේ වෙලාවේ අපේ රටට කරන්නත් ඒ වැඩේමයි.

ඉතිරි සිපෙට්කෝ තෙල් ෂෙඩ් ටිකත් ඉන්දියාව බෙදා ගනු ඇති

ඒ වගේම අනෙක් පැත්තෙන් ඉන්දියාවට මේ වන වට අපේ රටේ පවතින වෙළදපල කොටස තවත් පුළුල් කළ යුතු වෙනවා. ඒ වෙළදපළ ක්‍රමයේ හැටි. ඒ නිසා මෙතෙක් අත ගසන්නට ‍නොහැකි වු ඉන්ධන හා බලශක්ති ක්ෂේත්‍රයට ඉන්දියාව දැන් කෙළින්ම අත ගසා තිබෙනවා. අපේ රට වැඩිපුරම මිලක් ගෙවල ආනයනය කරන්නේ ඉන්ධන. දැන් තත්වය අනුව ඒක වසරකට ඩොලර් බිලියන 6 ඉක්මවු ප්‍රමාණයක වෙළඳපළක්. කොටින්ම දැන් ඉන්දියාව අපේ රටට අපනයනය කරන භාණ්ඩ හා සේවා වළ වටිනාකම වෙන්නේ 4.5 ක්. ඉන්ධන වෙළදපළත් ගන්න පුළුවන් නම් එම කොටස දෙගුණයකටත් වැඩියෙන් වැඩි කර ගත හැකියි. නිදසුනක් ලෙස තෙල් ඒකාධිකාරය ඉන්දියාව ගත්තොත් ඉන්දියාව ශ්‍රි ලංකාවට සිදු කරන මුළු අපනයන වටිනාකම ඩොලර් බිලියන 11 ක් දක්වා වැඩි කර ගත හැකියි. ඉන්දියාව මුලින්ම තෙල් වලට අත ගැහුවේ ඒකයි. ඒ අනුව ඉදිරියේදි ඉන්දියාවේ භාරත් තෙල් සමාගම, ONGC, රිලයන්ස් වැනි වෙනත් තෙල් සමාගම් ද අපේ රටේ සිපෙට්කෝ තෙල් ෂෙඩ් ටික බෙදා ගනු ඇති. මේ අතර ඇතැම් විට චීනයේ සිනෝපෙක් වැනි සමාගමක් වුණත් එන්න පුළුවන්. ඒ වගේම මැදපෙරදිග සමාගමක් දෙකකුත් එන්න බැරි නැහැ. නමුත් බහුතර ඒකාධිකාරය ඉන්දියාව කෙසේ හෝ සකසා ගණු ඇති. අපේ රටේ සහල් නිෂ්පාදනය අවම කර ඉන්දියානු සහල් අපේ රටේ විකුණනු ඇති.කොටින්ම අපේ රටේ නිෂ්පාදනය කරන සියළුම දේ අඩපන කොට ඒ වෙනුවට ඉන්දියාවෙන් සියල්ල මිලදී ගැනීමට අවශ්‍ය වෙළදපළ තත්වය අති කරනු ඇති. එය ඔවුන්ගේ වෙළදපළ ඉලක්කයයි. අද සිදු වෙමින් තිබෙන්නේ එයයි. ඇතැම් විට අද අපේ රට මුහුණ දී සිටින වත්මන් ආර්ථික අර්බුදය කිසියම් උපාය මාර්ගික ආරක්ෂක සැළැස්මක කොටසක් ද විය හැකියි. පාලකයින් විසින් පසුගිය කාලය තුළ ගනු ලැබූ රට අසරණ වීමට හේතු වු බොහෝ තීන්දු තීරණ මෙවැනි උපාය මාර්ගික මෙහෙයුමක කොටසක් වුවද විය හැකියි. ලෝකයේ තවදුරටත් ජාතික රාජ්‍යය සංකල්පය ප්‍රායෝගික නැතැයි ද, භු දේශපාලනයක් කියා දෙයක් නැතැයිද අපේ රටේ කෑමොර දෙන ව්‍යාජ පශ්චාත් නූතනවාදීන්ගේ නරි වාදන් එසේම තිබියදී, ඉන්දියාව මේ තර්ක දෙකම ප්‍රායෝගික බව නුදුරේදිම අපට සාක්ෂි සහිතවම ඔප්පු කරනු ඇත.

  • අනුහස් බංඩාර
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

6 thoughts on “ඉන්දියාව අපට උදව් කරන්නේ ඇයි?

Leave a Reply

Your email address will not be published.

Previous post විදුලි බිල වැඩිවෙන්නේ මෙහෙමයි
Next post කොලොන්නාවෙන් තෙල් බෙදීම නවතී