“ප්‍රභාකරන්ට මරාගෙන මැරෙන සොල්දාදුවන් නිර්මාණය කළ ගර්භාෂය ජාතිවාදය” – අනුර

ජාතිවාදී දේශපාලනය පරාජය කරන්න අවශ්‍ය බවද ප්‍රභාකරන්ට මරාගෙන මැරෙන සොල්දාදුවන් නිර්මාණය කළ ගර්භාෂය ජාතිවාදය බවත් නැවත නැවතත් මා කියන්නේ ජාතිවාදී දේශපාලනය පරාජය කළ යුතු බව යැයිද ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඊයේ (26) යාපනයේ පැවති සමුළුවකදී පැවසීය.

“සිංහල, දෙමළ, මුස්ලිම් අපි අතර සමගිය ගොඩනැගෙන්න ඕනෑ. අපේ රට සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රධාන ජන කණ්ඩායම් ජීවත් වෙන රටක්. බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික ආගම් අදහන ඔවුන්ටම ආවේණික සංස්කෘතියක් තිබෙන රටක්. ඉතිහාසයේ ඔවුන් ආවේ දකුණු ඉන්දියාවෙන්, උතුරු ඉන්දියාවෙන් නැත්නම් මලබාරයෙන් වෙන්න පුළුවන්. නමුත් අද මේ රටේ ඉපදී ආර්ථිකයට හවුල් වී මේ මහපොළොවේ වැළලෙනවා. ඒ නිසා මේ රට සිංහල, දෙමළ, මුස්ලිම් හැමදෙනාගේම රටක් හැටියට පිළිගන්න ඕනෑ. ඒ හැම පුරවැසියාටම සමානාත්මතාවය තිබෙන, දෙවැනි පුරවැසියන් ලෙස නොහැඟෙන තත්වයක් ඇති කරන්න ඕනෑ. දවසක් සම්බන්ධන් මහත්මයාත් මගේ අත අල්ලාගෙන “අනුර, මම කැමතියි ලෝකෙටම ඇහෙන්න මම ශ්‍රී ලාංකිකයෙක් කියලා කෑ ගහලා කියන්න.” කියලා කීවා. හැබැයි මම ලංකාවේ දෙවැනි පුරවැසියෙක් හැටියට ජීවත් වෙන්න කැමති නෑ කියලත් කීවා. ඔහු ලාංකේය පුරවැසියෙක් නම් ලංකාවේ දෙවැනි පුරවැසියෙක් වෙන්නේ ඇයි? ඒක සාධාරණ නැහැ. වතුකරයේ දෙමළ ජනතාවට “ඉන්දියානු දෙමළ” කියලා කියනවා. ඉන්දියාවට ගියාම “ශ්‍රී ලංකන් දෙමළ” කියලා කියනවා. එහෙම වෙන්නේ කොහොමද? සාධාරණද?

ජාතිය, ආගම බේරා ගන්න ගෝඨාභය රැල්ලක්

මුස්ලිම් ජනතාව ගැන බොහොම අය අරාබියට සම්බන්ධ කරනවා. නමුත් ඔවුන් අරාබියට ගියාම ඒ රටවල්වල දෙවැනි පංතියේ පුරවැසියන්. ඔවුන් අරාබීන් ලෙස පිළිගන්නේ නැහැ. එහෙම නම් ඔවුන් කවර රටක පුරවැසියන්ද? මේ රටේ පුරවැසියන්. ඒ නිසා මේ සෑම කෙනෙකුටම තමන්ගේ රටේ සාධාරණ, සමානාත්මතාවයෙන් යුතු අයිතිවාසිකම් සහිත පිළිගැනීමක් සහ වටිනාකම් ලබාදිය යුතුයි. පසුගිය කාලයේ දකුණේ විශාල ජාතිවාදී රැල්ලක් ආවා. ජාතිය, ආගම බේරා ගන්න ගෝඨාභයලා ගේන්න ඕනෑ කියලා විශාල රැල්ලක් ආවා. මුස්ලිම් ජනතාවට විරුද්ධව විශාල රැල්ලක් ආවා. ඒ වෙලාවේ අපි ජාතිවාදයට විරුද්ධව ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටියා.

ඔබ අපව හඳුන්වන්නේ දකුණේ ව්‍යාපාරයක් ලෙස නම්, දකුණේ දේශපාලන පක්ෂයක් ලෙස නම්, ඔබ දකුණෙන් තෝරාගත යුතු දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය බව මම කියනවා. ජාතිවාදය වැපිරූ, ගැටුම් නිර්මාණය කළ, යුද්ධ ඇති කළ, ඔවුන් ඔබේ දේශපාලන ව්‍යාපාරය නෙමෙයි. ඔබත් එක්ක සහෝදරත්වයෙන් එකට හිටගෙන ඉදිරියට යන්න රටක් හදනවා නම්, එය කළ හැකි වන්නේ ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ පමණයි. අපි සියලු ජාතිවාදය, ආගම්වාදය, ප්‍රතික්ෂේප කරනවා. අපි කුමන ආගම අදහන්නත් කලින්, කුමන භාෂාව කරන්නත් කලින්, අපි කුමන සංස්කෘතියක ජීවත් වෙන්න කලින් අපි මිනිස්සු බව මතක තියාගන්න ඕනෑ. අන්න එවැනි රාජ්‍යයක් අපි නිර්මාණය කරන්න ඕනෑ.

හින්දු දරුවෙකුට හොඳ, නරක උගන්වන්නේ භගවත් ගීතාවලියෙන්

ඒ සඳහා භාෂාවේ සාධාරණ අයිතිය තිබිය යුතුයි. සිංහල, දෙමළ, ප්‍රධාන භාෂාවන් දෙකක් අපේ රටේ තිබෙනවා. මේ භාෂාවන් දෙකෙන්ම කටයුතු කිරීමේ අයිතිය තිබිය යුතුයි. පොලිසියට ගිහින් දෙමළ භාෂාවෙන් පැමිණිල්ලක් කිරීමේ අයිතිය තිබිය යුතුයි. නමුත් සිදුවී තිබෙන්නේ පැමිණිල්ල සිංහලෙන් ලියා ගැනීමයි. අවසානයේ “කියවා බලා, තේරුම් ගතිමි” කියලා අත්සන් කරනවා. නමුත් කියවන්න තේරෙන්නෙත් නැහැ. ලියන්න තේරෙන්නෙත් නැහැ. මේ තත්වය සාධාරණ නැහැ. ඔබ දෙමළ භාෂාවෙන් ලිපියක් යැව්වොත් දෙමළ භාෂාවෙන් පිළිතුරක් ලැබීමේ අයිතියක් තිබිය යුතුයි. බොහෝ විට මොන භාෂාවකින්වත් උත්තරයක් ලැබෙන්නේ නැහැ. අපේ රටේ පාසල් දසදහස් එකසිය පනස් පහක් තිබෙනවා. මේ පාසල් අතරින් හතළිස් දෙකක විතරයි සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම උගන්වන්නේ. දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම උගන්වන්නේ පාසල් තිස්තුනක විතරයි. මුළු පාසල් දසදහස් එකසිය පනස්පහකින් භාෂා ඉගැන්වීමේ පරතරය අවම කර තිබෙන්නේ 0.07යි. අපේ අධ්‍යාපනයේම බෙදලා තිබෙන්නේ. එකතු කරලා උගන්වන්නේ නැහැ. මම පාසල් යන සමයේ ක්‍රිස්තියානි දරුවෝ දෙන්නයි පංතියෙ හිටියේ. බුද්ධාගම උගන්වන්න එනකොට අර දෙන්නා පංතියෙන් එළියට යනවා. මේ බෙදීම මොකක්ද?

සෑම ආගමකම මූලික පදනම හැමෝටම ඉගැන්වීමේ වරද මොකක්ද? අපි අදහන ආගම, කතා කරන භාෂාව සමාජ පරිසරයක් විසින් සංස්කෘතියක් වශයෙන් ඇතුල් කරනවා. මම බෞද්ධ නම් හොඳ, නරක කියලා දෙන්නේ ජාතක කතාවලින්. මගේ පන්සලේ ලොකුම උත්සවය පොසොන් උත්සවයයි. ඒ තමයි මගේ සංස්කෘතිය. ක්‍රිස්තියානි දරුවෙකුට හොඳ, නරක කියලා දෙන්නේ ජේසුස් වහන්සේගේ ජීවිත කතාවෙන්. නැතිනම් බයිබලයෙන්. ඔහුට ලොකුම උත්සවය වෙන්නේ පල්ලියේ මංගල්‍යයයි. ඒක ඔවුන්ගේ සංස්කෘතියයි. හින්දු දරුවෙකුට හොඳ, නරක උගන්වන්නේ භගවත් ගීතාවලියෙන්. ලොකුම උත්සවය කෝවිලේ වේල් උත්සවයයි. ඔවුන්ගේ ඒ සංස්කෘතිය අපි ඉගෙන ගැනීමේ වරද මොකක්ද? එකිනෙකාගේ සංස්කෘතික අනන්‍යතා පිළිගනිමින් එකිනෙකාගේ සංස්කෘතියට ගරු කරමින් ඉදිරියට සමාජයක් අපි නිර්මාණය කරන්න ඕනෑ.

අපේ දරුවන්ගේ පරම්පරාවත් යුද්ධ කර ගන්න ඕනෑද?

සංස්කෘතිය කියන්නේ අනිකා දිහා සැකයෙන් බලන, වෙන්වෙලා ඉන්න දෙයක් නොවෙයි. හැම සංස්කෘතියකටම ගරු කරන, යහපත් සමාජයක් අපි ගොඩනඟන්න ඕනෑ. ඒ සඳහා ආගමේ අයිතිය, භාෂාවේ අයිතිය සම ලෙස දේශපාලනයට අවතීර්ණ වීමේ අයිතිය, රාජ්‍ය පාලනයට ඇතුල්වීමේ සම අයිතිය, තහවුරු කළ යුතුයි. එවැනි නව ප්‍රවේශයක් අපේ රටට අවශ්‍යයි. අපේ පරම්පරාව යුද්ධ කර ගත්තා. දකුණේ මගේ පංතියේ යාළුවෝ හමුදාවට, පොලිසියට බැඳිලා යුද්ධයට ගිහින් මිය ගියා. උතුරේ මගේ පරම්පරාව නියෝජනය කරන සොහොයුරන් විශාල ප්‍රමාණයක් මිය ගියා. විශාල ප්‍රමාණයක් උතුරෙත්, දකුණෙත් අපේ පරම්පරාවේ අය මිය ගියා. මා අහන්නේ එක දෙයයි. අපේ දරුවන්ගේ පරම්පරාවත් යුද්ධ කර ගන්න ඕනෑද? අපි ගහගත්තා, යුද්ධකර ගත්තා මදිද? අපේ දරුවන්ගේ පරම්පරාව කිසිම පන්නයේ ගැටුමකට, යුද්ධයකට අවතීර්ණ වීමට ඉඩ නොදීම අපේ පරම්පරාවේ වගකීමක්. අපි විශේෂයෙන්ම යුද්ධයන් ඇතුළේ ජීවත් වුණු, අත්දැකීම් ලබපු මිනිස්සු. අපේ යහළුවන්, ඥාතීන් අපේ ඇස් ඉදිරිපිට මිය යනවා දැක්කා. තවදුරටත් එවැන්නක් ඕනෑද? එවැනි ව්‍යසනයක් අපේ අනාගත පරම්පරාවට කිසිසේත්ම ඕනෑ නැහැ. මේ රට පාලනය කරන්නේ මෙවැනි කණ්ඩායමක් නම්, අනිවාර්යයෙන් නැවත නැවත මේ ගැටුම් නිර්මාණය කරන බව ඔබ මතක තබාගන්න.

තනි මිනිහෙක් මේ වගේ ව්‍යසනයකට මුහුණ දිය යුතුද?

මේ රටේ 2009ට කලින් තිබුණු උතුරේ යුද්ධයෙන් පස්සේ යුද්ධයක් ඇති නොවෙන බව අපි කවුරුත් හිතුවා. නමුත් මේ පාලකයන්ට යුද්ධයක් නැතිව බැහැ. නැවත බලය ලබාගන්න සැලසුම් සහගතව ප්‍රහාර එල්ල කළා. පාස්කු ප්‍රහාරය කුමක්ද කියලා අපි කවුරුත් විශාල සැකයකින් ඉන්නවා. එය සැලසුම් සහගත ප්‍රහාරයක් බව, බලය ලබාගැනීමේ වුවමනාවෙන් කළ ප්‍රහාරයක් බව ඕනෑ තරම් කියැවෙනවා; ලියැවෙනවා. මොවුන් තමන්ට බලය ලබාගැනීම වෙනුවෙන් ඝාතන කළ හැකි කණ්ඩායම්. බලය ලබා ගැනීම වෙනුවෙන් සාෆි කියන වෛද්‍යවරයාට කළ හිංසාවන් මතකද? මා ඒ වෙලාවෙත් ඒ ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. අපි මුස්ලිම් ජාතිවාදීන්ගේ පස්සේ යන බවට ඒ වෙලාවෙත් මට ප්‍රහාර එල්ල කළා. අද ඔප්පු වී තිබෙන සත්‍යය කුමක්ද? වෛද්‍ය සාෆිට ලක්ෂ විසිහයක වන්දි ගෙවන්නත් නැවත සේවයේ පිහිටුවන්නත් සිදුවී තිබෙනවා. නමුත් ඒ වෙලාවෙත් සමාජය දෙපළු වුණේ නැතිද? මුස්ලිම් ජනතාව කෙරෙහි සිංහල ජනතාව සැකයෙන් බැලුවේ නැත්ද? කුරුණෑගල පාසල් ගිය සාෆිගේ දරුවෝ දෙන්නාට පාසල් අත්හැර යන්න සිද්ධ වුණා. තනි මිනිහෙක් මේ වගේ ව්‍යසනයකට මුහුණ දිය යුතුද? බලය ලබාගැනීම වෙනුවෙන් මේ පක්ෂ දෙක ඕනෑම මොහොතක, කවර වර්ගයක හෝ ජාතිවාදය උපයෝගී කර ගන්නවා.

මෙහි ජනතාව දේවස්ථානවලටත් වඩා වැඩියෙන් යාපනය පුස්තකාලයට ගරු කරනවා

ආර්ථිකය ගොඩනැඟුවා කියලා, නීතිය හැදුවා කියලා හොරකම් නතර කළා කියලා සංවර්ධිත රටක් හැදුවා කියලා ඔවුන්ට ඡන්දය ඉල්ලන්න පුළුවන්ද? මේ සියල්ලම ඔවුන් විනාශ කළා. අන්තිමට ජාතිය බේරා ගන්න ඡන්දය ඉල්ලනවා. ආගම බේරා ගන්න ඡන්දය ඉල්ලනවා. දෙමළ මිනිසාට විරුද්ධව, මුස්ලිම් මිනිසාට විරුද්ධව ඡන්දය දෙන්න කියලා අන්තිමට ඉල්ලනවා. මෙතෙක් සිටි පාලක කණ්ඩායම් දෙකම විටින් විට තමන්ගේ බලය ලබාගැනීම වෙනුවෙන් ජාතිවාදය වැපිරුවා. යුද්ධ ඉබේ ඇති වුණු ඒවා නොවෙයි. 1978දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට විරුද්ධව දකුණේ ජනතාවත්, උතුරේ ජනතාවත් කළු කොඩි දැම්මා. දකුණටත් උතුරටත් විරුද්ධව මර්දනය ගෙනාවා. මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ඔවුන් ඉදිරිපත් කළ සංවර්ධන සභා ඡන්දය පවත්වන්න 1981දී යාපනය පුස්තකාලය ගිනි තිබ්බා. මා අපේ රටෙත්, ලෝකයේත් පුස්තකාලවලට ගිහින් තිබෙනවා. නමුත් ඇතුල් වන විට සෙරෙප්පු සපත්තු ගලවලා ඇතුල් වන එකම පුස්තකාලය යාපනය පුස්තකාලයයි. තමන්ගේ දේවස්ථානවලටත් වඩා වැඩියෙන් යාපනය පුස්තකාලයට ගරු කරනවා. එතැනට ගිනි තිබ්බා. කුමක් වෙනුවෙන්ද? සංවර්ධන සභා ඡන්දය දිනන්න.

සන්නද්ධ වීමේ විශ්වාසයක් දෙමළ තරුණයන් තුළ ඇති කළා

ඒ වගේම 1983 කළු ජූලිය නිර්මාණය කර, දේශපාලන පක්ෂ තහනම් කළා. ඒ තුළින් උතුරේ තරුණයන් තුළ දකුණේ ආණ්ඩු උතුරේ අය ගැන නොසලකන බවට දෙමළ තරුණයන් තුළ විශ්වාසයක් ඇති කළා. දකුණේ ආණ්ඩු සැලසුම් කරලා පුස්තකාල ගිනි තියනවා නම්, කළු ජූලි නිර්මාණය කරනවා නම්, හෙට්ටිවීදියේ ගිනි තියනවා නම්, මා ඉගෙන ගත් කැලණි විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිටි සපත්තු මහන්නෙකු ඇවිලෙන ටයර් සෑයට දාලා මරලා දමනවා නම්, ඒ තරුණයන් තුළ ඇතිවෙන ආවේගය කුමක්ද? තමන්ට රටක් නැති බවත්, මේ පාලකයන් කෙරෙහි විශ්වාසයක් නැති බවත්, මේ පාලකයන් තමන්ව මර්දනය කරන බවත්, ඊට එරෙහිව සන්නද්ධ වීමේ විශ්වාසයක් දෙමළ තරුණයන් තුළ ඇති කළා. නැවත මෙවැනි දෙයක් සිද්ධ නොවෙන්න නම්, ජාතිවාදී දේශපාලනය පරාජය කරන්න ඕනෑ. ප්‍රභාකරන්ට මරාගෙන මැරෙන සොල්දාදුවන් නිර්මාණය කළ ගර්භාෂය මොකක්ද? ජාතිවාදයයි. නැවත නැවතත් මා කියන්නේ ජාතිවාදී දේශපාලනය පරාජය කළ යුතු බවයි. අපේ දරුවන්ට සහෝදරත්වයෙන් සමානාත්මතාවයෙන් ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කළ යුතුයි. ජාතික ජන බලවේගයේ අරමුණ ඒකයි.

මුළු රටේමත් ප්‍රශ්න ගැන දෙමළ ජාතික සන්ධානය අද කතා කරනවා

උතුර කේන්ද්‍රගත කර ගත් දේශපාලන ව්‍යාපාර ගණනාවක් තිබෙනවා. ඔවුන් වෙනදාට වැඩිය උතුරේ ප්‍රශ්න ගැන කතා කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේදි දකුණේ පොදුවේ මුළු රටේමත් ප්‍රශ්න ගැන දෙමළ ජාතික සන්ධානය අද කතා කරනවා. මා ඒ ගැන විශාල වශයෙන් සතුටට පත්වෙනවා. ඒ නිසා ප්‍රාදේශීය ලෙස නොවෙයි, ජන ප්‍රජාවන් ලෙස නොවෙයි, ජාතික දේශපාලනයට අපි හැමදෙනාම ප්‍රවේශ වෙන්න ඕනෑ. ඔබට අපි ගැනත් අපිට ඔබ ගැනත් සැකයක් තිබෙන්න පුළුවන්. මා වේදිකාවේ පැයක් කතා කළ පමණින් ඒ විශ්වාසය ගොඩනැගෙන්නේ නැති බව අපි දන්නවා. එහෙත් අපිට මේ අවස්ථාව ඉතාමත් හොඳ ප්‍රවේශයක් වේවි. රටත් අපේ ජනතාවත් මුහුණ දී සිටින විනාශයෙන් ගොඩ ඒම සඳහා එකට බැඳුණු එකට වෙළුණු දේශපාලන ගමනක් තිබෙනවා. උතුරේත්, දකුණේත් කොඩිය ඔසවන්න හැකි වෙන්නේ එවැනි දේශපාලන ගමනකින් පමණයි. අපි දකුණේ වෙනම කොඩියක් ඔසවන්න ගියත්, ඔබ උතුරේ වෙනම කොඩියක් ගැන ප්‍රාර්ථනා කරමින් හිටියත්, එවැනි කිසිම කොඩියක වටිනාකමක් නැති වී තිබෙනවා. අපේ මව්බිම ජාත්‍යන්තර හිඟන රටක් බවට පත්කර තිබෙනවා. ආඩම්බරය, ප්‍රෞඪත්වය මොකක්ද? අපිට ඉතිරිවී තිබෙන්නේ මොනවාද? යාපනය දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ සමුළුව පවත්වා අපේ සහෝදර සහෝදරියන් ඔබට හඳුන්වා දෙනු ලැබුවා. ඔවුන් විශාල වගකීමක් බාරගෙන තිබෙනවා.

මේ රටේම ජාතික සමගියේ කොඩිය, එක්සත්භාවයේ කොඩිය, ආර්ථික සමෘද්ධියේ කොඩිය අපේ දරුවන්ගේ අනාගතය ගැන විශ්වාසනීයත්වයේ කොඩිය එසවීම සඳහා යාපනය දිස්ත්‍රික්කයේ විශාල සහයෝගයක්, දායකත්වයක් ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. අපි හැමදෙනාම ඒ වෙනුවෙන් එකතු වෙමු, ඉදිරියට එමු, අපට තිබෙන්නේ ඒ මාවත පමණයි. අපි හැමදෙනාම ඒ මාවත සඳහා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.” යනුවෙන්

lankaweb.lk

සබැඳි

Leave a Reply

Your email address will not be published.