ඔබේ බුද්ධියේ විමසුමට

නූතන ශ්‍රී ලාංකේ බහුතර ඇත්තන්ගේ ඇත්තේ අරුම පුදුම වැඩකිඩය. එසේ නොවන්නට අප හැත්තෑහතර වසරක් තටුටුමාරු ක්‍රමයට කප්පරක් බලාපොරොත්තු තබාගෙන ඡන්දය දී මෙපරිදි වර්තමානයේ අපමණ දුක් විඳින්නේ නැත. ඊට කදීම උදාහරණයකි හැටනම ලක්ෂණයක් මහත් උමතුවෙන් හා අන්ධභක්තියෙන් ඡන්දය දී විරුවකු ගෙනැවිත් වර්තමානයේ ඇඳිවතත් නැතිවෙන තත්වයට වැඩ ඉෂ්ට සිද්ධ කර ගැනීම.

ලොව කිනම් රටක් හෝ දෙශයක් තවත් රටක් හෝ දේශයක් සමගින් ශක්තිමත් සම්භන්ධතා ඇති කරගන්නේ විදේශීය
සම්භන්ධතා මගින් මිස ක්‍රිකට් තරගයකට එම රටේ ක්‍රියට් කණ්ඩායමේ නිල වර්ණය ( A Official Colour ) ඇඳගෙන ගොස් දාන හුරේපාරින් නම් නොවේ. එසේ පුළුවන් කියා සිතන්නේ නම් එය ලෝකයටම දෙන මහඟු ආදර්ශයක් වන්නේම යැ.

ක්‍රිකට් තරගයකට දිය යුත්තේ එයට හීමි නීසි ගෞරවය මිස ඕලාරික දෙකයිපනහේ වැඩවලින් නොවේ. මෙමගින් ගම්‍යවන්නේ අපේ ප්‍රාථමිකත්වය මිස වෙනත් දෙයක් නොවේ. ඇරත් … ඕස්ට්‍රේලියාව මෙම දෙකයිපනහේ වැඩ පිළිබඳව එතරම් තැකීමක් ඇතිකර ගනියි කියා මා පෞද්ගලිකව විශ්වාස නොකරමි. අපේ පෙර වාසනා මහිමයකට එසේ කරන්නේ නම්,සැබවින්ම යහපතකි.ඒ කොයි හැටි වෙතත් අපි සෑම දෙයක්ම රැල්ලට කරන්නෙමු. රැල්ලක් විත් එයට සමාජ මාධ්‍ය තුළින් ඉහළ ප්‍රතිචාරයක් ලැබෙත් ද,අපි නිර්වස්ත්‍රයෙන් යන්නෙමු. වර්තමානයේ දේශපාලන වශයෙන් අප නිර්වස්ත්‍රයෙන් ලෝකය ඉදිරියේ පෙනී සිටින්නේද එබැවිනි.

ඕනෑම රටක් සමගින් යහපත් මිත්‍ර සම්බන්ධතා පවත්වාගත යුත්තේ ශක්තිමත් තානාපති සම්බන්ධතාවයන් මගින් බව මවිසින් ඉහත දක්වන ලදි. එම න්‍යායට අනුව අපේ රටේ විදෙස් සම්භන්ධතා ඇත්තේ එතරම් යහපත් තත්වයක නොවේ. වහාම ශක්තිමත් කළ යුත්තේ විදේශීය සම්බන්ධතා මිස මෙවන් ඕලාරික වැඩ නොවේ. ඇරත් .. මෙවන් කාරණාවකට මෙතරම් මාධ්‍ය ප්‍රචාරයක් හෝ රැල්ලක් රටතුළ නිර්මාණය කළ යුතුවන්නේ ද ?

අපට නීතිගරුක යහපත් සමාජයක්, දේශපාලන සංස්කෘතියක් හෝ පැහැබර අනාගතයක් කියා කිසිවක් අවශ්‍ය නැත. ලෝකයට සෝබනය පෙන්වන්න ඇත්නම් ඊට වඩා දෙකක් නොමැත. එහෙත්.. මෙහි ඛේදජනකය කාරණාව වන්නේ ලෝකය අපට වඩා බුද්ධිමත් හා අනාගතවාදී වීමයි.
මෙරට ලුම්පන් පන්තියේ දෙකයිපහනේ වැඩවලට ඕස්ට්‍රේලියානු රජය තම අවධානය යොමුකර තමුන්ගේ උපරිම සහයෝගය ලංකාවේ වර්තමාන තත්වය සමනය කරගැනීම රාජතාන්ත්‍රික වශයෙන් මෙරටට අමුතුවෙන් උපකාර කරයි යයි කියා අද දින පවත්වනක්‍රිකට් තරගය නැරඹීමට කහ ඇඳගෙන යන මෙරට ලුම්පන් සමාජයේ සමාජික/සමාජිකයන් සිතන්නේ නම්, එය සැබවින්ම ඔවුන්ගේ මනෝභාවය පිළිබඳව ප්‍රශ්නයක් මිස රටේ ප්‍රශ්නයක් නොවෙන්නේ ය.

මෙහිදී 2019 ජනාධිපතිවරණයෙන් ඉක්බිතිව අපි කප්පරක් බලාපොරොත්තු තබාගෙන පිස්සුවෙන් මෙන් පාර තොටේ තාප්ප-බිත්ති පුරා චිත්‍ර ඇදපු අතීතයක් අපට හිමිබව මතක් කරගන්නේ නම්, එය කොයි කාටකාටත් යහපතක් වන්නේමයැ.
මෙරට තුළ මාධ්‍ය රැල්ලකට කරන්නට බැරි වැඩක් නොමැති බව මෙමගින් සමාජයට දෙන මහඟු පාඩම වන්නේ ය.

පසුව ලියමි —–

මෙය වත්මන් බංකොලොත් දේශපාලන පැලැන්තිය විසින් තම අනාගත පැවැත්ම වෙනුවෙන් කරන ව්‍යාපෘතියක් බවත් එහිලා මෙය මුට්ටිය දමා බැලීමක් බවත් කොයි කව්රුත් අවබෝධ කරගන්නේ නම් ඇගටපතට යහපතකි.
එහෙනම් ඉතින් අපි කහ බලකායටත් රැවටිලා බලමු. මොකද …අතීතයේදී නිල් බලකායට රැවටුණු එකේ කහ බලකායට රැවටෙන එක අපට මොන කජ්ජක් ද ?

– පූජ්‍ය ඇතිපොළ මංගල හිමි (fb)

සබැඳි

Leave a Reply

Your email address will not be published.