පොලිසියේ වාර්තා පරස්පරයි : අරගලකරුවන් 4කට ඇප !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අරගලකරුවන් හත්දෙනාගෙන් සිව්දෙනෙකුට ඇප ලබාදීමට කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (24) නියෝග කළේය.

එරංග ගුණසේකර, ජගත් මනුවර්ණ, ධම්මික මුණසිංහ සහ ජෙහාන් අප්පුහාමි යන සිව්දෙනාට මෙසේ ඇප නියම කෙරිණි. පෙර වැරදි තිබීමේ හේතුව නිසා, බන්ධනාගාරගතව සිටි අනෙකුත් අරගලකරුවන් වන ලහිරු වීරසේකර, රත්කරව්වේ ජිනරතන හිමි සහ රතිඳු සේනාරත්නට ඇප ලබාදීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරිණි.

අමල්ට පෙරට්ටුවක්

මීට අමතරව පසුගිය 21දා පස්වරුවේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අමල් සාලින්ද සම්බන්ධයෙන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් තැබීමට නියෝග කිරීම නිසා ඔහු ද තවදුරටත් බන්ධනාගාරගත කෙරිණි.

පොලිස් වාර්තා පරස්පරයි

අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජ්‍යේෂ්ඨ නීතිඥ උපුල් කුමරප්පෙරුම ඇතුළු නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දුන්නේ පොලිසිය විසින් ඉදිරිපත් කර ඇති බී වාර්තා එකිනෙකට පරස්පර බවයි. මාර්ගයේ පදිකමාරුවට හානි කිරීම යටතේ ඉදිරිපත් කර ඇති තක්සේරු වාර්තාවල ස්ථාන පිළිබඳ ගැටළු ඇති බවත් නීතිඥවරු අවධාරණය කළහ.

චෝදනා ගොනුකිරීමේ ගැටළුව

එසේම මහා මාර්ගයට අලාබහානි කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනුකිරීමට ජාතික මංමාවත් පනතේ 56 වගන්තිය යටතේ ප්‍රතිපාදන තිබියදී, මෙසේ පොදු දේපොළ පනත යටතේ චෝදනා ගොනුකිරීම ගැටළුවක් බව ද අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායම පෙන්වා දුන්නේය. අධිකරණය විසින් මෙම කරුණු පිළිගන්නා ලදි.

ඉලක්කම් වෙනස් කිරීම

මෙම පිරිසට එරෙහි මුල් බී වාර්තාවේදී පොලිසිය විසින් විත්තිකරුවන් පොදු දේපොළවලට කළ හානිය ලෙස දක්වා තිබුණේ රුපියල් 60,000කි. නමුත් පසුව වැඩිදුර තොරතුරු ඉදිරිපත් කළ බී වාර්තාවේ පොලිසිය එම හානිය දක්වා තිබුණේ රුපියල් 167,000ක් ලෙසයි. ඊට හේතුව ලෙස පොලිසිය පවසා තිබුණේ මාර්ගයට සිදු වූ හානිය ඉංජිනේරුවන් මාර්ගයෙන් පසුව තක්සේරු කළ බවකි.

පසුගිය ජුනි 9 සහ 10 දිනවල කොටුව සහ තලංගම ප්‍රදේශයේදී පැවැත්වූ විරෝධතා අතරතුර ඇතිවූ සිද්ධි සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගැනිණි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.