බොරතෙල් නෑ: සපුගස්කන්ද වැහෙයි

බොරතෙල් හිඟවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (24) පස්වරුවේ සිට වසා දැමීමට සිදුව ඇතැයි එහි අභ්‍යන්තර අරංචි මාර්ග පවසයි.

එසේ වුවහොත් යළි තෙල් පිරිපහදු ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ම ඇනහිටින බව ද ඒ හේතුවෙන් රට මුහුණදී ඇති ඉන්ධන අර්බුදය තවත් ඔඩුදුවන බව ද එම අභ්‍යන්තර ආරංචි මාර්ග අනතුරු අඟවනු ලැබීය.

මෙලෙස විටින් විට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසී යාම එහි ජීව ගුණයට ද ප්‍රබල තර්ජනයක් බව ඔවුහු පෙන්වා දෙති.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිතිපෙන්වා දෙන්නේ දින ගණනාවක සිට බොරතෙල් නෞකාවක් මෙරට මුහුදේ නැංගුරම්ලා ඇති බවත් එය මිල දී නොගැනීමෙන් තත්ත්වය තවත් අර්බුදයට යන බවත් ය.

මේ වන විට සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් දිනකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 350ක්, ඩීසල් මෙට්‍රික් ටොන් 750ක්, දැවිතෙල් මෙට්‍රික් ටොන් 1300ක් හා භූමිතෙල් මෙට්‍රික් ටොන් 550ක් පමණ පිරිපහදු කෙරේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව බොරතෙල් නොමැතිවීමෙන් මාස හතක පමණ කාලයක් ඇතුලත වසා දමන ලද සිවුවැනි අවස්ථාව මෙය වේ.

Leave a Reply

Your email address will not be published.