මුහුදු පතුලේ ඇති මුහුදු සිංහයෙකුගේ මළ සිරුර මත යැපෙන පසැඟිල්ලන් ගේ ජයග්‍රාහී ඡායාරූපය

මෙහි දැක්වෙන්නේ 2022 වර්ෂය සඳහා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා විද්‍යා ඇකඩමිය මගින් නොබෝදා පවත්වනු ලැබූ Big Picture Competition නම් තරඟාවලියේ Aquatic Life අංශය වෙනුවෙන් ප්‍රථම ස්ථානය දිනූ ඡායාරූපයයි.
එම ජයග්‍රාහී ඡායාරූපය ලබා ගන්නා ලද්දේ සුප්‍රකට වනජීවී ඡායාරූප ශිල්පියෙකු වන ඩේවිඩ් ස්ලේටර් විසිනුයි.
දේදුනු වර්ණ සහිත විචිත්‍ර පසැඟිල්ලන් සමූහයක් විසින් මුහුදු පතුලේ වැතිර ඇති මුහුදු සිංහයෙකු ගේ මළ සිරුර ආහාරයට ගනිමින් සිටින අන්දම එහි කදිමට නිරූපණය වෙනව.

ඩේවිඩ් ස්ලේටර් ගේ තෙවෙනි ඇසට මේ චමත්කාරජනක දසුන හසුවූයේ කැලිෆෝර්නියාවට අයත් Monterey බොක්කේ නොගැඹුරු පතුල මතයි.

යගොස් ඇති මුහුදු සිංහයා සහ පසුබිමේ පිහිනමින් සිටින මුහුදු සිංහයින් බොහෝ දුරට Zalophus californianus විශේෂයට අයත් කැලිෆෝර්නියානු මුහුදු සිංහයින් හෝ ඇතැම් විට Eumetopias jubatus විශේෂයේ මුහුදු සිංහයින් යයි විශ්වාස කරන්නේ එම විශේෂ දෙකේ භූගෝලීය සීමාවන් අනුවයි.

මුහුදු සිංහ මෘත දේහය මත යැපෙමින් සිටින පසැඟිල්ලන් සියල්ලම Patiria miniata විශේෂයේ වවුල් පසැඟිල්ලන් ( Bat Starfish ) බව නිශ්චිතව හඳුනාගෙන තිබෙනව.
ඔවුන්ට ඒ නම ලැබී ඇත්තේ උන්ගේ ග්‍රාහිකා නැතහොත් බාහු අතර වවුලන් ගේ පියාපතක් මෙන් බැඳි පටලමය ව්‍යුහ තිබීම නිසයි.
සාමාන්‍යයෙන් ඔවුන් බාහු 5ක් දැරුවත් සමහරකගේ බාහු 9ක් ඇති අවස්ථා හමුවෙනව.
සෙන්ටිමීටර් 20ක් ( අඟල් 8 ) තරම් වන වවුල් පසැඟිල්ලන් රතු, තැඹිලි, කහ, දුඹුරු, කොළ හා දම් වර්ණ ඇති අතර ඔවුන් සර්ව භක්ෂක මෙන්ම මියගිය සත්ව දේහ මත ද යැපෙන පෝෂණයක් දරනව.

වවුල් පසැඟිල්ලන් ගේ එක් එක් බාහුවේ කෙළවරේ ආලෝක සංවේදී අක්ෂි ලපයක් ඇති අතර බාහුවල පතුලේ තිබෙන ආඝ්‍රාණ සංවේදී සෛල මගින් කුඩා අපෘෂ්ඨවංශීන් හා ජලයේ ඇති මළ දේහ වලින් එක්වන රසායනිකයන් ගේ ඒවායේ ” රස ” හැඳිනිය හැකි වෙනව.
ඔවුන් ආහාරයක් සොයාගත් පසු තම ආමාශයන් දෙකෙන් එකක් මුඛය තුළින් පිටතට තල්ලු කර ජීරණ එන්සයිම ස්‍රාවය කිරීමෙන් අනතුරුව ජීරණය කරගත් ආහාරය අධිග්‍රහණය කරනව.

ඩේවිඩ් ස්ලේටර්

එමෙන්ම මේ වවුල් පසැඟිල්ලන් ගේ සිරුර යටි පැත්තේ තිබෙන ඇලි තුළ කුඩා සහජීවී පණුවන් වෙසෙනව.
එක් පසැඟිල්ලෙක් මෙවැනි පණුවන් 20ක් පමණ දක්වා ගණනකට ධාරකයෙකු වෙනව.

කසල භක්ෂකයන් ලෙස වවුල් පසැඟිල්ලන් හා උන්ගේ සහජීවී පණුවන් සමුද්‍ර පරිසර පද්ධතියේ ආහාර දාම වල අගිස්සේ සිට පතුල දක්වා පෝෂක සහ ශක්තිය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැදගත් කාර්යයක් ඉටු කරනව.
මෙම ඡායාරූපයේ දැක්වෙන මුහුදු සිංහයා මියගියේ කෙසේදැයි පැහැදිලි නැහැ.

එය ස්වාභාවික හේතුවක් නිසා හෝ නැතිනම් මුහුදු යාත්‍රාවක් ගැටීම, ප්ලාස්ටික් අධිග්‍රහණය, හෝ ධීවර ආම්පන්නයක් වැනි මානව සාධකයක් නිසා වූවාද විය හැකියි.

කෙසේ වෙතත් ස්වභාව සංරක්ෂණය සඳහා වන ජාත්‍යන්තර සංගමයේ ( IUCN ) රතු දත්ත ලැයිස්තුවේ දැක්වෙන්නේ කැලිෆෝර්නියානු මුහුදු සිංහයන් ගේ ගහනයන් වැඩි වෙමින් පවතින නිසාම අවම සැලකිලිමත් කාණ්ඩයට ඇතුළත් කර ඇති බවයි.
මෙම ජයග්‍රාහී සේයාරුව සටහන් කළ ඩේවිඩ් ස්ලේටර් තම Instagram ගිණුමේ මෙසේ සටහන් කර තිබෙනව.
” මම දැනගත්තා මේක විශේෂ ඡායාරූපයක් බව. ඒ වටිනා තරඟාවලියේ මට ප්‍රථම ස්ථානයක් ඇති බව දැනගත්තම මට ඇතිවුණ හැඟීම් වචන වලින් විස්තර කරන්නට බැහැ. “

  • ප්‍රේමශාන්ත කුමාරසිරි
ජයග්‍රාහී ඡායාරූපය

Leave a Reply

Your email address will not be published.