ජනාධිපති සමාවේ ඇත්ත : මෛත්‍රීට එරෙහිව රතන හිමිගෙන් පැමිණිල්ලක් !

රෝයල් පාර්ක් සිදුවීමට වරදකරු වූ ජූඩ් ශ්‍රමන්ත ජයමහට ජනාධිපති සමාව ලබාදීම පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් අද (23) අතුරලියේ රතන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පසුගියදා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකදී හිටපු ජනාධිපතිවරයා පවසා තිබුණේ මෙම ජනාධිපති සමාව සම්බන්ධයෙන් රතන හිමි මැදිහත් වූ බවයි.
 
ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනය

ජූඩ් ශ්‍රමන්තට ජනාධිපති සමාව ලබාදුන් කාලයේ ම මාධ්‍ය වාර්තා කළේ අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලීම, සම්බන්ධීකරණය සහ මැදිහත් වීම මත මෙය සිදු වූ බවයි. ජනාධිපති මාධ්‍ය අංශය මගින් ම ඒ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කරන ලදි.
 
බන්ධනාගාරයේ වුණු දේ

ජනාධිපතිවරයා ගත් මේ තීන්දුව අසාධාරණ බවත්, තමන්ට ද සමාව ලැබිය යුතු බවත් වැලිකඩ, බූස්ස සහ අඟුණකොළපැලැස්ස යන බන්ධනාගාරවල රැඳවියෝ එහිදී අවධාරණය කළහ. ඔවුන් තම විරෝධය පළ කළේ බන්ධනාගාර වහල මතට නැගීමෙන් සහ ආහාර වර්ජනය කිරීමෙන් ය. මරණ දඬුවම නියම වී සිටින වැලිකඩ සිරකරුවන් ද ආහාර වර්ජනයක නිරත වෙමින් ජනාධිපතිවරයාගේ මේ අත්තනෝමතික තීරණයට එවකදී විරෝධය පළ කළහ.
වසර හතරකට වරක් සිදු කරන දඬුවම් සම්බන්ධ සමාලෝචනය පවා විධිමත්ව සිදු නොවන තත්ත්වයක් තුළ මෙය බරපතළ අසාධාරණයක් බව ඔවුහු පෙන්වා දුන්හ.
 
ගනුදෙනුවක් ?

මේ ජනාධිපති සමාව දීම පිටුපස දැවැන්ත මුදල් ගනුදෙනුවක් සිදු වී ඇති බවට සැක මතුකෙරෙන ප්‍රවෘත්ති මාධ්‍ය මගින් වාර්තා කෙරිණි.
එසේම ජනාධිපතිවරයාගේ සහෝදරයකු වන ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගේ පුත්‍රයා විවාහ වී ඇත්තේ ද මේ ජනාධිපති සමාව ලැබූ ජයමහ පවුලෙන් බව ද එවකදී මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

ජනාධිපති සමාව

ජනාධිපති සමාව කියන්නේ මේ රටේ වැඩියෙන්ම අවභාවිත වන බලයකි. ආණ්ඩුව සහ එහි රැකවලුන් විසින් නීතියේ අධිපත්‍යය අවභාවිත කරන ආකාරය හොඳින්ම පෙන්වන දර්ශකයකි, මේ කියන ජනාධිපති සමාව. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ළමා අපචාරයකට වැරදිකරු වූ ගෝනවල සුනිල්ට ජනාධිපති සමාව දුන්නේය. එයිනුත් නොනැවතී මුළු දිවයිනටම සාම විනිසුරු කළේය. උදාහරණ රැසක් මැද්දේ රණසිංහ ප්‍රේමදාස සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක පසුකරගෙන පැමිණ, මහින්ද රාජපක්ෂ යළිත් මේ ජනාධිපති සමාවට අලුත් අර්ථකතනයක් දුන්නේය. මිනීමැරුම් චෝදනාවකට වරදකරු වූ සබරගමුව දේවාලයේ බස්නායක නිලමේ ඇතුළු පිරිසක් මහින්ද රාජපක්ෂගෙන් නිදහස ලැබීය. ඉන්පසු මෛත්‍රීපාල සිරිසේනගේ යුගයයි. ගෝඨාභය රාජපක්ෂ විසින් සුනිල් රත්නායක වැනි බරපතළ අපරාධකරුවකුටත්, දුමින්ද සිල්වාටත් ජනාධිපති සමාව දුන්නේය.
දැන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාව අත්හිටුවා තිබේ. ඔහු යළිත් බන්ධනාගාරයේ ය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සමාව දුන්නේය. ඊට එරෙහිව ද මේ වන විට නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වේ.
 
සිය ගණන් ගැන කතා නැත

නිදහස් දවසට, වෙසක් දවසට සිරකරුවන්ට ජනාධිපති සමාව ලැබේ. ඒ සිය ගණනකටය. එහෙත් ඊට එරෙහිව සමාජයෙන් විවේචනයක් එල්ලවන්නේ නැත. ඒ ඔවුන් එළියට ඒමෙන් සමාජයට විපත්තියක් නොවන බවට එළියේ සමාජය විශ්වාස කරන නිසා ය. මේ පිරිස තෝරන්නේ සුළු වරදවල්, ඇප මුදල් ගෙවා ගැනීමට නොහැකි වීම් වැනි කරුණු අනුවය.

ඥානසාර හිමි ?

ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දීම තීරණාත්මක එකකි. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී සිරගතව සිටියදී ය, එය ලැබෙන්නේ. ඕනෑම කෙනකුට අධිකරණයට ඕනෑම දෙයක් කළ හැකි යැයි යන සංඥාව ජනාධිපතිවරයා ලබාදුන්නේ එසේ ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ගල් ගැසූ රිෂාඩ් බදියුදීන් හිටපු ඇමැතිවරයාට එරෙහිවද නීතිය ක්‍රියාත්මක වූයේ නැත. එම නිසා සියල්ලන් යන්නේ එක පාරේ ය.
 
මෛත්‍රීගේ තවත් වැඩක්

වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට ජනාධිපති සමාව ලැබිණි. ඔහුට එල්ල වී තිබුණේ අල්ලස් චෝදනාවකි. ඊට වරදකරු වූ ඔහුට වසර 18 ක සිර දඬුවම් නියම වී තිබිණි. ඊට එරෙහිව චූදිත විසින් අභියාචනාධිකරණයේ ගොනු කළ නඩුවෙන්ද පැරදිණි. ඒ කියන්නේ එයින්ද දඬුවම අනුමත විය. ඔහුටත් මේ කියන සමාව ලැබිණි.
 
ඉවසීමේ අගය

කොළඹදී පැවැති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සම්මේලනය අමතමින් හිටපු ජනාධිපති සිරිසේන පවසා තිබුණේ ඉවසීමේ අගය ගැනයි. ඉවසීම නැති වූ නිසා ජූඩ් ශ්‍රමන්ත ජයමහ විසින් රෝයල් පාර්ක් ඝාතනය සිදු කර ඇති බවත්, ඔහු බන්ධනාගාරයේදී යහපත් කල් ක්‍රියාවෙන් සිටි නිසා ජනාධිපති සමාවක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බලන බවත් ය. ඒ වෙනුවෙන් ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති බවක් ද එහිදී ඔහු ප්‍රසිද්ධියේ කිව්වේය.
 

ඉවෝන් ජොන්සන්

රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී 2005 වසරේ ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජූඩ් ශ්‍රමන්තට කොළඹ මහාධිකරණයෙන් වසර 12ක සිර දඬුවම් නියම කෙරිණි. ඊට එරෙහිව විත්ති පාර්ශ්වයෙන් අභියාචනා කරන ලද අතර, අභියාචනාධිකරණය එය මරණ දඬුවමක් දක්වා වැඩි කළේය. මේ මරණ දඬුවමට එරෙහිව යළිත් විත්ති පාර්ශ්වය ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය.

මරණ දඬුවම් බලය

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අභියාචනාධිකරණ තීන්දුව තහවුරු කළේ අභියාචනාධිකරණයට ද මරණ දඬුවම ලබාදිය හැකිය යනුවෙන් විශේෂ තීන්දුවක් ද ලබාදෙමින් ය. කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එම මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට ලිහිල් කෙරිණි. ඉන්පසු මෛත්‍රීපාල සිරිසේන ය.
 
ජනාධිපති බලය

ජනාධිපතිවරයාට මෙසේ ජනාධිපති සමාව පිළිබඳව තීන්දු ගැනීමට බලය පවරා ඇත. එහෙත් අපේ ව්‍යවස්ථාවේ ඇති දෝෂයක් නම්, එය කුමන තත්ත්වයක් යටතේ කළ යුතුද යන්න හෝ එසේ ජනාධිපති සමාව ලබාදෙන නිර්ණායක මොනවාද යන්න පිළිබඳ කිසිදු සඳහනක් එහි නොමැති වීම ය.
 
ව්‍යවස්ථා ප්‍රශ්නයක් ?

ව්‍යවස්ථාවේ සියලු කරුණු එකින් එක අර්ථකතනය කළ නොහැකි බවද සත්‍යයකි. එය නීතිමය සහ සදාචාරමය පසුබිම් වලින්ද බැඳී පවතී. උදාහරණයක් ලෙස මේ සමාව ලබන පුද්ගලයා රටේ අනාගත පැවැත්මට සෘජු දායකත්වයක් ලබා දිය හැකි, ඔහුට සමාව දෙන ලෙස රටෙන් බරපතළ ලෙස ඉල්ලීමක් සහිත, යම් වරදක් කළද, ඊට වඩා සමාජ යහපත කළ හැකි අයෙකු සැලකිය හැකිය. එවැනි ඉල්ලීමක් සලකා බැලීමට ජනාධිපතිවරයා බැඳී සිටී. එහෙත් මේවා එහෙම ඒවා නොවේ. ගනුදෙනු ය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.