ගොවි පවුල් වෙනුවෙන් දුන් ඩොලර් මිලියන 82ක ව්‍යාපෘතිය වතුරේ : තවම මොකුත් කරන්න බැරි වුණා – කෘෂිකර්ම ඇමති

ගොවි පවුල්වල ආර්ථිකය නගාසිටුවීම සඳහා පසුගිය වසරේ ආරම්භ කරන ලද SARP – Small Holder Agribusiness and Resilience Project නම් ව්‍යාපෘතියෙන් මෙතෙක් කිසිවක් සිදු කර නැති බව අනාවරණය වේ.

වැටුප් සහ වරප්‍රසාද පමණයි

විදේශ ආධාරවලින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියට ඇමෙරිකානු ඩොලර් මිලියන 82ක් වෙන් කොට ඇත. ව්‍යාපෘතිය සඳහා බඳවාගෙන ඇති ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාට රුපියල් 167,000ක වැටුපක් සමග නිල වාහනයක් ඇතුළු වරප්‍රසාද රැසක් ලබාදෙමින් තිබේ.එහෙත් ඔහුට මෙතෙක් රාජකාරි පවරා නැති අතර, අදාළ ව්‍යාපෘතිය සඳහා කාර්‍යමණ්ඩලය බඳවාගැනීමක් ද විධිමත්ව සිදු වී නැත. එහෙත් අවිධිමත් ලෙස විවිධ පුද්ගලයන්ට මේ ව්‍යාපෘතියේ නමින් වැටුප් සහ වරප්‍රසාද ලබාදෙමින් සිටින බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

විදේශ රටවල අප්‍රසාදය

විදේශ ආධාර මත පමණක් ක්‍රියාත්මක ව්‍යාපෘති 7ක් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතී. මේ අතරින් බහුතරයක කටයුතු විධිමත්ව සිදු නොවන බවත්, එම නිසා අදාළ ආධාර ලබාදුන් රටවල් දැඩි අප්‍රසාදය පළකර ඇති බවත් අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

‘තොරතුරු නම් ඉල්ලුවා’

මේ සම්බන්ධයෙන් විමසීමේදී කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර සඳහන් කළේ අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේදී එවැනි අඩුපාඩු ඇති බව තමන්ට ද වාර්තා වී ඇති බවයි. එසේ නම් ඒ පිළිබඳව ගත් පියවර මොනවද යනුවෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැතත්, තමන් ඒ පිළිබඳ සියලු විස්තර ලබාදෙන ලෙස දැනුම් දී ඇති බවයි.

පරණ ලේකම් ආපහු එයි

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම් ධුරයට ජනාධිපතිවරයා විසින් පත්කර ඇති එම්.බී.ආර්.පුෂ්පකුමාරගෙන් මේ ව්‍යාපෘති සම්බන්ධයෙන් විමසීමට උත්සාහ කළ ද, එය ව්‍යර්ථ වූයේ ඔහු රැස්වීම්වල සිටින බව දුරකතනයට පිළිතුරු දුන නිලධාරියා පැවසීම නිසා ය. මෙම නව ලේකම්වරයා යනු ආන්දෝලනාත්මක කාබනික පොහොර තීරණයට විරෝධය පළකිරීම නිසා එවකට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සමග ගැටීමෙන් පසු, ඉවත් වූ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරුන් 5 දෙනා අතරින් මුලින්ම ඉවත් වූ ලේකම්වරයා ය. ඔහු යළිත් එම තනතුරට පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published.