මහින්දගේ ඥාතියාගේ ගනුදෙනුවට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය නෑ : නීතිවිරෝධීව ගනුදෙනුව දිගටම !

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මෙට්‍රො ශාඛාව (අලෙවි අංශය) රුපියල් ලක්ෂ 9ක මාසික කුලියකට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ඥාතියකුට අයත් ගොඩනැගිල්ලකට ගෙනයෑමේ අත්තනෝමතික ගනුදෙනුවට සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබී නැත.

පසුගිය 16දා පැවති රක්ෂණ සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මේ ගනුදෙනුව ප්‍රතික්ෂේප වී තිබේ. එහෙත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ යළිත් මෙය ඊළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කොට අනුමැතිය ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවයි. ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරියා බව ද වාර්තා වේ.

මේ වන තෙක් අනුමැතිය නොගත් ගනුදෙනුවක් සඳහා සංස්ථාව මගින් රුපියල් ලක්ෂ 600ක අත්තිකාරම් මුදල් ගෙවා ඇත.

මේ අතර මෙම ගනුදෙනුවට විරෝධය පළකරන සංස්ථා සේවකයන්ට මීට පෙර සභාපති විජිත හේරත් පවසා තිබුණේ මෙය නැවැත්වීමේ හැකියාව පිළිබඳ සොයාබලන බවයි. එහෙත් පසුව සංස්ථා සභාපතිවරයා අදාළ ස්ථානයට ගොස්, එහි සිටි පිරිසට පවසා ඇත්තේ කුලී ගොඩනැගිල්ලේ ඇති අඩුපාඩු කඩිනමින් සකස් කර දෙන බවයි.

මේ සම්බන්ධයෙන් ‘ලංකා’ මීට පෙර පළ කළ ප්‍රවෘත්ති පහත දැක්වේ.

2022 ජුනි 06

රක්ෂණ සංස්ථාවෙන් මහින්දගේ ඥාතියාට මාසිකව ලක්ෂ 9ක් : ඇඩ්වාන්ස් ලක්ෂ 600ක් !

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මෙට්‍රො ශාඛාව (අලෙවි අංශය) මාසිකව රුපියල් ලක්ෂ 9ක කුලියකට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ඥාතිවරියක වන, හිටපු ආණ්ඩුකාර කුමාරි බාලසූරියට අයත් ගොඩනැගිල්ලකට අද (06) ගෙන ගොස් තිබේ.

මෙවැනි උත්සාහයක් පවතින බව අපි පසුගිය 02දා අනාවරණය කළෙමු. ඉන් දිනකට පසු, එනම් පසුගිය 03දා මීට අදාළ ගිවිසුම් අත්සන් කර ඇත. ගොඩනැගිල්ල සඳහා අත්තිකාරම් ලෙස රුපියල් ලක්ෂ 600ක් ගෙවා තිබේ. එය කුලී පදනම මත ලබාගෙන ඇත්තේ වසර 5ක කාලයකට ය.

මෙසේ අදාළ ශාඛාව කොළඹ, වොක්ෂෝල් වීදියේ පිහිටි රක්ෂණ සංස්ථා ගොඩනැගිල්ලෙන් ඉවත් කර ඇත්තේ කිසිදු පිළිගත හැකි හේතුවක් නොදක්වමිනි. මේ වනවිටත් එම ගොඩනැගිල්ලේ 4, 6 සහ 13 මහල් හිස් ව පවතී.

මෙසේ කුලී ගොඩනැගිල්ලකට ගෙන ගොස් ඇති අලෙවි අංශයේ 400කට ආසන්න සේවක පිරිසක් සේවය කරති. මෙම අත්තනෝමතික ගනුදෙනුව පිළිබඳව සංස්ථා සේවකයන් විසින් ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු බලධාරීන් දැනුවත් කර ඇතත්, ඔවුන් ඊට අදාළ ව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත.

2022 ජුනි 02

රක්ෂණ සංස්ථා මෙට්‍රො ශාඛාව හිටපු ඇමතිවරයෙකුගේ ගොඩනැගිල්ලකට : මගෙ නෙමෙයි ඒක අම්මගෙ – හිටපු ඇමති තාරක බාලසූරිය

කොළඹ වොක්ෂෝල් වීදියේ පිහිටි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා ගොඩනැගිල්ලේ 10 වැනි මහලේ ස්ථාපිත, සංස්ථාවේ මෙට්‍රො ශාඛාව කුලී පදනම මත හිටපු ඇමතිවරයකුට අයත් ගොඩනැගිල්ලකට ගෙන යෑමට තීරණය කර තිබේ.

බොරැල්ල, සුසමයවර්ධන විද්‍යාලය ඉදිරිපිට පිහිටි මෙම ගොඩනැගිල්ලට දැනටමත් රුපියල් මිලියන 60ක අත්තිකාරම් මුදල් ගෙවා ඇතැයි සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මීට පෙර හිටපු සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මේ තීරණය ගෙන ඇති අතර, එය නව සභාපතිවරයා ද අනුමත කර තිබෙන බවයි.

කෙසේ වෙතත් සංස්ථා ගොඩනැගිල්ලේ 10 වැනි තට්ටුව මෙසේ හිස් කිරීමට උත්සාහ දරන්නේ එහි 4 සහ 6 තට්ටු හිස් ව තිබියදී වීම ද විශේෂත්වයකි.

මවගේ ව්‍යාපාරලු

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු ඇමති තාරක බාලසූරිය පැවසුවේ එම ගොඩනැගිල්ල සිය මවට අයිති බවයි. මවගේ ව්‍යාපාරික කටයුතුවලට තමන් මැදිහත් නොවන බවත්, එම ගොඩනැගිල්ල පිහිටා ඇති ස්ථානය පවා තමන් නිශ්චිතව නොදන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මට වගකීමක් නෑ – හිටපු සභාපති

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු සභාපති, වර්තමාන ඉතාලි තානාපති ජගත් වැල්ලවත්ත මේ සම්බන්ධයෙන් තමන්ට වගකීමක් නැති බව අප කළ විමසීමේදී පැවසීය. සංස්ථාවේ අංශ ගොඩනැගිල්ලෙන් පිටතට ගෙන යෑම පිළිබඳ සාකච්ඡාවක් පැවතුණද, ඊට අදාළ අවසන් තීරණයක් හෝ මෙවැනි අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් තමන් සභාපති ධුරය දරන කාලයේ ඉදිරිපත් නොවූ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පසුව යළිත් අප ඇමතූ ඔහු සඳහන් කළේ මෙය ඔහුට පෙර සිට ක්‍රියාත්මක වෙමින් පැවති කළමනාකරණ තීරණයක් බව මේ පිළිබඳ සොයාබැලීමේදී තමන්ට වාර්තා වූ බවයි.

දැන් සභාපති නිහඬයි

මේ තීරණය පිළිබඳ වර්තමාන වගකීම දරන ශ්‍ර්‍රී ලංකා රක්ෂණ සංස්ථා සභාපති විජිත හේරත් සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළද, එය ව්‍යර්ථ විය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.