“ඉන්ධන බෙදන්නෙ මෙන්න මෙහෙමයි” ජනපති කියයි

දැනට ලැබී ඇති සහ ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා ඉන්ධනහල් වෙත බෙදාහැරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දෙයි.
මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව එක් ව රාජ්‍ය සහ පෞද්ගලික බැංකු දායක කර ගෙන ප්‍රමාණවත් ඉන්ධන තොග ඇණවුම් කිරීමට පහසුකම් සපයමින් ණයවර ලිපි නිකුත් කිරීම සඳහා සැලසුම් සකස් කළ යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
පෙට්‍රල්, ඩීසල්, ගෑස් බෙදාහැරීම සහ ආනයනය සම්බන්ධයෙන් අද (17) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ඉන්ධන බෙදාහැරීමේදී පොදු ප්‍රවාහනය සඳහා ප්‍රමුඛතාව වන අතර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පිරවුම්හල් යොදා ගනිමින් පෞද්ගලික හා සංචාරක බස්රථ සහ පාසල් වෑන් රථවලට පොලිසියේ අධීක්ෂණය යටතේ ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා පවසයි.
අනිකුත් අත්‍යවශ්‍ය සේවා සඳහා හඳුනා ගත් ඉන්ධන පිරවුම්හල් වෙතින් ඉන්ධන අඛණ්ඩව නිකුත් කිරීමටත්, පිරවුම්හල් වෙත යුද හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සැපයීමටත් තීරණය කර තිබේ.
පවතින ගෑස් තොග ක්‍රමානුකූලව බෙදාහැරීමටත් ප්‍රමාණවත් ගෑස් තොග කඩිනමින් ඇණවුම් කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන, මහජන ආරක්ෂක ලේකම් එස්. හෙට්ටිආරච්චි, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන පිරිස සහ, ආරක්ෂක, ඉන්ධන, විදුලිබල සහ ගෑස් පිළිබඳ ආයතනවල ප්‍රධානිහු මේ අවස්ථාවට එක් ව සිට ඇත.

 
 

සබැඳි

Leave a Reply

Your email address will not be published.