නොඉල්ලූ යෝජනා හෙවත් Unsolicited Proposals වලට ලොල් වූ ලංකාවේ පාලකයෝ …

ලංකාවේ ජාතික භෞතික සංවර්ධන සැලැස්ම 2017-2050 ගැසට් කොට ප්‍රකාශයට පත්වන්නේ 2019 ජුනි මස 12 වන දින අංක 2127/15 දරණ ගැසට් පත්‍රයෙනි. ජාතික සැළසුම් කවුන්සලය විසින් අනුමත සැලැස්ම අනුව රටේ සංවර්ධන කටයුතු සැලැසුම් කොට ක්‍රියාත්මක කිරීම තුල ප්‍රධාන අරමුණ වූයේ 2050 වන විට ලංකාව සංවර්ධිත රටක් බවට පත්කිරීමයි. එම සැලැස්ම අනුව රටේ සංවර්ධන ක්‍රියාවලිය සිදුවූවා නම් අද වන විට රට කෙතරම් ඉදිරියට ගොස් තිබෙන්නට ඉඩ තිබුණා ද? එහෙත් ලංකාවේ පාලකයන් මේ සැලසුම් පයිසයකට වත් මායිං නොකොට ඔවුන්ට වාසි ගෙන දෙන නොඉල්ලූ යෝජනා (Unsolicited Proposals ) හරහා යටිතල පහසුකම් සංවර්ධන කටයුතු වලට මුල් තැන දීම තුල අද වන විට ලංකාව පත්වී තිබෙන තත්වය පිළිබඳව ඔබට අමුතුවෙන් කිවයුතු නැත. විශාල වශයෙන් ණය වී අනාර්ථික ව්‍යාපෘති වල ආයෝජනය කිරීම තුල විශේෂයෙන්ම 2005-2015 මහින්ද රාජපක්ෂ පාලනය තුල ලබා ගත් ව්‍යාපෘති ණය අද පවතින අනුපාතය අනුව ඩොලර් බිලියන 60කට වැඩි වන අතර රටේ ජනයා මේ වන විට ගෙල හිරකොට හාමතේ මැරෙන තත්වයට පත්කොට ඇත. වර්තමාන අර්බුදය කොතරම් උග්‍ර වුවත් පාලකයන් තවමත් බලයේ එල්ලී සිටීමට දරණ විවිධ සටකපට උස්සාහයන් පිළිකුලෙන් බැහැර කල යුතුය.
1. මොනවාද මේ නොඉල්ලූ යෝජනා (Unsolicited Proposals)?
සාමාන්‍යයෙන් සිදුවන්නේ අමාත්‍යාංශයක් යම් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක් හඳුනාගැනීමෙන් අනතුරුව අදාළ ව්‍යාපෘතිය සම්බන්ධව ආර්ථිකමය හා මූල්‍යමය යෝග්‍යතාවය (Economic & Financial Viability ) විස්තර කරමින් අදාළ ඇමැති වරයා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරනවා. මූලික අනුමැතිය ලැබීමෙන් පසුව අවශ්‍ය වන්නේ නම් මුදල් අමාත්‍යාංශය, අනෙකුත් අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු වල නිරීක්ෂණ කැඳවීමෙන් අනතුරුව ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා විධිමත් කැබිනට් අනුමැතිය ලැබෙනවා. ඒ අනුව, ව්‍යාපෘති කමිටුවක් (Project Committee ) පත්කොට ව්‍යාපෘති යෝජනා කැඳවීමේ (Request for Proposals ) ලිපිය සකස් කිරීමට බලය පවරනවා. ඔවුන් විසින් විස්තරාත්මක RFP ලියවිල්ල සකස් කොට අදාළ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ආයෝජකයන් ගෙන් ව්‍යාපෘති යෝජනා කැඳවීමට කටයුතු කරනවා. කිසියම් ව්‍යාපෘති යෝජනාවක් තෝරා ගැනීමේදී අදාල වන සියළුම කොන්දේසි හා පටිපාටීන් RFP ලියවිල්ලේ සඳහන් වීම හේතුවෙන් එය ඉතා වැදගත් පත්‍රිකාවක් බවටයි සලකන්නේ. එහිදී , රටේ අවශ්‍යතාව අනුව වඩාත් සුදුසු හා ගුණාත්මක බවෙන් ඉහළ (Value for Money) ආයෝජන සහ ව්‍යාපෘතීන් තරඟකාරී ටෙන්ඩර් ක්‍රමවේදයක් (Competitive Bidding ) හරහා තෝරාගැනීමට හැකිවෙනවා.
එහෙත්, නොඉල්ලූ යෝජනා හෙවත් Unsolicited Proposal ඉදිරිපත් කිරීමේදී සිදුවන්නේ තරඟකාරී ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ආයෝජකයා විසින් යෝජනා කරන ව්‍යාපෘතියක් අදාල ඇමැති වරයා විසින් කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් මගින් ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගෙන ක්‍රියාත්මක කිරීමයි. මෙම යෝජනා හරහා පහසුවෙන්ම මූල්‍ය වංචා කිරීමට අවස්ථාව තිබෙනවා. මෙහිදී RFP කැඳවීමක් සිදු නොවන අතර විශේෂයෙන්ම ලංකාවේ බොහෝ ව්‍යාපෘති සිදුවන්නේ Unsolicited Proposals හැටියටයි. යම් අවස්ථාවල ඇමැති වරුන් විසින් කැබිනට් මණ්ඩලයේ ආවරණ අනුමැතියට යටත්ව පවා ව්‍යාපෘති සඳහා ගිවිසුම් ගත වීම් සිදුවෙනවා. මෑතක සිදුවූ එවැනි යෝජනා කිහිපයක් නම් බැසිල් රාජපක්ෂ මුදල් ඇමැති සමයේ ඉන්දියාවෙන් ණයක් ලබා ගැනීමට පෙර ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට පැවැරීමට අත්සන් කල ගිවිසුම කැබිනට් අනුමැතියකින් තොරව සිදුවූ ගනුදෙනුවක්. එවගේම, බැසිල් රාජපක්ෂ විසින් යුගධනවි විදුලි බලාගාරය අමෙරිකානු සමාගමට විකිණීමේදි නිසිපරිදි කැබිනට් අනුමැතිය ලබාගෙන නොතිබූ බව වාර්තා වුනා ඔබට මතක ඇති. මේ ආකාරයට ව්‍යාපෘති තේරීමේදි , රටේ ජාතික භෞතික සංවර්ධන සැලැස්මට අනුකූලද නැද්ද, රටේ ආර්ථික සංවර්ධනයට කොතරම් දායක වන්නේද නැද්ද යන්න සලකා බලනවාට වඩා ඔවුන් සැලකිලිමත් වන්නේ තමන්ට කොපමණ කොමිස් මුදලක් ලැබෙනවාද නැද්ද යන්නයි.
2. බොහෝ යුරෝපීය රටවල් සහ විශේෂයෙන්ම එංගලන්තය වැනි රටවල් Unsolicited Proposals පිළිගන්නේ නැහැ. එහෙත් සැම්බියාව, ඉක්වදෝරය සහ අප්‍රිකානු කලාපයේ බොහෝ රටවල් මෙන්ම පකිස්තානය, ශ්‍රී ලංකාව වැනි ආසියානු රටවල් Unsolicited Proposal හරහා ආයෝජන මුවාවෙන් ණය ලබා ගෙන අද වන විට චීන ණය උගුලේ හිරවී මරණාසන්නව සිටිනවා.
2005-2015 පාලන සමයේ මහින්ද රාජපක්ෂ චීන රජයෙන් ලබා ගත් Unsolicited Proposals යටතේ ක්‍රියාත්මක කල අනාර්ථික ව්‍යාපෘති කිහිපයක් ඔබගේ දැනගැනීමට පහත දක්වා තිබෙනවා ;
a. දකුණු අධිවේගී මාර්ගයේ දිගුව – ඩොලර් මිලියන 804
b. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ – ඩොලර් මිලියන 429.9
c. දකුණු අධිවේගී මාර්ගයේ බෙලිඅත්තේ සිට වැටිය දක්වා දිගුව – ඩොලර් මිලියන 412
d. හම්බන්තොට සිට මත්තල ගුවන් තොටුපළ දක්වා අධිවේගී මාර්ගය -ඩොලර් මිලියන 412
e. හම්බන්තොට ජාත්‍යන්තර කේන්ද්‍ර මාර්ග සංවර්ධනය – ඩොලර් මිලියන 252.5
f. නෙළුම් කුළුණ – ඩොලර් මිලියන 104.3
g. හම්බන්තොට වරාය – ඩොලර් බිලියන 1.4
h. හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව – ඩොලර් ම්ලියන 15.3
මෙවැනි ව්‍යාපෘති තවත් රාශියක ලැයිස්තුවක් ඉදිරිපත් කල හැකියි. මේ ව්‍යාපෘති සියල්ලම පාහේ සුදු අලි. හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව , ගුවන් තොටුපළ කිසිදු ආදායමක් නැති ව්‍යාපෘති. හම්බන්තොට ඉදිකොට ඇති ලේන් 6 මාර්ග වල වාහන කෙසේ වෙතත් වල් අලි රංචු ගැවසෙනවා මා දැක තිබෙනවා. රාජපක්ෂලා ඩොලර් බිලියන ගනනක් මේවා හරහා හොරකම් කල බව අමුතුවෙන් කිවයුතු නැහැ. අද අපි මේ පෝලිම් වල දින ගණන් ගෙවන්නේ ඔවුන් විසින් කල පාප කර්මයයි.
3. පසුගිය දිනෙක කෝප් කමිටුවේදි හෙළිදරව් වු ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට සැලසුම් කොට ඇති සුලං සහ සුර්ය විදුලි බලාගාර ව්‍යාපෘතියද Unsolicited Proposal එකක් බව ඔබ දන්නවා ඇති. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ජනාධිපති ගෝටාභය රාජපක්ෂට බලපෑම් කල බව විදුලි බල මණ්ඩලයේ සභාපති එම්. සී. ෆර්ඩිනැන්ඩු කෝප් (COPE) කමිටුවේදී හෙළිදරව් කිරීම තුල ඉන්දීය රජය දැඩි අපහසු තාවයකට පත්වී තිබෙන බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කොට තිබුණා. අවසානයේ ෆර්ඩිනැන්ඩු තනතුරෙන් පන්නා දැමීමට ගෝටාභය රාජපක්ෂ කටයුතු කලා. මේ වන විට චීනය අනුගමනය කරනු ලබන Debt Trap Diplomacy (ණය උගුල් රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේදය) ඉන්දියාවද. ආරම්භ කොට තිබෙනවා . දකුණු කොළඹ ජැටිය අදානි සමාගමට ලබා දීම , ත්‍රීකුණාමල තෙල් ටැංකි ඉන්දියානු තෙල් සමාගමට (IOC) ලබා දීම වගේම මේ දිනවල ලබා දෙන ණයට ඇප වශයෙන් පූනරීන්, මන්නාරම සහ ඩෙල්ෆ්ට් දූපත් අදානි සමාගමට ලබා දීම තුල ඩොලර් මිලියන ගනනක කොමිස් හුවමාරු වූ බව මාධ්‍ය වාර්තා කොට තිබුණා .
ජනතාවනි, ඔබලා තවත් බලාසිටින්නේ තව මොනවා විකුණා දමන තුරුද? මේ ආකාරයට නොඉල්ලූ යෝජනා (Unsolicited Proposals ) හරහා රටේ දේපළ විකුණා දමා ඔවුන් තම බලය තවදුරටත් පවත්වාගෙන යෑම තුල අනාගතයේ අපිට මිනීවල කපාගැනිමට අඩි හතරක බිම් කඩක් පවා අහිමි වීම නොවැළැක්විය හැකිය. එම නිසා මේ දේපළ නැවත ජනසතු කිරීමට උවමනාව සහ හැකියාව තිබෙන ජනතාවාදී රජයක් බිහිකර ගැනීමට දැන්වත් අධිටන් කරගනිමු.
– ශාන්ත ජයරත්න
ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
SLIDA
චක්‍රලේඛ බිඳ වන අරණ සිඳින හැටි
 

සබැඳි

Leave a Reply

Your email address will not be published.