පොලිස් ආඥා පනත උල්ලංඝනය කිරීම : දේශබන්දුට එරෙහිව පෞද්ගලික පැමිණිල්ලක් !

අරලියගහ මන්දිරය ඉදිරිපිටදී සහ ගෝල්ෆේස්හිදී සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජකාරිය පැහැරහැරීමේ චෝදනාව මත බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෞද්ගලික පැමිණිල්ලක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (15) ඉදිරිපත් වී තිබේ.
පසුගිය මැයි 09 දා අරලියගහ මන්දිරය ඉදිරිපිටදී පහර කා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර සිටි ව්‍යාපාරිකයෙකු වන සෙයිඩ් මොහොමඩ් නියාස් මවුලානා මෙම පෞද්ගලික පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් නීතීඥ අචලා සෙනෙවිරත්න අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත්තේ තම සේවාදායකයා සම්බන්ධ මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මාරු කරන ලෙසයි.
ගෝල්ෆේස් ප්‍රහාරය සම්බන්ධයෙන් නඩුව මෙම අධිකරණය ඉදිරියේ නොකැඳවන ලෙස ඉල්ලමින් අධිකරණ සේවා කොමිෂන් සභාවට පෙත්සමක් ඉදිරිපත් කළ නීතීඥවරුන් අතර තමන් ද සිටින බැවින් නඩුව මෙම අධිකරණයේ විභාග කිරීමෙන් තම සේවාදායකයාට අගතියක් වනු ඇතැයි නීතිඥවරිය අධිකරණයට දැනුම් දී ඇත.
මෙහිදී ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ මැදිහත්වීමක් නිසා සංවාදාත්මක තත්ත්වයක් ද ඇති වී තිබේ. මහේස්ත්‍රාත්වරයා විශ්වාසය පිළිබඳව කළ ප්‍රශ්න කිරීමකට සෘජු ව පිළිතුරු දෙමින් නීතිඥ අචලා සෙනෙවිරත්න පවසා තිබුණේ එවැනි ගැටළුවක් පවතින බවයි.
අවසානයේදී පැමිණිල්ලේ ඉල්ලීම පරිදි මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
මැයි 9දා අරලියගහ මන්දිරය ඉදිරිපිටදී සිදුවූ සිද්ධියේදී දරුණු ලෙස පහර කෑමට ලක්ව තුවාල ලබා තමන් රෝහල් ගත කළ බවත්, බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය රාජකාරිය නිසි අයුරින් ඉටු කළේ නම් තමන් එසේ පහර කෑමට ලක්නොවනු ඇති බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් කියා තිබේ.
මෙම නිලධාරියා සිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකර පොලිස් ආඥා පනතේ 56, 82, 83 යන වගන්ති උල්ලංඝනය කර ඇති බවත්, ඒ හේතුවෙන් එම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published.