අත්‍යවශ්‍ය ඖෂධ වෙනුවෙන් වෛද්‍ය සාෆිගේ හිඟ වැටුප : සම්පූර්ණ කතාව මෙන්න !

අනිවාර්‍ය නිවාඩු යවා සිටි වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් නිවැරදිකරු බව තහවුරු වීමෙන් පසු, ඔහුට හිමි හිඟ වැටුප් ගෙවීමට කටයුතු කෙරිණි.
එසේ ලද ලක්ෂ 26කට වැඩි හිඟ වැටුප අත්‍යවශ්‍ය ඖෂධ මිලදීගැනීම සඳහා වෛද්‍යවරයා විසින් පරිත්‍යාග කරන පුවත සමාජ මාධ්‍යයේ අද (13) දිනය පුරා සීග්‍රයෙන් බෙදාහැරෙමින් තිබේ.
මේ වෛද්‍ය සාෆිගේ සම්පූර්ණ කතාවයි.
මාධ්‍ය වගකීම
2019 මැයි 23 වැනිදා දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වූයේ “තවුහිත් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳකරලා – සාක්කි සහිතව හෙළිදරව් වෙයි – දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ” යන්නයි. ඒ වන විට පාස්කු ප්‍රහාරයෙන් ගතවී තිබුණේ මාසයක් පමණි. පාස්කු ප්‍රහාරයට මුස්ලිම් ජාතිකයන් කිහිප දෙනකු ප්‍රහාරකයන් ලෙස සම්බන්ධ වීම නිසා සමස්ත මුස්ලිම් ප්‍රජාව දෙසම සැකෙන් බලන තත්ත්වයක් උදාවී තිබිණි.
ඒ වන විට සේගු ශිහබ්දීන් මොහොමඩ් ශාෆි කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයකු ලෙස සේවය කරමින් සිටියේය. ඔහුගේ බරිඳ ද එම රෝහලේ වෛද්‍යවරියක් ලෙස සේවය කළාය. ඇයට ලැබුණු හදිසි ස්ථාන මාරුවකදී රෝහල් පරිපාලනයේ යම් තීන්දුවක් නිසා එවකට රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂව සිටි චන්දන කැඳන්ගමුව සහ වෛද්‍ය සාෆි අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී තිබිණි. එම වචන හුවමාරුවෙන් පසු සාෆිට එරෙහිව විවිධ ප්‍රචාර යන්නට විය.
වඳ නාටකයේ ආරම්භය
වඳ නාටකයේ පළමුවැනි අඬහැරය තබන්නේ එවකට කුරුණෑගල දිසා භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාය. නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ද එවකට කුරුණෑගල රෝහලේම වෛද්‍යවරියක් වූවාය. නියෝජ්‍ය පොලිස්පතිවරයා 2019 මැයි 12 වැනිදා කුරුණෑගල පොලිස් අධිකාරීවරයාට ඩීඅයිජී/කේයූ/ආර්අයියූ/134/19 අංකයෙන් ලිපියක් යොමු කරමින් වෛද්‍ය සාෆි තවුහිත් ජමාත් සංවිධානයට අයත් බව සහ තවත් දෑ සඳහන් කර විමර්ශනයක් සඳහා උපදෙස් ලබාදුන්නේය. තවුහිත් ජමාත් සංවිධාන ශ්‍රී ලංකාවේ කිහිපයක්ම තිබුණද සාෆි ඒ කුමන තව්හිත් ජමාත් සංවිධානයට අයත්දැයි සඳහන් කර නොතිබිණි.
කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා 2019 මැයි මස 22 වැනි දා කුරුණෑගල මහේස්ත‍්‍රාත්වරයා ඉදිරියේ නඩු අංක බී 1398/19 යටතේ කරුණු වාර්තා කරමින් විමර්ශනයක් ආරම්භ කළේය.
විමර්ශනය ආරම්භ කරන බවට කරුණු වාර්තා කළ දිනට පසු දින දිවයින පුවත්පතේ ප්‍රධාන පුවත වූයේ වූයේ “තවුහිත් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳකරලා – සාක්කි සහිතව හෙළිදරව් වෙයි – දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ” යන්නයි. ඒ සමඟම සිදුවීම ගැන පාර්ලිමේන්තුවේ පවා කතා කරන්නට පටන් ගත් අතර මේ ගැන විමර්ශනයක් සිදු කරන්නැයි එවකට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාට දැනුම් දුන්නේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එහි අධ්‍යක්ෂවරයා මෙම විමර්ශන සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා යටතේ සමූහ මංකොල්ල විමර්ශන අංශයට පැවරීය.
විමර්ශන ආරම්භ කිරීමට එම ‘දිවයින’ ප්‍රවෘත්තියේ නමක් ගමක් සඳහන් වී නොතිබුණු නිසා සමූහ මංකොල්ල විමර්ශන අංශය 2019 මැයි 25 වැනි දා රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස එම ප්‍රවෘත්තිය පළ කළ දිවයින පුවත්පතේ මාධ්‍යවේදී හේමන්ත රන්දුණුට සහ එහි ප්‍රධාන කර්තෘට දැනුම් දුන්නේය. ඒ විමර්ශනය ආරම්භ කිරීමට වෛද්‍යවරයා සහ ප්‍රදේශය ගැන නිශ්චිත තොරතුරක් ලබා ගැනීම සඳහාය. පුවත්පත්වල විශේෂ අනාවරණයක් කළ අවස්ථාවන්හිදී ඒ ඔස්සේ විමර්ශන ආරම්භ කිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ගෙන් පළමු ප්‍රකාශය සටහන් කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.
මාධ්‍යවේදියා පොලිසියට කැඳවීමත් සමඟ තත්ත්වය සංකීරණ වන බව කුරුණෑගල පොලිස් ලොක්කෝ දැනගත්හ. ඊට හේතුව මාධ්‍ය මගින් මෙය ප්‍රචාරය කළ ද ඒ වන විට කිසිම පැමිණිල්ලක් නොතිබීමයි.
සාෆි අත්අඩංගුවට
පොලිසිය කඩිමුඩියේ ක්‍රියාත්මක වී මාධ්‍යවේදියා රහස් පොලිසියට යෑමට පෙර සාෆි වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට තීරණය කළේය. 2019 මැයි 24 වැනි දා කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක මගින් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පලාල්ට වෛද්‍ය සාෆි ශිහබ්දීන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් දුන්නේය.
එම නියෝගය අනුව පොලිස් පරීක්ෂක පුෂ්පලාල් ඇතුළු කණ්ඩායමක් මැයි 24 වැනිදා  රාත්‍රී 10ටවෛද්‍ය සාෆි ශිහබ්දීන් අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට ගත් බව දැනුම් දුන්නේ චෝදනා තුනක් යටතේය. එනම් තවුහිත් ජමාත් සංවිධානයේ මුදල් ලබාගෙන එම සංවිධානයේ අරමුණු ඉටු කිරීම සඳහා සිසේරියන් සැත්කම් කරමින් සිංහල මවුවරුන් වඳ භායට පත් කිරීම එක් චෝදනාවකි. දෙවැනි චෝදනාව අයථා ලෙස උපයාගත් මුදලින් වත්කම් ලබාගෙන ඇති බවයි. තුන් වැන්න නම් ඔහු නිදැල්ලේ සිටියහොත් වෛද්‍යවරයාටත් ඔහුගේ නිවාසවලටත් අලාභයක් ඇති විය හැකි බවයි. තුන්වැන්න චෝදනාවක් නොවූවද පොලිසිය එය චෝදනාවක් සේ සටහන් කර තිබිණි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔහුට එම චෝදනා එල්ල කළ ද ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කර තොරතුරු අනාවරණය කරගෙන තිබුණේ නැත.
අත්අඩංගුවට ගත් සාෆිට එරෙහිව 1979 අංක 48 ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනතේ වගන්ති 7 (1) යටතේ  පැය 72ක් රඳවාගැනීමට කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ඩී එම් යූ මහින්ද දිසානායක කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂකට නියෝග ලබා දුන්නේය.
කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ වෛද්‍යවරයා අත්අඩංගුවට
ගත්තේ අයථා වත්කම් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් ගැන විමර්ශනය කිරීම සඳහා බවට ප්‍රදේශය බාර පොලිස් ප්‍රධානීන් පවසන බවයි. කාන්තාවන් වඳ කිරීමක් සෙවීමට ඔහු අත්අඩංගුවට ගත් බවක් කීවේ නැත. කාන්තාවන් වඳ කිරීමක් ගැන එකදු පැමිණිල්ලක්වත් ලැබී නැති බවට ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානීන් කී බව එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
කුරුණෑගලින් අත්අඩංගුවට ගත් සාෆි විමර්ශන සඳහා රහස් පොලිසියට භාර දෙන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා නියෝග කළේය.
මාධ්‍යවේදියාගේ ප්‍රකාශය
2019 මැයි 25 වැනි දා දිවයින පුවත්පතේ පෙර සඳහන් කළ පුවත ලියූ රන්දුණු අප්පුහාමිලාගේ හේමන්ත අශෝක රන්දුණු මාධ්‍යවේදියා රහස් පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නේය. ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වන්නේ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා තමාට මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් බවයි.
රහස් පොලිසියට වෛද්‍ය සාෆි භාරදීමෙන් පසු සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා ඇතුළු විමර්ශන කණ්ඩායම එහි අධ්‍යක්ෂව සිටි ශානි අබේසේකරගේ උපදෙස් පරිදි  2019 මැයි 27 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවට ගොස් උපදෙස් ලබා ගෙන   වෛද්‍ය සාෆි දින 90ක් රඳවා තබා ගැනීම සඳහා 1979 අංක 48 දරණ ත්‍රස්ථවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනතේ වගන්ති 9 (1) යටතේ ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපතිවරයාගෙන් නියෝග ලබා ගත්තේය.
පැමිණිලි 615න් ළමයි නැත්තේ 147කට
ඉන් පසු රහස් පොලිසිය කුරුණෑගලට ගොස් මව්වරුන් 615කගේ පැමිණිලි සටහන් කර ගත්තේය. එයින් මව්වරුන් 438 දෙනෙකු කියා තිබුණේ තමන් පැමිණිලි කරන්නේ ජනමාධ්‍යවල ගිය තොරතුරු අනුව ඇති සැකයට පමණක් බවයි. මව්වරුන් 147 දෙනකු කියා ඇත්තේ තමන් ළමයින් හදන්නට උත්සාහ කළත් ළමයින් නැති බවයි.
මේ අතර සාෆිට එරෙහිව කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා පැමිණිලි 11ක් රහස් පොලිසියට යොමු කළේය. ඔහු ඒ පැමිණිලි යොමු කළේ එවකට නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන කැඳන්ගමුව කළ විමර්ශනයකින් පසුවය. මීට පෙර සඳහන් කළ පරිදි විමර්ශනය කළ චන්දන කැඳන්ගමුව සමග වෛද්‍ය සාෆි ඊට පෙර බහින්බස් වීමක්ද සිදුව තිබිණි.  වෛද්‍ය සාෆි අතින් යූරීන් නාල කැපීම, වෛද්‍ය සාෆි දරුවකු මාරු කිරීම, සාෆි වෛද්‍යවරයා සැත්කම් කළ පසු බඩේ ගෝස් කැබැල්ලක් තිබීම, වෛද්‍ය සාෆි බලහත්කාරයෙක් එම්එල්ටී සැත්කම් කිරීම යන චෝදනා එම පැමිණිලි 11 තිබිණි.
රෝහල් අධ්‍යක්ෂගේ ‘බොරු’ පැමිණිලි
රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (දැන් අධ්‍යක්ෂ) කළ විමර්ශන වාර්තාවට අදාලව සාෆිට චෝදනා කළ ද එහි ඇති පැමිණිලි කිහිපයක් මෙසේය. (උපුටා ගැනීම වාර්තාවෙන්)
‘බඳින්න කලින් ඔසප්වීමේ අක්‍රමිකතාවක් මත ශල්‍යකර්මයක් කළා. විවාහ වුණේ 2013 වර්ෂයේදී. ලැපරටොමි ශල්‍යකර්මය කර එක නාලයක් අයින් කළා. එම ශල්‍යකර්මය කළෙත් වෛද්‍ය ෂාපි මහතායි. මට සාමාන්‍ය පරිදි දරුවන් ලබන්න බැරි බව වෛද්‍යවරු කියනවා. නල දරු උපතක් මගින් දරුවෙකු ලබා ගැනීමට අවස්ථාව ඉල්ලා සිටිමි.’
‘උදරයේ ඩිම්බකෝෂවල ගෙඩියක් හටගෙන තිබූ බැවින් ශල්‍යකර්මයක් මඟින් ඉවත් කරන ලද අතර, ඉන් පසු ඇතිවූ ශාරීරික අපහසුතා සම්බන්ධ ගැටලුව සහ දරුවකු නොලැබේද යන ගැටලුව’
‘එක් දරුවකු සිටින අතර, බඩේ ගෙඩියක් ඇති බව පවසා ශල්‍යකර්මයකට භාජනය කරන ලදී. ඉදිරියේදී දරුවන් නොමැතිවේද යන ගැටලුව’
‘ගර්භාෂයේ කරන ලද ශල්‍යකර්මයෙන් පසු ඉදිරියේදී දරුවන් ලබා ගැනීමේ ගැටලු’
‘ඩිම්බකෝෂවල වතුර ගෙඩියක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසු විවාහයෙන් පසු ඉදිරියේදී දරුවන් ලබාගැනීමේ හැකියාව පිළිබඳ ගැටලු’
පැමිණිලි කළ බොහෝ කාන්තාවන් දරුවන් හදා ගැනීම සදහා උත්සාහ කළ අයවත් නොවෙති. ඔවුන් පැමිණිලි කර ඇත්තේ ජනමාධ්‍ය මගින් ඇතිකළ බිය නිසාය.
සරත් වීරබණ්ඩාර යොමු කළ පැමිණිලිවල සඳහන් සියලු දෙනාගෙන් සහ එම සිදුවීම්වලට සම්බන්ධ වෙනත් පාරශ්වවලින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු පැමිණිලි 11න් පැමිණිලි 09ක්ම බොරු පැමිණිලි බවට අනාවරණය වීයැයි රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය.
යූරීන් නාල කැපූ බවට කළ පැමිණිල්ල විමර්ශනය කළ රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ යූරීන් නාල කැපුනේ සාෆි අතින් නොව තමාගේ අතින් බවට විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ දුන් බවයි. එම මව අසාධ්‍ය තත්ත්වයේ සිටිය දී ඇය බේරා ගැනීම හදිසියේ කැපුම යොදද්දී අත්වැරදීමකින් එය සිදුවූ බව විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළ බව රහස් පොලිසිය දැනුම් දුන්නේය.
දරුවකු මාරු කළැයි කියන සිද්ධිය ගැන අධිකරණයට කරුණු වාර්තා කළ රහස් පොලිසිය දැනුම් දුන්නේ ස්වාමි පුරුෂයා විදේශ ගතව සිටින කාන්තාවක දරු ප්‍රසූතිය සඳහා කරුණෑගල රෝහලට ඇතුළත් වී ඇති බවයි. හමුදා සෙබළකු සමඟ පැවැති අනියම් සම්බන්ධයක් නිසා මෙම දරුවා  ලැබී ඇති බවත්, දරුවා සමඟ නිවසට ආවොත් තමා මරා දමන බව සැමියා ප්‍රකාශ කර ඇති බවත්, එම රෝහලේම එම්.එල්.ටී නිලධාරිනියක් මෙම දරුවා දරුකමට හදා ගැනීමට කැමැත්ත දැක්වා ඇති බවත් එම කාන්තාවන් දෙදෙනාගේ ප්‍රකාශවලින් අනාවරණය වීයැයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. මෙම දරුවා උපන් වෙලාව ගෙන කේන්දරකරුවකුට දුන් විට මොහු අනාගතයේ වෛද්‍යවරයකු වන බව කීවේයැයි ද, එබැවින් මෙම දරුවා හදා ගැනීමට තීරණය කළේයැයි ද, මේ සම්බන්ධයෙන් මානුෂිකව සලකා බලා  අනාගතයේ දී තමා වෙනත් මවකගේ යැයි දැන ගැනීමෙන් දරුවාට වෙන අපහසුතාවය මග හැරීමට දරුවාගේ මවගේ නම වෙනස් කර දෙන ලෙසත් ඉල්ලා සිටියේයැයි එම කාන්තාව කියා තිබිණි. ඉන් පසු වෛද්‍ය සාෆි එසේ නම් එලෙස කරන ලෙස දැනුම් දුන් බවට ඇය ප්‍රකාශ කළ බවත්, තමා එලෙස දැනුම් දුන් බව සාෆි ප්‍රතික්ෂේප කළ බවත් රහස් පොලිසිය දැනුම් දුන්නේය.
මහේස්ත්‍රාත්ට එරෙහිව පැමිණිලි
මව්වරුන් 147 දෙනාගේ පැලෝපීය නාලවලට හානි විදුවීදැයි සෙවීමට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් ලිඛිතව උදව් ඉල්ලූ බවත්, ඉන් පසු ඔහු ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකු වන අජිත් තෙන්නකෝන්, අජිත් පතිරණ සහ ජානකී කරුණාසිංහ පත් කළ බවත්, ඊට අධිකරණයේ ද අවසරය ලැබුණු බවත් රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය. මෙම මව්වරුන්ගේ පැලෝපීය නාලවලට හානි සිදුවීදැයි සොයා බැලීමට එස්එච්ජී නම් පරීක්ෂණය සිදු කළ යුතු බවත්, ඒ සඳහා කොළඹ කාසල් රෝහල සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පහසුකම් සපයන ලෙසත් රහස් පොලිසිය අධිකරණයෙන් නියෝගයක් ලබා ගත්තේය. ඒ අනුව ජුනි 30 වැනි දා කුරුණෑගල දී මෙම පරීක්ෂණය ගැන මව්වරුන් දැනුම්වත් කිරීමට සායනයක් පැවැත්වීමට වෛද්‍ය මණ්ඩලය තීරණය කළ අතර එම සායනයට මව්වරුන් යොමු කිරීම සඳහා රහස් පොලිසිය ජුනි 27 වැනි දා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියත් අධිකරණය එය තාවකාලිකව අත්හිටුවීය. ඊට හේතුව කුරුණෑගල රෝහලේ එවකට අධ්‍යක්ෂ දන්ත වෛද්‍ය සරත් වීර බණ්ඩාර මහතා කළ කරුණු දැක්වීමකි.
නඩුවේ පාරශ්වකරුවකු නොවන දන්ත වෛද්‍යවරයාගේ එම කරුණු දැක්වීම නඩු වාර්තාවලට ඇතුළත් කර නොතිබිණි. ඒ ගැන රහස් පොලිසියත්, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයත් මහේස්ත්‍රාත්වරයාට විරුද්ධව අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කළේය. පැමිණිලිවල සඳහන් වූයේ මහේස්ත්‍රාත්වරයාගේ බිරිඳ ද එම රෝහලේම වෛද්‍යවරියක බවයි.
ප්‍රසව හා නාරිවේද විෂයේ ප්‍රවීණයෙකු නොවන  කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා අධිකරණයේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ එස්.එච්.ජී පරීක්ෂණය ආසාත්මිකතා ඇතිවන මාරාන්තික විය හැකි පරීක්ෂණයක් බවයි. ඔහුගේ ප්‍රකාශයේ සත්‍යාසත්‍ය බව බැලීමට එස්එච්ජී පරීක්ෂණයෙන් ආසාත්මිකතා ඇතිවීම ගැන පසුගිය වසර පහක තොරතුරු ලබා දෙන ලෙස ප්‍රධාන රෝහල් කිහිපයකට රහස් පොලිසිය දැනුම් දුන්නේය.
රෝහල් අධ්‍යක්ෂගේ තවත් බොරුවක්
රජයේ ශික්ෂණ රෝහල් 12කින් හා පුද්ගලික රෝහල් හතරකින් එච්එස්ජී පරීක්ෂණයට අදාල දත්ත රහස් පොලිසිය ගෙන්වාගෙන තිබුණු අතර ඒවා පරීක්ෂා කරද්දී පෙනී ගොස් ඇත්තේ එම රෝහල් නවයේ අදාල කාල වකවානුවේ එච්එස්ජී පරීක්ෂණ 12,000ක් පමණ සිදු කර ඇති බවයි. එයින් කිසිවකු මිය ගොස් නැති බවත්, බරපතල සංකූලතා ඇතිවී නැති බවත්, හතර දෙනකුට පමණක් හුස්ම ගැනීමේ අපහසුතාවක් ඒ මොහොතේම දැනුනත් එය පසුව හරි ගොස් ඇති බවත් පෙනී ගොස් තිබේ.
මෙම විමර්ශනය සම්බන්ධයෙන් පිටු 210ක  බී වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ විමර්ශනයට අදාලව වෛද්‍යවරුන් 47 දෙනකුගෙන්, හෙදියන් 71 දෙනකුගෙන් සහ සුළු සේවකයන් 18 දෙනකුගෙන් ප්‍රකාශ ලබා ගත් බවයි.
නාල මිරිකීම ගැන සාක්කි නෑ
වෛද්‍යවරුන් 47 දෙනාගෙන් වෛද්‍යවරුන් 43 දෙනකුම සාෆිට එරෙහිව කිසිම චෝදනාවක් නඟා නැත. එක් නිර්වින්දන වෛද්‍යවරියක සාෆිගේ සැත්කම් සැකසහිත බවට වෙනත් අය කීවේයැයි ප්‍රකාශයක් දී ඇති අතර මෙම වෛද්‍යවරිය හා සාෆි අතර මීට ඉහත බහින්බස්වීමක් වී වෛද්‍යවරියට එරෙහිව සාෆි රෝහල් අධ්‍යක්ෂට පැමිණිලි කර තිබිණි. තවත් වෛද්‍යවරයකු කියා ඇත්තේ සිසේරියන් සැත්කම අවසන් වෙද්දී සාෆි සෙසු වෛද්‍යවරුන්ව වෙනත් වැඩවලට යවන බවයි. තවත් වෛද්‍යවරයකු කියා ඇත්තේ සාෆි  නොදන්වා එම්එල්ටී සැත්කමක් කළ බවයි. එම තිදෙනාද ඇතුළුව වෛද්‍යවරු 47 දෙනාම සාෆි පැලෝපීය නාල මිරිකනු දැක්කේ නැති බව ප්‍රකාශ කර තිබේ.
හෙදියන් 71 දෙනා සහ සුළු සේවකයන් ද සාෆිට පැලෝපීට නාල මිරිකූ බවට ප්‍රකාශ ලබාදී නැත.
මේ අතර සාෆි අත්අඩංගුවට ගැනීම ගැන රහස් පොලිසිය  කුරුණෑගල එවකට පොලිස් අධිකාරී මහින්ද දිසානායකගෙන් සාක්කි සම්පිණ්ඩන වාර්තාවක් කැඳවූ අතර 10 දෙනකුගේ සාක්කි සම්පිණ්ඩන වාර්තාවක් මැයි 26 දින SP/PA/4368/19 යටතේ කුරුණෑගල පොලිස් අධිකාරී මහින්ද දිසානායක විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත එවනු ලැබ තිබිණි.
පොලිසිය කූඨ ලේඛන හදලා
පළමු සාක්කිකරු රූපසිංහ ආරච්චිලාගේ චලිතා මධුමාලි රූපසිංහගෙන් 2019 මැයි 24 දින උදේ 9ට (සාෆි අත්අඩංගුවට ගත්දින පෙරවරුවේ) කුරුණෑගල රෝහලේදී ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් අධිකාරීවරයාගේ වාර්තාවේ සඳහන් වෙන බවත්, මුත්‍රා නාල දෙක කැපීම ගැන ඇගේ ප්‍රකාශයේ සඳහන් වන බවත්, මුත්‍රානාල කැපුණේ සාෆි අතින් නොවන බව විශේෂඥ වෛද්‍යවරයාගේ ප්‍රකාශයෙන් සනාථ වූ බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.  මෙම ප්‍රකාශය සටහන් කිරීමට ගිය කුරුණෑගල පොලිස් නිලධාරීන් පිටවීමේ සහ පැමිණීමේ සටහන් තබා නොමැති බව විමර්ශනයේ දී අනාවරණය වී ඇත.
ජයලත්ගේ නාමල් බණ්ඩාර ජයලත්ගෙන් 2019 මැයි 24 දින සවස 4ට නාවුල රෝහලේ දී ප්‍රකාශ සටහන් කර ගත් බවත්, එල්ආර්ටී නොකර ඒ බවට සටහන් ඇතුළත් කිරීමට උපදෙස් දී ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වන බව කුරුණෑගල පොලිස් අධිකාරීවරයා වාර්තා කර තිබිණි. නමුත් රහස් පොලිසිය කළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ එදින නොව ඊට පසු දින එනම් මැයි 25 දින සවස 4ට නාවුල පොලිස් ස්ථානයේ දී බවයි. මේ අනුව ව්‍යාජ දින සහ ස්ථාන යොදා කූඨ  ලෙස පොලිස් ලේඛන සකස් කර ඇතැයි රහස් පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.
ප්‍රියානි ප්‍රියංගියා නන්දසේන නම් විශේෂඥ වෛද්‍යවරියගෙන් 2019 මැයි 24 වැනිදා කුරුණෑගල පොලිස් ස්ථානයේ දී සවස 7ට පැමිණිල්ල සටහන් කරගත් බව කුරුණෑගල පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා වාර්තා කර ඇතත් රහස් පොලිස් පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ඇගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ 2019 මැයි 26 වැනි දා සවස බත්තරමුල්ලේ ඇගේ නිවසේදී බවයි. එම ප්‍රකාශයේ ව්‍යාජ දින යොදා ව්‍යාජ ස්ථාන යොදා පොලිස් සටහන් ව්‍යාජ ලෙස සකසා ඇතැයි රහස් පොලිසිය අනාවරණය කරගෙන තිබේ. සීසීටීවී දර්ශන මගින්ද මෙය සනාත කරගෙන තිබිණි.
හපුආරච්චිගේ ඉනෝකා ප්‍රියදර්ශනීගෙන් 2019 මැයි 24 දහවල් 12ට කුරුණෑගල පොලිස් ස්ථානයේ දී සාක්කි සටහන් කර ගත් බවත්, 2007 වසරෙන් පසු ඇයට දරුවකු නොලැබුණු බව එම ප්‍රකාශයේ ඇති බවත් කුරුණෑගල පොලිස් අධිකාරීවරයා වාර්තා කර තිබේ. ඒ ගැන සොයා බලද්දී රහස් පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ ඇගේ ප්‍රකාශය සටහන් කරගෙන ඇත්තේ 2019 මැයි 25 දින දහවල් 12ට කුරුණෑගල පොලිස් ස්ථානයේදී බවයි. ඒ අනුව එම ප්‍රකාශය ද ව්‍යාජව සකස් කර ඇතැයි රහස් පොලිසිය කියයි.
අබේවර්ධන මුදියංසේලාගේ චාන්දනී නයෝමිකා අබේවර්ධනගෙන් මැයි 24 වැනි දා දහවල් 12.30ට ප්‍රකාශ සටහන් කර ගත් බවත්, 2011 වසරෙන් පසු දරුවන් නොලැබීම ගැන ඇය පැමිණිලි කර ඇති බවත් පොලිස් අධිකාරීවරයා දැනුම් දුන්නද එම පැමිණිල්ල සටහන් කරගෙන ඇත්තේ ද මැයි 25 වැනිදා බව රහස් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ජයලත්ගේ ප්‍රසන්තිකාගෙන් මැයි 24 ප්‍රකාශ සටහන් කර ගත් බවත්, 2010 වසරෙන් පසු ඇයට දරුවන් නැති බව ප්‍රකාශ කළ බවත් පොලිස් අධිකාරීවරයා වාර්තා කළ ද එම ප්‍රකාශය සටහන් කරගෙන ඇත්තේද මැයි 25 දින බව රහස් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
අතපත්තු මුදියන්සේලාගේ ගංගානි දේවිකා මැයි 24 ප්‍රකාශයක් දෙමින් 2009 වසරේ සිට ළමයින් නැති බව ප්‍රකාශ කළේයැයි පොලිස් අධිකාරී වාර්තා කළ ද ඇගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ මැයි 25 දින දවල් 1.30ට බව රහස්පොලිසිය අධිකරණයට වාර්තා කළේය.
මේ අනුව සාෆි අත්අඩංගුවට ගැනීමට පෙර සටහන් කර ඇති බවට මූලිකව විශ්වාස කළ හැක්කේ එක් පැමිණිල්ලක් පමණක් බවත්, ඉතිරි පැමිණිලි නවයම සාෆි අත්අඩංගුවට ගැනීමෙන් පසු සටහන් කරගෙන ඇති බවත්, සාෆි අත්අඩංගුවට ගැනීමට පෙර කළැයි කියන පැමිණිල්ල වන්නේ මුත්‍රානාල කැපීම බවත්, ඊට  අදාලවද පොලිසිය විමර්ශනය කර නැති බවත්, විමර්ශනය කළේ නම් එය සිදුවී ඇත්තේ සාෆි අතින් නොවන බව අනාවරණය වන බවත් රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය.
මේ අනුව කුරුණෑගල පොලිස් ස්ථානය මගින් සාෆි අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීම සඳහා ඉහළ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත කූඨ ලේඛන සකසා ඇතැයි රහස් පොලිසිය අනාවරණය කර ගත්තේය.
මිනී මැරුමකට යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට නම් යම් පුද්ගලයකු මිය ගොස් ඇති බව මුලින් සනාථ විය යුතු අතර එම පුද්ගලයා මිය ගොස් ඇත්තේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයාගේ ක්‍රියාවක් හේතුවෙන් බවට සාක්කි තිබිය යුතුය. දණ්ඩ නීති සංග්‍රහ පනතේ 311 යටතේ බරපතල තුවාල සිදුකිරීමට වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගැනීමට නම් කාන්තාවන්ගේ පැලෝපීය නාලවලට හානියක් සිදු කර ඇතැයි මුලින් අනාවරණය කරගෙන සිටිය යුතු අතර ඉන් පසු එම හානිය කළේ සාෆි විසින් බව අනාවරණය කර ගත යුතුය. එසේ නැතිව එම චෝදනාවට වෛද්‍ය වරයා අත්අඩංගුවට ගත නොහැකිය.
කෙසේ වෙතත් එකම පැමිණිල්ලක්වත් නැතිව සාෆි අත්අඩංගුවට ගත් අතර වසර දෙක හමාරක් ගතවී ඇතත් එකම චෝදනාවක්වත් සනාථ වූයේ නැත. අඩු තරමේ ඔහු තවුහිත් ජමාත් සංවිධානයකට සම්බන්ධ බව හෝ (සම්බන්ධ වීම අපරාධයක් නොවේ) තහවුරු වී නැත. එසේ තිබිය දී තවමත් සාෆි නාටකය අවසන් කර නැතුවා පමණක් නොව ව්‍යාජ ලේඛන සකස් කරමින් සාෆි නාටකය නිර්මාණය කළැයි අනාවරණය වූ පොලිස් ලොක්කෝ ද උසස්වීම් ලබමින් නිදැල්ලේ පසුවෙති.

සබැඳි

Leave a Reply

Your email address will not be published.