බිඳවැටෙන ඉදිකිරීම් ක්ෂේත්‍රය ගොඩගන්න NPP ඉංජිනේරුවරුන්ගෙන් කෙටිකාලීන යෝජනා 12ක්

මේ වනවිට රට පත්ව ඇති බරපතල අර්බුදකාරී තත්වය මත බිඳවැටෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය ගොඩගැනීම සඳහා ජාතික ජන බලවේගයේ ඉංජිනේරුවෝ විසින් කෙටිකාලීන යෝජනා 12ක් ඉදිරිපත් කරති. ඔවූහු මෙම යෝජනා ඉදිරිපත් කරමින් අද (10) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පැවැත්වූහ.
බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති එම මාධ්‍ය හමුව සඳහා ඉංජිනේරු පාලිත අබේවර්ධන, සිවිල් ඉංජිනේරු ස්ටැන්ලි මොරේමඩ, පරිඝණක තාක්ෂණ ඉංජිනේරු එරංඟ වීරරත්න, සිවිල් ඉංජිනේරු එමල් ඉන්දික, ඉංජිනේරු උපුල් අබේසිරිවර්ධන එක්වී සිටියහ.
එහිදී ඔවුන් දැක්වූ ඉංජිනේරු පාලිත අබේවර්ධන,
“විවිධ ක්ෂේත්‍රවල මෙන්ම ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ බරපතළ අර්බුදකාරී තත්වයක් ඇතිවී තිබෙනවා. මෙම ක්ෂේත්‍රයේ පවුල් ලක්ෂ පහළොවක් පමණ අද ජීවත්වීමට නොහැකි අර්බුදයකට පත්ව සිටිනවා. මෙහිදී මෙම අර්බුදයේ ගැඹුර, එය කෙතරම් ව්‍යාප්ත වී ඇත්ද හා එයට අපගේ විසඳුම් ඉදිරිපත් කිරීමට අදහස් කරනවා. ඉදිකිරීමේ ක්ෂේත්‍රයට අනුබද්ධ ක්ෂේත්‍ර ගණනාවක් තිබෙනවා. රට පුරා ඉදිකිරීමේ ක්ෂේත්‍රයට පුහුණු හා නුපුහුණු කම්කරුවන් ලක්ෂ සංඛ්‍යාත ගණනක් ඍජුව සම්බන්ධ වී සිටිනවා. එසේම ඉංජිනේරුවන්, තාක්ෂණ ශිල්පීන්, ආදීන්ද මෙයට සම්බන්ධයි. අද ඔවුන් සියලු දෙනාගේ රැකියා අහිමි වි තිබෙනවා. මෙලෙස ඍජු රැකියාවල නිරත වූ ඔවුන් අසරණ වී මහමඟට ඇදවැටී තිබෙනවා. ගොඩනැගිල්ලක්, මහා මාර්ගයක් කෙනෙකුට දැකගැනීමට හැකිවුවද එම ව්‍යාපෘතියක් වටා සේවා සපයන විශාල පවුල් සංඛ්‍යාවක් සිටිනවා. ව්‍යාපෘතියකට අදාළව ඒ අවට දහස් ගණනක් එයින් යැපෙනවා. සේවකයන්ට ආහාර සැපයීමේ සිට නවාතැන් ආදී විවිධ සේවා සැපයීමෙන් ජීවත්වන පවුල් විශාල සංඛ්‍යාවක් සිටිනවා. මෙම ව්‍යාපෘති නතර වීමෙන් ඔවුන්ගේ වක්‍ර රැකියා සහ ආදායම් මාර්ග අහිමිවී තිබෙනවා.
ඉදිකිරීමේ ක්ෂේත්‍රයට අමුද්‍රව්‍ය සැපයීමට වෙනම සැපයුම් ක්ෂේත්‍රයක් තිබෙනවා. කුඩා සැපයුම් කර්මාන්ත විශාල ප්‍රමාණයක් රට පුරා විහිදී තිබෙනවා. ඒ ආශ්‍රිතවද විශාල රැකියා ප්‍රමාණයක් මෙන්ම ආදායම් මාර්ග අහිමි වී තිබෙනවා. එසේම මෙම ක්ෂේත්‍රයට සම්බන්ධවන විශාල පිරිසක් බැංකු ණය මගින් යන්ත්‍රෝපකරණ මිලදී ගෙන ආයෝජනය කර තිබුණා. අද ඔවුන්ට ඔවුන්ගේ ආදායම් මාර්ග අහිමි වී බැංකු ණය ගෙවා ගැනීමට පවා නොහැකි වී තිබෙනවා. මේ සියලු දෙනාම ගත හොත් පවුල් ලක්ෂ පහළොවකට පමණ බලපෑමක් ඇතිවී තිබෙනවා. මෙය තවදුරටත් ආර්ථික අර්බුදයක් නොවෙයි; සමාජීය අර්බුදයකට ද හේතු වී තිබෙනවා.
ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 07-10ක ප්‍රමාණයක් ලැබෙන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයෙනුයි. අනුරාධපුරය, පොළොන්නරුව වැනි ප්‍රදේශවල ගොවිබිම්වල සිටින අය තමන්ගේ ගොවිතැන් කටයුතු අවසන් වීමෙන් පසුව ජීවිකාව ලෙස තෝරාගෙන තිබෙන්නේ නගරයට පැමිණ ඉදිකිරීම් ව්‍යාපෘතිවල සේවය කිරීමයි. ඔවුනට අවුරුද්දේ යම් කාලයක ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ පුහුණු හා නුපුහුණු කම්කරුවන් ලෙස ඉදිකිරිම් ව්‍යාපෘතිවල සේවය කිරීමයි. පසුගිය මහ කන්නය සහ මෙවර යල කන්නය අසාර්ථක වීම නිසා ඔවුන් විශාල පිරිසකට රැකවරණය තිබූ ඉදිකරීම් ක්ෂේත්‍රය අද බිඳවැටී තිබෙනවා. මෙය ගණනය වී නොතිබුණත් ගමකට ගියහොත් මේ බව හොඳින් තේරෙනවා.
පාසල් අධ්‍යාපනය අවසන් කළ විශාල පිරිසකට සහතික පත්‍ර සහ ඩිප්ලෝමා පාඨමාලා ලබාගැනීමේදීත් විශ්වවිද්‍යාලවලින් පිටවන විශාල පිරිසකට පුහුණු වීමේදීත් ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධවීමට හැකිවුණා. ඔවුන් අනාගත වෘත්තීන් වෙනුවෙන් සහ විදෙස්ගත වීමට අවශ්‍ය පුහුණුව ලබාගත්තේ මෙම ඉදිකිරීම් ව්‍යාපෘතිවලිනුයි. නමුත් අද සිටින අයටත් රැකියා කිරීමට නොහැකි තත්වයක් තිබියෙදී කිසිදු ව්‍යාපෘතියකට පුහුණුවන්නන් ඇතුළත් කරගත නොහැකියි. මෙය අර්බුදයේ විශාල පැතිකඩක් නියෝජනය කරන්නේ මෙහි දීර්ඝ කාලීන බලපෑම් නිසයි.
අපේ රටේ දැනට විශාල ව්‍යාපෘති බොහොමයක් සිදුකරන්නේ විදේශීය සමාගම් විසිනුයි. මෙය ලෝකයේ සාමාන්‍ය තත්වයක්. විදේශීය සමාගමක් ලංකාවට එනවිට අපි බලාපොරොත්තු වන්නේ තාක්ෂණය, යන්ත්‍ර සූත්‍ර වැනි දේ රටට ලැබීමයි. ලංකාවේ විශේෂත්වයක් වන්නේ මෙසේ පැමිණි සමාගම් බොහොමයක් විසින් තමන්ගේ නුපුහුණු කම්කරුවන් පවා තමන්ගේ රටින් මෙහි ගෙන ඒමයි. මෙවැනි ස්වභාවයේ චීන සමාගම් සියයකට ආසන්න සංඛ්‍යාවක් ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා. මේ තත්වය තුළ ක්ෂේත්‍රයේ අය ලෙස අපට සම්බන්ධවීමට හැකි කොටසක් ඔවුන් විසින් අවුරා තිබෙනවා. මෙම තත්වය ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලුවක් ලෙස පවතිනවා.
විශාල ව්‍යාපෘති බොහොමයක් සිදුකරන්නේ බැංකුවලින් ණය ලබාගෙනයි. බිලියන ගණන් ණය ලබාගත් ව්‍යාපෘති අද නතරවී තිබෙනවා. මේ තත්වය තුළ බැංකුවල ණය ආපසු ගෙවීමට නොහැකි වීමෙන් ඒවායේ ආයෝජකයන් අද විශාල අපහසුතාවයකට පත්ව තිබෙනවා. ලීසිං පහසුකම් යටතේ යන්ත්‍රෝපකරණ ලබාගත් විශාල පිරිසකට ඒවා ගෙවා ගැනීමට නොහැකිව අසරණ වී සිටිනවා. මීට වසර දෙකකට පමණ පෙර ලංකාවේ සංචාරක කර්මාන්තය විශාල ලෙස වර්ධනය වනු ඇති බවට ආණ්ඩුව ප්‍රචාරාත්මක වැඩපිළිවෙළක් ගෙනගියා. ඒ වෙනුවෙන් පවතින හෝටල් කාමර සංඛ්‍යාව දෙගුණයකින් පමණ වැඩිකළ යුතු බව පැවසුණා. ඒ නිසා මේ වෙනුවෙන් විශාල පිරිසක් ආයෝජනය කළා. නිවාඩු නිකේතන, සාමාන්‍ය හෝටල් මෙන්ම තරු පංතියේ හෝටල්ද ඉදිකිරීමට පටන් ගත්තා. මේ වන විට ඒවා සියල්ල නතර වී තිබෙනවා. අද සංචාරකයන් අඩුවී තිබෙනවා. තිබෙන සංචාරක හෝටල් පවා පවත්වාගෙන යන්නේ ඉතා අසීරුවෙනුයි.
ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ මෙම කඩා වැටීම, හුදු ව්‍යාපෘති නතර වීම පමණක් නොව පවුල් ලක්ෂ පහළොවක් අසරණ කර තිබෙනවා. ඔවුන්ට වෙනත් විකල්ප ආදායම් මාර්ගයක්ද සොයා ගැනීමට හැකියාවක් නැහැ. ජාතික ජන බලවේගයේ ඉංජිනේරුවන් ලෙස අප මේ වෙනුවෙන් මැදිහත් වීමට තීරණය කරන්නේ මේ තත්වය තුළයි. මේ අර්බුදය යම් තරමකට හෝ සමනය කර ගැනීම වෙනුවෙන් අප කෙටි කාලීන වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. මෙය ක්‍රියාත්මක කර ගැනීම සඳහා රජයට බලකිරීමට සහ විදේශීය තානාපති කාර්යාලවලින් ඉල්ලීම් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

 

සබැඳි

Leave a Reply

Your email address will not be published.