ශ්‍රී ලංකාවට ආධාර අවශ්‍යයි ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් සහ ස්මිත් වීඩියෝවකින් ඉල්ලයි

මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ අවශ්‍ය ආහාර සහ ජීවිතාරක්ෂක ඖෂධ මිලදී ගැනීමට සහාය වන ලෙස ලෝක වාසීන්ගෙන් ඉල්ලා සිටින බව සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් මේ වන විට මෙරටට පැමිණ සිටින ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් සහ ස්ටීව් ස්මිත් වීඩියෝවක් නිකුත් කරමින් ඊයේ (09) පවසා තිබේ.
කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරන ලද වීඩියෝවක් මගින් ඔවුන් පවසා සිටියේ ඉදිරි මාස 4ක කාලය තුළ ඩොලර් මිලියන 47.2 ක අරමුදල් එක් කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කණ්ඩායමක් සහ තවත් රාජ්‍ය නොවන සංවිධාන සමඟින් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් එක්ව සිටින බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ක්‍රීඩක ස්ටාක් පවසා සිටියේ “අර්බුදයෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩසටහනක් දියත් කර ඇති බවයි.
එමෙන්ම මේ වන විට, මිලියන 22 ක් වෙසෙන ශ්‍රී ලංකාවේ මිලියන 1.7 ක ජනතාවකට “ජීවිත සුරැකීමේ ආධාර” අවශ්‍ය වී ඇති අතර, රට පුරා ඇති දැඩි ආහාර හිඟය හේතුවෙන් ජනගහනයෙන් හතරෙන් තුනකට වඩා වැඩි පිරිසක් තම ආහාර පරිභෝජනය අඩු කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත.
එමෙන්ම “ශ්‍රී ලංකාවේ තිබුණු ශක්තිමත් සෞඛ්‍ය සේවා පද්ධතිය පවා මේ වනවිට දැන් අනතුරේ වැටී ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී තිබේ.
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ විස්සයි විස්ස, තරග තුනක් සහ එක්දින, සහ ටෙස්ට් ඇතුළත් තරගාවලියක් සඳහාය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.