“ජනතාවට සහය වෙන්න ප්‍රජා ගොවිපොළ සමුහයක් ලබන සතියේ සිට”

ජනතාවගේ සහභාගිත්වයෙන් ජන ගොවිපළ (Community Farm) ගොවිපළ සමුහයක් සකස් කිරීම ඇතුළු ජනතාවට සහන දීමේ මැදිහත්වීම් ත්‍රිත්වයකට ජාතික ජන බලවේගය සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අද(09) බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු පක්‍ෂ මුලස්ථානයේදී පවතී මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසිය.
“දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපේ රටේ ජනතාව මුහුණපා සිටින ආහාර අර්බුදයට යම් හෝ සහනයක් වෙන්න අපි ඉදිරි දින වළ ක්‍රියාමාර්ග ගන්නවා. මේ සඳහා අපි වැඩපිළිවෙල කිහිපයක් සැලසුම් කරල තියෙනව. එහි ප්‍රධානම ක්‍රියාමාර්ගය තමයි, අපි ජනතාවත් එක්ක ඒකාබද්දව ඒ ඒ යම් ගොවිපළ සමුහයක් සකස් කිරීමට කටයුතු කරගෙන යනවා. එම ප්‍රජාවගේ දායකත්වයෙන්, මැදිහත්වීමෙන් එම ප්‍රජාවට අවශ්‍ය එළවලු සහ අනෙකුත් නිෂ්පාදන ලබාගැනීමට සඳහා මෙන ගොවිපළ සංකල්පය අපි දියත්කරන්න සැලසුම් කරලා තියනවා. විශේෂයෙන්ම අපේ ව්‍යාපාරයට ග්‍රාමීය වශයෙන්, නාගරික වශයෙන් විශාල සංවිධාන යාන්ත්‍රණයක් තිබෙනව. එම පළාත්වල ප්‍රජා ගොවිපොළ (Community Farm) ඇතිකරන්න අපි මේ සංවිධාන යාන්ත්‍රණය මෙහෙයවනවා. ඒ සඳහා ජනතාවගේ සහභාගිත්වයෙන් ජන ගොවිපළ ගොඩනැගීම මගින් ජනතාවට යම් සහනයක් ලබා දීමට අපි මැදිහත්වීමට අපේක්ෂා කරනවා.
. ඒ සඳහා මේ වන විටත් අපි දිස්ත්‍රික්වළ ස්ථාන ගණනාවක් තේරාගෙන තිබෙනවා. ඉඩම් තේරාගෙන, වගාකළ යුත්තේ මොනවද කියල සමහර සමහර කෘෂි නිලධාරි මහත්තුරුන් එක්ක අපි සාකච්ඡා කරලා තියනවා. මොනවගේ ප්‍රබේදයන් මොනවගේ වගා සැලැස්මකට යන්න ඕනෙද කියල . ඒ හරහා ජනතාව සමඟ ඒකාබද්ද සමුහ ගොවිපළවල් ගොඩනැගීම සඳහා අපි සැලැස්මක් දියත්කරලා තියනවා. ඒ හරහා යම් ප්‍රමාණයකට හෝ එම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය වන මුලික අහාර සපයා ගැනීම සඳහා අපේ මැදිහත්වීමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක අපි ලබන සතියේ දීපව්‍යාප්තව දියත්කරන්න අපි සැලසුම් කරල තියනවා.”
“දෙවැනි කරුණ තමයි මේ වන විට ආදායම් මාර්ග නැති ජීවත්වීමට අමාරු දරුවන් ඉන්න ගැබිණි මව්වරුන් ඉන්නවා. විශේෂයෙන්ම මේ වෙලාවේ සමාජයේ වගකීමක් තමයි අපි මේ දරුවන් සහ ගැබිණි මව් වරුන්ගේ පෝෂණ තත්වය පිළිබඳව සැලකිල්ලට ලක්කළ යුතු වෙනවා. ඒ නිසා අපි ප්‍රාදේශීය වශයෙන් ජනතාව සමඟ සාකච්ඡාකරමින් යනවා එම ප්‍රදේශයේ අසීරුවට පත් දරුවන්ටත්, ගැබිණි මව්වරුන්ටත්, බලාගත යුතු වැඩිහිටියන් ඉන්න පවුල් සඳහා විවිධාකාරයේ සහන වැඩපිළිවෙලවල් සුදානම් කර තිබෙනවා. ඒ සඳහා අපේ විදේශගත ශ්‍රීලාංකිකයින් විශාල ප්‍රමාණයක් අපිට උදව් කරන්න සුදානම් ව සිටිනවා. ඒ වගේම අපේ මන්ත්‍රී අරමුදලත් ඒ ප්‍රදේශයේ ජනතාවගේ සහබාගීත්වයෙන් එය අපි ව්‍යාපෘතියක් ලෙස සුදානම් කර තිබෙනවා.”
“අපේ තෙවැනි මැදිහත්වීම වන්නේ රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ හා උපකරණ හිඟය යම් ලෙසකට පියවීමට මැදිහත් වීමයි. මේ වන විට රෝහල් ගත වන බොහෝ අය මිය යාමේ අවදානමකට මුහුණ දී සිටිනවා. මෙවැනි තත්වයක් ඇතිවීම අතිශය ඛේදවාචකයක්. මේ නිසා දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න තීරණය කළා. ඒ වෙනුවෙන් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් අපට තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා අත්‍යාවශ්‍ය බෙහෙත් හා උපකරණ ප්‍රමාණයක් රෝහල් පද්ධතියට ලබා දීමට අප කටයුතු කරනවා.”
“මෙලෙස මේ මොහොතේ ඇතිවී තිබෙන අර්බුදකාරීත්වයට අපි ආකාර තුනකින් මැදිහත් වීමට අපේක්ෂා කරනවා. කෙසේ නමුත් මේ ක්‍රියාමාර්ග මගින් අපේ රටේ ජනතාව මුහුණ දී සිටින බරපතළ ආර්ථික හා සමාජීය අර්බුදයට විසඳුම් නොලැබෙන බව අපි විශ්වාස කරනවා. ඒ පිළිතුරු ලබා ගත හැකි වන්නේ, අපේ රට විසින් අනුගමනය කරමින් තිබෙන වැරදි ආර්ථික ප්‍රතිපත්තියත් මේ ආර්ථික අර්බුදය නිර්මාණය කරන ලද දේශපාලන සංස්කෘතියත් වෙනස් කිරීමෙන් පමණයි.”

සබැඳි

Leave a Reply

Your email address will not be published.