මන්ත්‍රී වාහන ගෙන්වීම අවලංගු කරයි : ජවිපෙ පැනවූ නඩුවෙන් ජනතාවට ජයග්‍රහණයක්

මන්ත්‍රීවරු සඳහා අධි සුඛෝපභෝගී වාහන ගෙන්වීමට ගෝටාබය රාජපක්ෂගේ ආණ්ඩුව ගත් තීරණයකට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (07) ජයග්‍රහණය කර කළේය.
ජවිපෙ විසින් 2021 වසරේ ජුනි මාසයේ ගොනු කර ඇති මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරුබදු රහිත වාහන ආනයනය කිරීම නීතිවිරෝධී බවට සහ ණයවර ලිපි නිකුත් කිරීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙසය. එමෙන්ම යම් හෙයකින් වාහන ආනයනය කරනු ලැබුවහොත්, ඊට අදාළ සියලු තීරු බදු සහ අනෙකුත් බදු අයකරන ලෙසත් එම වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා මහජන මුදලින් දරණ ලද සියලු වියදම් සහ රාජ්‍ය ආදායම් අහිමිවීම් රජයට අය කර ගැනීමට කටයුතු කරන ලෙසත් පෙත්සම්කරුවන් එම පෙත්සමෙන් ඉල්ලා තිබිණි.
එම පෙත්සම මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පවා ඇති අවස්ථානුගත කරුණු අනුව යුක්ති සහගත යයි සහ සාධාරණ යයි ශ්‍රේෂ්ඨාධිකරණය සලකන සහන ප්‍රධානය කිරීමේ අධිකරණ බලය මත සුදුසු වෙනත් නියෝගයන් කරන ලෙසය. එම පෙත්සම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බලන ලද අතර පෙත්සම මගින් ඉල්ලා තිබෙන කරුණු අනුව එම වාහන ගෙන්වීමට අදාළව සම්මතකරගෙන තිබුණු කැබිනට් පත්‍රිකාව අවලංගු කරගන්නා බව ආණ්ඩුව වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වුවේය.
ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී, මධ්‍යම කාරක සභික මහින්ද ජයසිංහ මෙම පෙත්සම ගොනු කළ අතර ජවිපෙ මධ්‍යම කාරක සභික හිටපු පළාත් සභා මන්ත්‍රී නීතීඥ සුනිල් වටගල ඒ වෙනුවෙන් පෙනී සිටියේය.
මෙහිදී මහින්ද ජයසිංහ පැවසුවේ රජයට අහිමිවීමට ගිය අති විශාල බදු ආදායමක් සහ විදේශයන්ට ඇදීයාමට නියමිතව තිබූ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර දීමට ජනතා විමුක්ති පෙරමුණට හැකි වූ බවයි.
මෙම පෙත්සම සදහා මැදිහත්වීමට නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු කර ඇති ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

සබැඳි

Leave a Reply

Your email address will not be published.