මේ පිටරටකට යන්නට හොඳම කාලයයි!

මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ඉඳන් වෙනත් රටවල් වලට යන්න හදන පිරිසගේ ප්‍රමාණය දෙතුන් ගුණයකින් වැඩි වෙමින් යනවා කියලා වාර්තා වෙලා තියෙනවා. මේක ශ්‍රී ලංකාවේ දියුණුව පැත්තෙන් බලනකොට ඉතාම හොඳ තත්ත්වයක්.
රටවල් දියුණු වෙන්නේ ජනතාව වැඩි වීම නිසා නෙමෙයි ඉන්න ජනතාව කීදෙනෙක් හරි වේවා ඔවුන්ගෙන් කාර්යක්ෂමව වැඩ ගන්නා දියුණු ක්‍රමයක් නිසයි. ලෝකයේ වඩාම දියුණු රටවල් යනු ඔවුන්ගේ භූමි ප්‍රමාණය සහ සම්පත් වලට සාපේක්ෂව ජනතාව අඩුම රටවල් වන අතර ලෝකයේ වඩාම නොදියුණු රටවල් යනු භූමි ප්‍රමාණයට සහ සම්පත් වලට අනුව ජනතාව වැඩිම රටවල්. ශ්‍රී ලංකාවේ යනු මේ වෙනවිට භූමි සහ සම්පත් ප්‍රමාණයට අනුව ජනතාව සීග්‍රයෙන් වැඩි වෙමින් පවතින රටක් බව අපි දන්නවා.
මේ තෙල් ගෑස් පෝලිම වලට එන්නට කලින් පවා සාමාන්‍යයෙන් බස් එකකට නගින්නට, තවත් බොහෝ තැන් වල වැඩ කටයුතු කර ගන්නට ගිහාම, කොටින්ම සමහර පොදු වැසිකිලිවලට පවා, පෝලින්වල පොරකන්නට පටන් අරගෙන තිබුණා.
මේ වෙනකොට විශේෂයෙන් රාජ්‍ය සේවයේ භාගයක් පමණ පඩි ගන්නේ රටට වැඩක් ඇති වැඩක් කිරීම නිසා නෙමෙයි ඔවුන්ව නඩත්තු කිරීම සඳහාම ලබාදුන් රැකියා නිසයි.එය එක්කෙනෙක්ගෙන් කරගන්න පුලුවන් දෙයට පස් දෙනෙක් යොදා ගන්නා ලොව අකාර්යක්ෂම ක්‍රමයක්. මෙවැනි රටවල්වල දියුණු තාක්ෂණය යොදා ගන්නට බැරි එක හේතුවක් ද රටට වැඩක් නැති මේ රැකියා අහිමිවී පවුල් අනාථ වීමයි.
ඊළඟට දක්ශයින් ගෙන් වැඩ ගැනීමේ දියුණු ක්‍රමයක් නැති තාක් කල් දක්ෂයින් රටට අහිමි වෙනවා කියලා දෙයක් ද නැහැ. ඒ වගේම දක්ෂයන් බිහිකර ගැනීමේ ක්‍රමයක් ඇත්නම් නැවත නැවත දක්ෂයන් බිහි වීම නිසා දක්ෂයින් අඩු වන්නේ ද නැහැ. දක්ෂයින් අහිමිවීම කියන ප්‍රශ්නය මතු වන්නේම දක්ෂයින් නිර්මාණය කිරීමේ සහ ඔවුන්ගෙන් වැඩ ගැනීමේ ක්‍රමයක් නැතිවීම නිසයි.එවැනි ක්‍රමයකට දක්ෂයා සහ අදක්ෂය අතර එතරම් වෙනසක් නෑ.
එබැවින් මේ වැඩක් ගන්නෙ නැති විශාල ජනතාවට කළ යුත්තේ පුළුවන් තරං විදේශ රටවල් වලට යාමට පහසුකම් සැලැස්වීමයි. එහෙම ගිහින් ඔවුන් ශ්‍රී ලංකාවට එවන විදේශ මුදල්වලින් රටට සිදුවන සේවය තරම් දෙයක් ඔවුන් ශ්‍රී ලංකාවේ සිටියදී ඔවුන්ගෙන් රටට සිද්ධ වෙන්නේ නැහැ. සමස්තයක් ලෙස රටේ භූමි ප්‍රමාණය, සම්පත් සහ සුභසාධනය ආදිය වැඩි පිරිසක් අතරේ බෙදී යාමෙන් ඇතිවන ජීවන තත්ත්වය පහළට වැටීම විතරයි වෙන්නෙ.
විශේෂයෙන් චීනය සහ බංගලිදේශය වැනි රටවල් පසුගිය කාලයේ කළේම වැඩි වෙමින් එන ජනතාවට අධ්‍යාපන සහ රැකියා මාර්ග ආදිය හරහා හැකි තරම් විදේශ රටවල් වලට යාමට සැලැස්වීමයි. ලෝකයේ සෑම දියුණුව දෙසට යමින් පවතින රටකම ලක්ෂණය වන්නේ හැකිතරම් තම ජනතාවට විදේශ රටවල් වලට යන්නට දී ඒ හරහා එන ආර්ථික සහ සංස්කෘතික ආදී වාසි ලබා ගැනීමයි. මෙය ඉතාම සැලසුම්සහගතව කරපු රටක් වන චීනයට පුළුවන් වෙලා තියෙනවා මේ වෙනකොට සෑම රටකම වගේ විශාල වෙළඳපොලක් සමග චීන උප සංස්කෘතියක් පවා නිර්මාණය කිරීමට. එය ඔවුන් බලවත් වීම පිටුපස ඇති එක ප්‍රධාන සාධකයක්.
ඒ බොහෝ රටවල් සමග ගත්තම ශ්‍රී ලංකාව, විශේෂයෙන් බටහිර සහ යුරෝපා රටවල් වලට, විදේශගත වීම සම්බන්ධයෙන් රජයෙන් අඩුම සහයෝගය ලබන රටක්. ශ්‍රී ලංකාවේ ඇති වුණු භාෂා ප්‍රශ්නය සහ පන්ති පරතරය ආදිය නිසා වරප්‍රසාදිත විශේෂ පන්තියකට පහසුවෙන් බටහිර රටවල් වලට යාමට ඒමට හැකියාව ලැබෙන කොට ඉතා අසාධාරණ ලෙස තවත් පිරිසකට එය වඩාත් දුෂ්කර තත්වයක් බවට පත් කළා. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවකයින් බිහිවූයේද ඒ දුෂ්කර තත්වයට පත්වූ සංක්‍රාන්ති පන්තිවලින් වන අතර ඔවුන් කිසි විටෙක ඊට සහයෝගය දෙන ක්‍රමයක් ද නිර්මාණය කළේ නැහැ. මේ සන්දර්භය තුළ සාමාන්‍ය ජනතාව තුළ ද ඒ සම්බන්ධයෙන් අතිශයින්ම මෝඩ, කුහක සහ පසුගාමී අදහස් ගොඩනැගීම අපට තේරුම් ගන්න අමාරු නැහැ.
ඉහත කාරණා සැලකිල්ලට ගත්තම,අවම වශයෙන් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ එක්තරා ව්‍යාපෘතියක් විදිහටවත්,රජය දැන් කළ යුත්තේ මේ වැරදි ගැඹුරින් අධ්‍යයනය කර, විදේශ රටවල් වලට යාමට අවශ්‍ය භාශා, අධ්‍යාපනික, ආර්ථික සහ තාක්ෂණික ආදී අභියෝග ජයගැනීමට පහසුකම් කිසිදු පන්ති වරප්‍රසාද භේදයකින් තොරව රටේ සියලුම දෙනාට ලබා දෙමින් පුළුවන් තරම් විදේශ රටවල්වල පදිංචියටම යාමට ජනතාවට අනුබල දීමයි.
– ධනංජය කරුණාරත්න

සබැඳි

Leave a Reply

Your email address will not be published.