“මළසිරුරකත් ජීවී ගතියක් පේන පැත්තක් තියනව” මේවා කවදා ඔබේ අතට පත්කරන්න ලැබේදැයි නොදනිමි!

අවමංගල උත්සව දිනයට පෙර දිනයේ උදෑසන දිගු වේලාවක් මෘත දේහය සමඟ මම කාමරයේ තනිව සිටියෙමි. මුලින්ම මා එතැන සිටියේ ‘අවදිවීමේ චාරිත්‍රය ‘ ඉටුකිරීමේ හැඟීමෙනි. කෲර ලෙස අත්හැරදැමූ සහ ආදරය ඉල්ලා සිටින බවක් ඇගේ මළසිරුරෙන් පවා විද්‍යාමාන විය. අඩුම පැයක්වත් ඇය සමඟ රැඳි සිටීමට මම තීරණය කළෙමි. පසුව අලසබවට පත්වෙමින් සිටි මම ඔරලෝසුව දෙසට නෙත් යැවීමි. ඉසින ලද ශුද්ධ ජල බිංදු හැමතැනම රැඳී තිබූ ඇගේ මුහුණේ ඇස් යට සම ඇකිළි රැළි වැටී තිබිණි. නිදි පෙතිවල බලපෑමෙන් ඇගේ උදරය යම් තරමකට ඉදිමී ඇත. එසේ වුවත්, කාමරයේ කෙළවර ස්ථීර තැනක සිට පපුව මත තිබූ ඇගේ දෑත් මා සසඳා බැලුවේ ඇය හුස්ම නොගන්නා බව සහතික කරගැනීමටය. උඩුතොල හා නාසය අතර තිබූ ඇගේ ශ්‍රීතාව නැතිව ගොස්ය. සමහර වෙලාවට, ටික වේලාවක් ඇය දෙස බලා සිටින විට, කුමක් සිතිය යුතුදැයි මම නොදනිමි.
මෙවැනි මොහොතවල් වලදී මගේ පීඩාව එහි උපරිමයට එළඹෙයි. දුක නිසා කැළඹුණු සිතින් මෘත දේහය අසල සිටගෙන සිටීම පමණක් මට කළ හැකි විය. පැය ගෙවී ගියාට පසුවත් එතැනින් ඉවත් වීමට මට අවශ්‍ය නොවුණු නිසා, මා විසින්ම තීරණය කළ කාලයට වැඩියෙන් මම කාමරයේ රැඳී සිටියෙමි. ඊළඟට ඇයව ඡායාරූපගත කෙරිණි. ඇය වඩා හොඳට පෙනෙන්නේ මොන පැත්තෙන්ද? ‘මළසිරුරකත් ජීවී ගතියක් පේන පැත්තෙන්.’
භූමදානය කිරිමේ චාරිත්‍රය අවසානයේදි ඇයව අපුද්ගලායනය කළා මෙන්ම අනෙක් සියල්ලන්වම සහනයටද පත්කෙරිණි. ඇගේ අමරණීය ශේෂය පසුපසින් අප ඇවිද යන විට තද හිමපතයක් වැටෙමින් තිබිණි. “අපේ ආදරණීය සහෝදරිය.” ආගමික පාඨවල ඇගේ නම පමණක් ඇතුළත් කළ යුතුව තිබිණි. අපේ කබාවල තිබූ ඉටිපන්දම් කිරි පසුව මැදීමෙන් ඉවත් කෙරිණි.
දරාගත නොහැකි තරම් තද හිමපතනයක් වැටෙමින් තිබුණ බැවින්, එය නවතීදැයි නිශ්චය කරගැනීමට ඔබ අහස දෙසට නෙත් යොමාගෙන සිටියි. එකින් එක, ඉටිපන්දම් නිවී ගියද ඒවා නැවත දැල්වුවේ නැත. අවමංගල්‍යයකට සහභාගී වෙමින් සිටියදී කෙනෙකු මාරාන්තික රෝගයකට ගොදුරු වු බවට කතාවක් මා කියවා ඇති බව, ගණනය කළ නොහැකි තරම් වාර ගණනක් මගේ මනස සිසාරා ගියේය.
සොහොන් පිටියේ තාප්පය අද්දරින්ම වනාන්තරය ආරම්භ විය. තරමක් බෑවුම සහිත කන්දේ ෆර් ගස් වැවී තිබිණි. කෙතරම් ළඟින් ගස් පිහිටා තිබුණාද කිවහොත්, දෙවෙනි පේළියේ පවා දැකිය හැකි වූයේ තුරු මුදුන් පමණක් වූවා සේම, එතැන් සිට තුරුමුදුන් පිට තුරු මුදුන් යායට පෙනුණි. පිරිස ඉක්මනින්ම සොහොන් පිටියෙන් ඉවත්ව ගියහ. වළ අද්දර සිටගෙන, සෙලවීමක්වත් නැති තුරු දෙස බලා සිටින විට, සොබාදහම කෙතරම් අනුකම්පා විරහිතද යන්න පළමු වතාවට මට පෙනුණි. ඉතින් මේවා තමයි කාරණා! වනාන්තරය තමන් වෙනුවෙන් කතා කළේය. ගණන් කළ නොහැකි තුරු මුදුන් හැරුණු විට මෙහි වැදගත් කිසිවක්ම නොතිබුණි. පෙරබිමෙහි, අවුල් සහගත අයුරින් මිශ්‍ර වූ එකිනෙකට වෙනස් හැඩතලයන් ටිකෙන් ටික දර්ශනයෙන් පසුබැස ගියේය. නිෂ්ඵල හා අසරණ බවක් මට දැනිණි. මගේ බෙලහීන කෝපය තුළ එක්වරම මව ගැන යමක් ලිවිය යුතු බව මගේ සිතේ තදින් කාවැදිණි.
එක් පිම්මකට පඩි කිහිපයක් පනිමින්, නුහුරු හඬකින් සිනාසෙමින්, ඉන්ද්‍රජාල කථකයෙකු වූවාක් මෙන්, එදා හැන්දෑවේ ගෙදරදි මම පඩිපෙළ තරණය කළෙමි. අවසන් පඩි කිහිපය දිවගියෙමි. උඩුමහළට ගියපසු තදින් පපුවට පහරදී මාවම වැළඳ ගතිමි. අනිත් අයට වඩා උසස් යන හැඟීමෙන් පෙළී, කිසිවෙකු නොදන්නා රහසක් දරාසිටින්නෙකු මෙන්, පසුව මම හෙමි හෙමින් පඩිපෙළ බැස ගියෙමි.
පීටර් හන්ඩ්ක – A sorrow beyond dreams
– රශ්මික මණ්ඩාවල

Leave a Reply

Your email address will not be published.