ගෝල්ෆේස් ප්‍රහාරය : දේශබන්දු ගැන විමර්ශනයට ඇවන්ගාඩ් චූදිතයෙක් !

ගෝල්ෆේස් ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කර ඇති බස්නාහිර පළාත බාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ විමර්ශන පැවැත්වීම සඳහා ඇවන්ගාඩ් නඩුවේ චූදිතයෙකු පත්කර තිබේ.
අලුත් ලේකම්ගේ කොන්ත්‍රාත්තුව
නීතිය හා සාමය අමාත්‍යාංශයේ නව ලේකම් එස්.හෙට්ටිආරච්චි විසින් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න වෙත දැනුම් දී ඇත්තේ මේ සඳහා සමන් දිසානායක පත්කරන ලෙසයි. සමන් දිසානායක යනු ජාතික පොලිස් කොමිෂන් සභාවේ හිටපු ලේකම්වරයෙකි. ඔහු ඇවන්ගාඩ් නඩුව නමින් ප්‍රකට නීතිවිරෝධී ගිනි අවි නඩුවට අදාළ ව අත්අඩංගුවට ගෙන, අධිචෝදනා බාර දුන් අයෙකි. පසුව ඔහු එම නඩුවෙන් නිදහස් කෙරිණි.
පොලිසියේ තැනක් නැද්ද?
දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් වන පොලිස් දෙපාර්තමේන්තු විනය පරීක්ෂණය මෙසේ බාහිර, පාක්ෂික පුද්ගලයෙකුට බාරදීමට සූදානම් වන්නේ එවැනි කටයුතු සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකය පවතින තත්ත්වයක් තුළ ය. එය සෘජුවම පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි.
දේශබන්දුට එරෙහි තවත් වාර්තාවක්
මෙම ඒකකය මගින් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳව මීට පෙර දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පරීක්ෂණයක් කර, වාර්තාවක් ද සකස් කරන ලදි. එසේම තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට එරෙහිව ද මෙම ඒකකය මගින් විමර්ශන සිදු කර තිබේ.
සීඅයිඩියේ විශේෂ සැලකිල්ල
එසේ තිබියදී ගෝල්ෆේස් ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් දේශබන්දු තෙන්නකෝන්ට අදාළ විමර්ශනයට බාහිර පුද්ගලයෙකු පත්කිරීම බරපතළ සැකයට තුඩු දෙන කරුණකි. ගෝල්ෆේස් ප්‍රහාරයට අදාළ ව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති සැකකරුවන් ලැයිස්තුවේ සිටින පිරිස අතරින් ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයා සහ දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දිගින්-දිගටම මගහරිමින් සිටී.
බිඳවැටුණු ලේකම් සිහිනය
රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය බාරගැනීමෙන් පසු නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට සමන් දිසානායක පත්කිරීමට තීරණය කර තිබිණි. එහෙත් ඔහුට එරෙහි ඇවන්ගාඩ් චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය මගින් අනාවරණය කිරීමත් සමග එම තීරණය වෙනස් කෙරිණි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.