‘පොදු කුලකයේ දී අපි සහ තනි කුලකයේ දී අපි’

ලොවට පෙනෙන අපි සහ අපට පෙනෙන අපි’ හෙවත් ‘පොදු කුලකයේ දී අපි සහ තනි කුලකයේ දී අපි’ යන මැය දිය හැකි ආකාරයේ චිත්‍ර ප්‍රදර්ශනයක සසැරීමට අපට හැකි විය. ප්‍රසාදනී ඒ සිත්තම් නිමැවූ ශිල්පිනිය යි. කේවල කාන්තා මුහුණු, චර්යා, හැසිරීම්, සිතුවිලි, හෘදවාචී බව ආදිය මෙහි නිරූපණයව තිබිණි. ප්‍රදර්ශනයේ නම, ‘ස්පන්දන’ යි.
බහුතරයක් චිත්‍රවල සිටි කාන්තාවන්ගේ හිසේ සිට පහළට බේරෙන ලෙස දියසායම් වැක්කෙරෙන්නට හැර තිබිණි. එය වැගිරෙන භාව ඇති කාන්තා ස්වභාවයට පෑහෙයි. ඒ මුහුණු අපැහැදිලි, තේරුම්ගත නොහැකි, සංකීර්ණ බවක් ද ගත්තේය. සමීප කාන්තා මුහුණු, සායම් ඝනව දැඩිව තවරාගෙන එක් එක් හැඩයට මුහුණු මත තබා නිමවා තිබේ. එහිදී ඉරිගැහුණු, රැළි වැටුණු, අසම්පූර්ණ බවට පැමිනුණු තැන් එසේම තියන්නට ඉඩ හැර අවසන් කර ඇත.
රන්වන් පැහැ මුහුණක් ඉදිරිපස සිටින සේ, ප්‍රසාදනීගේ මුහුණ පසුපස සිටින සේ ඇඳි සිතුවම මට දුටුමතින් සිහි කළේ ‘අමල්බිසෝ’ යි. පැහැදිලි ව කියතොත් දොර අරින්න පෙර අමල්බිසෝ සහ දොර ඇරියායින් පසු අමල්බිසෝයි. ලෝකස්වභාය දකිනු රිසින්, රස බලනු රිසින්, එතෙක් සිරව සිටි නිසා සෝක නිහඬ මුහුණෙන් සිටින නමුත් දොර අරින රන් වන් අමල්බිසෝ සහ දොර ඇරියායින් පසු ලෝ තතු දුටු පසු සියල්ල දැනගත් පසු අපට සිනාවෙන අඟුරු පැහැ අමල්බිසෝ ලෙසින් නම් කළ හැකිය. තවත් ලෙසකින් සිතූවොත්, රන් මුහුණ, දිලිසෙන වර්ණ සහිත වස්ත්‍ර ආදියෙන් සැරසී, රත් වරලක් සහිත කාන්තාව නියෝජනය කරන්නේ, ෆැන්ටසි ලොව නම්, අඟුරුවලින් ඇඳි අනෙක් කාන්තාව එනම් ප්‍රසාදනීගේ මුහුණ නියෝජනය කරන්නේ සැබෑ ලොව විය යුතු ය.
තනි මුහුණක් බිත්තියක එල්ලී ආලෝකය දෙස නෙත් යොමන චිත්‍රය, කැමරාවකට, වේදිකාවක් උඩ, තිරයක් මතට මුහුණ පමණක් ඔබා ලොවට පෙනෙන්නට සලස්වන නමුත් අනෙක් සියලු සිරුරේ කොටස නොපෙනෙන සේ සිටින, එනම් මුහුණ පමණක්, සුරූපී බව පමණක් මතුපිට තලයට පෙන්වන මිනිස් චරිත බවට පත්වේ. මුහුණේ සිට ක්‍රමයෙන් ප්‍රබාමත් වෙමින් රන් වැගිරෙන මුහුණක් සහිත නිරුවත් කාන්තා රුවත් ඒ පසුපසින් එබෙන විවිධ හාව භාව සහිත මුහුණුත්, කාන්තාව ෆැන්ටසියේ සිට සැබෑව වෙත එන ගමනේ අතරමග අත්විඳින දෑ ද ?
චිත්‍ර ඇඳි කැන්වසය පළමුව ඝනකම පසුබිමක් බවට පත්කර ගෙන, පසුව එය වියලෙන්නට ඉඩ හැර ඇඳි චිත්‍ර ද, තෙත බව තිබිය දී ම සායම් ගල්වා ඒවා දියවෙන්නට හැර ඇඳි චිත්‍ර ද මෙහි වෙයි. තීන්ත, සායම්වලින් ඇඳි චිත්‍ර පසුව පැස්ටල්වලින් ද හැඩ කර තිබේ. සයනයක නිදා සිටින කාන්තා රුවෙහි වර්ණ භාවිතය තීව්‍රය. රන් ගුලියක් වැළඳගෙන සිටින කාන්තාව, ලොව ජීවයෙන් පුරවන්නා සේ ම ලොවේ ම ගිනි වැළඳගන්නා තැනැත්තිය වන්නට ද පුළුවන.
– ඩිල්ශානි චතුරිකා දාබරේ




ප්‍රසාදනී කුමාරි
 
 

සබැඳි

Leave a Reply

Your email address will not be published.