බකමූණු මං නිසා මරදාන නිදි නැද්ද

යනව ම යි කියලා ම හිතාගෙන හිටියාට
යන්න බැරි වූ ගමන් කොච්චරක් නං ඇද්ද
ඒ ගමන් මතක්වෙන හින්දා ම වෙන්න ඇති
පාළු රෑ මදියමට බකමූණො නිස්සද්ද
වැහි කළුව දැක්කා ම කුඩේ අතටත් ගත්ත
බස්සෙකේ කුඩෙත් අමතක වෙලා මඟ බැස්ස
වෙන ගමන් හින්දා ම ගමන අමතක වෙච්ච
බකමූණො කොයි තරම් බිම බලාගෙන ඇද්ද
බකමූණු කෙල්ලො හීනෙන් කොඳුරනා සද්ද
ටවර් රඟහලේ සිරි සඟබෝ ද ඇහැරෙද්ද
ඔළුව දන් දුන්නෙ නැති හැමදා ම නිස්සද්ද
බකමූණො කොයි තරම් හූල්ලනවා ඇද්ද
දවාලට කාර් බස් ඉගිල්ලී යන සද්ද
තිබුණාට මරදාන අළුයමෙයි නිස්සද්ද.
ගැලරියෙන් ඉක්කාව ඉල්ලගෙන ඇලවෙච්ච
බකමූණො කොයි තරම් මරදානෙ තව ඇද්ද
කෙඳිරි ගානා හීන දුම් කවුළුවෙන් විද්ද
සොඳුරු බකමූණන්ගෙ කඳුළු සීතල නැද්ද
දවාලට ගිනි අරන් නැටුවාට යම යුද්ද
දෙකක් දා ගත්තා ම මරදාන ම යි බැද්ද
වහිනකොට කළු වේවි වලාකුළු සුදු රෙද්ද
ළඟපාත පංසලක මොහිදීන් බෙග් නැද්ද
බකමූණු හූමිටි ම සුදු යකඩ උහුලද්ද
මට හැබැයි හැමදා ම මරදාන ම යි බැද්ද.
තහඩු ඇස්බැස්ටෝස් උඩ වරිපනම් බද්ද
තොටළඟ දි තොරණ උඩ ආලවක ඇඹරෙද්ද
මල්සරා ඇලුමීනියම් හීයකින් විද්ද
බකමූණු මං නිසා මරදාන නිදි නැද්ද
– කුමාර හෙට්ටිආරච්චි

Leave a Reply

Your email address will not be published.