දුමින්ද සිල්වාට සමාව දීම අත්හිටුවන්න, අත්අඩංගුවට ගන්න, පාස්පෝට් අධිකරණයට භාරයට ගන්න නියෝග

මරණීය දණ්ඩනය නියමවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ලබා දුන් පොදු සමාව යටතේ නිදහස ලබාදීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31) අතුරු නියෝගයක් නිකුත් කළේය.
මේ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට නියම කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගය කර ඇත.
ඒ අතරම දුමින්ද සිල්වාගේ විදෙස් ගමන් තහනම් කළා සේම ගුවන් ගමන් බලපත්‍රය අධිකරණයට භාරයට ලබා දෙන ලෙසටද ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.
අතුරු නියෝගය නිකුත් කිරීමට මුල් වුවේ, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණීකා ප්‍රේමචන්ද්‍ර, ඇගේ මෑණීයන් වන සුමනා ප්‍රේමචන්ද්‍ර ඇතුළු තිදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් සැලකිල්ලට ගත් අවස්ථාවේදී ය.
ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬල්ල මෙම නියෝගය නිකුත් කළහ.
මෙම පෙත්සම් සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් ඇතුළු නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අවධාරණය කළේ දුමින්ද සිල්වාට පොදු සමාව ප්‍රදානය කිරීමේදී ජනාධිපතිවරයා නිසි නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බවයි.
ඒ අනුව ඔහුට පොදු සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය.
 

Leave a Reply

Your email address will not be published.