“20 අවශ්‍යයි කියල පාර්ලිමේන්තුවේ කෑමොර දීපු අයටම 21 වන සංශෝධනය ගේන්න වීමම යම් ඉතිහාසගත සරදමක්”

පසුගියදා කැබිනට් මණ්ඩලයට 21 වන සංශෝදනය ඉදිරිපත්කර ඇති බවත් ඊට දේශපාලන පක්ෂවලට එම 21 වන සංශෝධනය ලබා දී යම් සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා අවස්තාවක් ලබාදී ඇති බවත් තම පක්‍ෂය එම සංශෝධන දැනට මෙලෙස ඉදිරිපත් කරන්න බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි. ඒ අද(27) පෙරවරුවේ බත්තරමුල්ල, පැලවත්ත පක්‍ෂ මුලස්ථානයේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
එහිදී දැක්වූ අදහස්,
“අපේ රටේ ව්‍යවස්තාවට ගෙනා යහපත් ප්‍රතිසංස්කරණ අවස්ථා දෙකක් තිබෙනවා. එකක් තමයි 17 වන සංශෝධනය. නමුත් 2010 දී රාජපක්ෂ පාලනයට බලය අත්පත් වූවාට පසුව එම 17 වන සංශෝධනය මුළුමනින්ම අහෝසිකොට ඔවුන් 18 වන සංශෝධනය ගෙනාව. අනතුරුව 2015 ඇතිවූ දේශපාලන තත්වය උපයෝගී කරගෙන 19 වන සංශෝධනය යම් ප්‍රජාතන්ත්‍රවාදී දිසාවට යන පියවරක් හැටියට සම්මතකරගන්න හැකියාවක් ලැබුන. නමුත් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්‍ෂ පවුල වෙත පසුගිය මහාමැතිවරණයෙන් ලැබුණු බලය උපයෝගී කරගෙන ඔවුන් එම ප්‍රජාතන්ත්‍රවාදී දිසාවට යන පියවරක් වූ 19 වන සංශෝධනය ඉවත් කරලා 20 සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගත්ත. ඒ 19 අහෝසි කරන්න අත ඔසවපු, 20 අවශ්‍යයි කියල පාර්ලිමේන්තුවේ කෑමොර දීපු ඒ කණ්ඩායමටම යලි එය අහෝසි කරල 21 වන සංශෝධනය ගේන්න වීමම යම් ඉතිහාසගත සරදමක්.
ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා 17 ට අත ඔඅසවපු අයත්, 18 ට අත ඔසවපු අයත්, ඊට ප්‍රතිපක්ෂ 19 ට අත ඔසවපු අයත්, ඒකට පරස්පර 20 ට අත ඔසවපු අයත්, ඒවගේම මේ 21 කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනකොට ඒ කැබිනට් මණ්ඩලයෙත් ඉන්නවා අර හතරටම අත ඔසවපු අය. නිමල්සිරිපාල සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත වගේ අය. ඒ නිසා අපේ රටේ ව්‍යවස්ථා එක් එක් වෙලාවේ තමන්ගේ බල සුදුවේ උවමනාවන වෙනුවෙන් එක් එක් වගන්ති වෙනස් කරන ව්‍යවස්ථාවක් බවට පත්ව තිබෙනවා.
නමුත් යලිත් සමාජයේ 21 වන සංශෝධනය පිළිබඳව සාකච්ඡාවක් මතුවෙලා තියනවා. නමුත් අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඉන්නේ, මේ විවිධ අවස්ථාවල කෑලි කපල, අමුනලා, අටවලා තිබෙන මේ ව්‍යවස්ථාව මුළුමනින්ම වෙනස්කොට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපේ රටට ගෙන ආ යුතුයි කියන ස්ථාවරයේ තමයි ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි ඉන්නේ. එය පුර්ණ ව්‍යවස්ථාවක් අපේ රටට අවශ්‍යයි. නමුත් මේ අයගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු විය නොහැකියි. නමුත් මේ ගෙනෙන සංශෝධනයෙත් ගෝඨාභයගේ බලය තහවුරු කර ගැනීමේ බල උවමනාව තහවුරු වී තිබෙන බව පැහැදිලියි. ඒ නිසා තවදුරටත් අපේ යෝජනාව වන්නේ 19 සංශෝධනයේ තිබුණු පරිදිම, ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යධුරයක් දැරීමට නොහැකිවිය යුතුයි. නමුත් දැනට මේ 21 වන සංශෝධනයේ එහෙමවෙලා නෑ. ඒ නිසා අපි අපේ සංශෝධන දැනට විදිහට ඉදිරිපත් කරනව.”
පක්ෂ මාරු කළහොත් මන්ත්‍රී ධුරය අහෝසි විය යුතුයි
ජනාධිපතිවරයාට සමාවදීමේ බලය යම් සීමාවකට යටත් කල යුතුයි.
ජනාධිපතිවරයාට අමාත්‍යංශ දැරීමේ බලය නොලැබිය යුතුයි.
ද්විත්ව පුරවැසියන්ට තවත් රජයේ තනතුරු සඳහා පත්වීමට බාදා ඇතිකළ යුතුයි.
අමාත්‍යංශ ලේකම්වරුන් ව්‍යවස්ථාදායක සභාව හරහා පත්කළ යුතුයි.
“ජනතා නියෝජිතයන්ගේ වත්කම් බැරකම් හා ඊට අදාලවන පැමිණිලි මත පදනම්ව අල්ලස් කොමිසම හෝ අපරාධපරික්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ වත්කම් පිලිබඳ විමර්ශනයන් සිදුකිරීම සඳහා බලය මෙම සංශෝධනයට ඇතුලත් කල යුතුයි .
මෙම නව සංශෝධනය හරහා ගොඩනැගෙන පාර්ලිමේන්තුවට වර්තමාන අගමැතිවරයාට හා පාර්ලිමේන්තුවට ඒ බලතල දැරීමට කිසිදු සදාචාරාත්මක හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් නොමැති බැවින් මෙම නව 21 වන සංශෝධනය හරහා පැවරෙන බලතල ක්‍රියාත්මක කිරීම සඳහා නව පාර්ලිමේන්තුවක්, නව අගමැතිවරයෙක් පත්කර ගැනීම සඳහා ජනවරමකට ඉඩ ලබාදිය යුතුයි. ඒ සඳහා මෙම පාර්ලිමේන්තුවේ කාලය සීමාකළ යුතුයි.
මෙම යෝජනා ටික සහ තවත් යෝජනා අපි සාකච්ඡා කරමින් සිටිනවා. මෙම යෝජනා අපි මෙම 21 වන සංශෝධනයට අපේ සංශෝධන හැටියට අපි බාරදෙන්න අපි බලාපොරොත්තුවෙනවා.”

සබැඳි

Leave a Reply

Your email address will not be published.