“විඳින්න පුළුවන් පොත් මුණගැහෙන්නේ කීපයක් විතරයි”

“නිරූගේ බර සුසුම්, ආදර අනුමැතියක් සඳහා හිස නූස්සා, දිලිසෙන ඇස් පමණක් උස්සා බලන බැල්ම, එකිනෙකාට අවනත මෙහොත පැමිණෙන තෙක් බලා සිටිය හැකි මැද පන්තික ශිෂ්ට සම්පන්න නුරාගික ඉවසීම, ආදරය හා බැඳුණු දේවලට මිස, කෑමට, බීමට, නින්දට දෙවැනි නොකරන හැදෑරීම පිළිබඳ ඇගේ නොතිත් ආශාව, සුවඳ ගණනාවක එකතුවක් සේ මේ ගිහි අරම තුළ සැරිසරයි. එයම ශක්ති විශේෂයක්ව මේ ගිහි අරම වෙත මා ඇද බැඳ තබා ඇත.”
කියවන්න නම් පොත් බර ගාණක් නිතර ම හම්බවෙනවා.
ඒ අතරින්, විඳින්න පුළුවන් පොත් මුණගැහෙන්නේ කීපයක් විතරයි.
සරලව ම කීවොත්, ප්‍රේමානිශංස කියන්නේ, කලාතුරකින් හම්බවෙන ඒ විදියේ විඳින්න පුළුවන් පොතක්…
අහස්ගෙන් රහස් (කියවන පොතක නොකියවෙන කතාවක්) #117
“මම නිසොල්මනේ අසා සිටියෙමි. ඈ මට ඉහළින්, මිනිස් දුවකට ඉහළින්, දෙව්දුවක් ලෙස දුටිමි. සුළඟක් නැතත් රන්වන් කෙහෙරැලි ඇගේ දෙකන්වල අඩක් වසා ගෙන වලාකුළක් ලෙස පියාඹනු දුටිමි. ඉතියෝපියානු රූමතියකගේ සේ පිහිටා ඇති උස් පාද හා දෙකලවා ස්ත්‍රීලාලිත්‍යයට වැඩිමනක් අගයක් ලබාදේ.”
ව්‍යාපාරික පරම්පරාවක අවසන් උරුමක්කරුවා ලෙස බැඳීම් ඇති තරුණයෙක්.
කලා පරම්පරාවක නූතන පුරුකක් වුණ නිදහස්කාමී තරුණියක්.
නොයෙකුත් වෙනස්කම් මැද, බාධක මැද, ළං වෙමින් වෙන් වෙමින් ගලාගෙන යන ඔවුන් දෙදෙනාගේ ප්‍රේම කාව්‍යයයි මේ…
මං නවකතාවකට වශී වුණා නම්, ඒ, කතාවේ සාරාංශය හින්දා නෙවෙයි; කතුවරයා ඒ කතාව ඉදිරිපත් කරන ආකාරයටයි.
මේ කතුවරයාත්, හරි ම ළගන්නාසුලු විදියට සුමට බස්වහරකින්, කතාවකට ඔබ්බෙන් ගිය කාව්‍යමය රසයක් මවමින්, මේ කතාව ගොඩනඟනවා.
ඓතිහාසික සිදුවීම් සහ නටබුන්, ආගමික හා සංස්කෘතික කතාබහ, පූජාස්ථාන හා නූතන පරිසරයේ සොඳුරු නිදහස් ස්ථානත් එකතු කරගෙන, කතාවේ පසුබිම හරි අපූරුවට සිත්තම් කරන්නත් අමතක කරන්නේ නෑ.
හෙමින් හෙමින් ගොඩක් කාලයක් රසවිඳින්න හැකි වැනිලා හිමකිරමයක් තරමට, මේ කතාව හදවතට දැනෙන්නේ කතුවරයාගේ දක්ෂතාවය හින්දාමයි.
“හන්තාන කන්ද තවත් කන්දක් නොව කවියන්ට ගෝචර වූ රමණීය කන්දක් බවත්, දළදා මාලිගාව හා ලේවැල්ලේ පිහිටි ගංගාරාමය, කොළඹ වෙනත් පන්සලක් හෝ පානදුරේ අපේ පවුලේ ආධිපත්‍යය හිමි පන්සලට වඩා වෙනස් ආගමික හා සංස්කෘතික උරුමයක් බවත් මගේ ආත්මයට කා වැදුණේ මා ඉගෙන ගනිමින් සිටින පුරාවිද්‍යා පශ්චාත් උපාධියෙන් ලද දැනුම නිසා නොව, නිරූ ඒ සඳහා මගේ ආත්මයේ අවයව වෙනස් කළ හේතුවෙනි.”
– අරුණ අහස් රත්නායක

Leave a Reply

Your email address will not be published.