“යහපත් ප්‍රතිපත්තිමය තීරණයන්ට පක්ෂ භේදයකින් තොරව දේශපාලන අධිකාරියේ සහයෝගය ලබා දෙන්න”

“යහපත් ප්‍රතිපත්තිමය තීරණයන්ට පක්ෂ භේදයකින් තොරව දේශපාලන අධිකාරියේ සහයෝගය ලබා දෙන්න” – රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මහබැංකු අධිපතිවරයා ඉල්ලීමක් කරයි
අර්බුදය විසඳමින් මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට ගතයුතු ප්‍රතිපත්තිමය තීරණ සහා අදාළ ඉදිරි ගමන් මග පිළිබද පූර්ණ වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙසටත් නිර්දේශ..
රුපියල් ට්‍රිලියනයක් දක්වා ණය සීමාව වැඩි කිරීම සඳහා වන යෝජනාවට කාරක සභාවේ අනුමතිය..
වත්මන් අසීරු ආර්ථික තත්ත්වය තුළ පවතින සැබෑ යථාර්ථය නොසගවා ජනතාවට පවසන ලෙසත් දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරය සදහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ සදහා පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන ලෙසත් මහබැංකු අධිපති (ආචාර්ය) නන්දලාල් වීරසිංහ මහතා අද ( 24) පාර්ලිමේන්තුවේදී පැවැති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ඉල්ලීමක් කළේය.
මීට පෙර ඉන්ධන මිල සූත්‍රයක් හදුන්වා දුන් අවස්ථාවේදී ඊට එල්ලවූ විරෝධය හමුවේ එය ‍ක්‍රියාවේ යෙදවීමට නොහැකිවූ බවත් අනතුරුව අද වන විට එය හදුන්වා දීමට සිදුවී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපාගේ ප්‍රධානත්වයෙන් වත්මන් ආර්ථික අර්බුදය පිළිබද සාකච්ඡා කිරීම සදහා මහබැංකු අධිපති (ආචාර්ය) නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නිලධාරීන් අද රජයේ මුදල් පිළිබද කාරක සභාවට කැදවූ අවස්ථාවේදී මහබැංකු අධිපතිවරයා මේ බව පැවසීය.
වත්මන් ආර්ථික අර්බුදය විසඳමින් මෙරට ස්ථාවර ආර්ථිකයක් ක්‍රමිකව ගොඩනැගීම සදහා ගතයුතු ප්‍රතිපත්තිමය තීරණ සහා අදාළ ඉදිරි ගමන් මග පිළිබද පූර්ණ වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස මුදල් කාරක සභා සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙහිදී නිර්දේශ කළේය. ඒ අනුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඊට අවශ්‍ය සහය ලබා දීමට අපේක්ෂා කරන බවත් මුදල් කාරක සභා සභාපතිවරයා පැවසීය.
වත්මන් ආර්ථික තත්ත්වය පිළිබද පැහැදිළි කරමින් මහබැංකු අධිපතිවරයා පවසා සිටියේ ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති සදහා වෙන් කළ ඇ.ඩො මිලියන 600 ක මුදලක් ඉදිරි කාලය සදහා ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සදහා යෙදවීමට එකග වී ඇති බවයි.
එසේම කෙසේ හෝ ඩොලර් සපයා දුන්නද විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ලිට්‍රෝ ගෑස් වැනි ආයතන ලබන අධික පාඩුව හේතුවෙන් ඩොලර් මිලදී ගැනීමට ඔවුන් සතුව රුපියල් නොමැති වීමද බලවත් ගැටලුවක් බව ඔහු පෙන්වා දුන්නේය. තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා මේවන විට පැවැත්වෙන බවත් පළමුවටයේ තාක්ෂණික අංශයේ සාකච්ඡාවල අවසන් දිනය අද බවත් ඒ මහතා පැවසීය. එම සාකච්ඡා සාර්ථක කොට ණය ප්‍රතිව්‍යුහත කිරීම සහ අදාළ IMF ගිවිසුම් ගතවීම දක්වා ගතවන ඉදිරි මාස 3-4 ක කාලය අභියෝගාත්මක බවත් ඒ සදහා හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.
පසුගිය කාලය තුළ අයවැය පිළියෙල කිරීමේදී ඇස්තමේන්තු ගත රාජ්‍ය ආදායම සැබෑ තත්ත්වයට එහා ගිය යථාර්ථවාදී නොවන ආදායමක් ලෙස ඉදිරිපත් කිරීම නිසා පාර්ලිමේන්තුව ද නොමග යාම සිදුවූ බව මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය. මේ නිසා මෙම ඇස්තමේන්තු ගත රාජ්‍ය ආදායම මත පදනම්ව අමාත්‍යාංශ ඇතුළු වියදම් සදහා ඉහළ මුදලක් වෙන් කිරීමත් අවසානයේ එම වියදම පියවා ගත නොහැකිව ඉහළ අයවැය පරතරයක් ඇති වීමත් ණය උගුලක හිරවීමටත් මෙම තත්ත්වය හේතු වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
මීට අමතරව ආදායම් බදු නිසි ලෙස අයකරගැනීම සදහා යාන්ත්‍රණයක් ඇති කිරීම, මැණික් කර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්තයන්ට අදාළව අපනයනයේදී සහ ආනයනයේදී සිදුවන අක්‍රමිකතා වළකා නිසි ආදායම් රටට හිමිකර දීම ඇතුළු කරුණු කාරණා ගණනාවක් පිළිබදවද මෙහිදී සාකච්ඡා විය.
තවද දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ මීට පෙර අවසර දෙන ලද මුදලට වඩා වැඩිපුර රුපියල් ට්‍රිලියනයක් දක්වා ණය ලබා ගැනීමේ සීමාව වැඩි කිරීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අද පැවති මුදල් කාරක සභාවේ එකගත්වය හිමිවිය.
අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, (ආචාර්ය) නාලක ගොඩහේවා, අනුප පැස්කුවල්, (ආචාර්ය) සුරේන් රාඝවන් යන මහත්වරුද මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා බැංකුව, ශ්‍රී ලංකා රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a Reply

Your email address will not be published.