විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සියදිවි නසාගැනීමට පොළඹවන්නේ කවුද?

වර්තමානයේ රට තුළ පවතින ආකාරයේ ව්‍යසනකාරී – අර්බුදකාරී වාතාවරණයකදී විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හෝ එවැනි පිරිස් රැකබලාගැනීමේ සහ ඔවුන්ට අපහසුතා ඇතිවීම වැළැක්වීමේ වගකීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වන ජාතික කවුන්සිලය හරහා අදාළ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැරිය යුතු බව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂ, මනෝ වෛද්‍ය විශේෂඥ ජයාන් මෙන්ඩිස් අවධාරණය කරයි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල වගකීම
මෙවැනි අවස්ථාවලදී අදාළ පුද්ගලයන් හුදෙකලා නොකොට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් විකල්ප රැකබලාගැනීමේ ස්ථානයක් වෙත යොමුකිරීම හෝ පහසුකම් සැලසීම කඩිනමින් සිදු කළ යුතු බව ද පෙන්වා දෙන මනෝ වෛද්‍ය විශේෂඥවරයා, එම වගකීම ඉටුවන තත්ත්වයක් පෙනෙන්නට නොමැති වීම බරපතළ තත්ත්වයක් බව ද සඳහන් කරයි. තමන්ට කිසිදු රැකවරණයක් නොමැති බව හැඟීයෑමෙන් ඔවුන් දැඩි භීතියට පත්වන බවත්, එවැනි අවස්ථාවල ඔවුන් සියදිවි නසාගැනීමට පෙළඹෙන බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
1996 අංක 28 දරන පනත
මෙවැනි විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් වගකීම සහිත සමාජ සේවා සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වන ජාතික කවුන්සිලයක් තිබේ. 1996 අංක 28 දරන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන පනත යටතේ මෙම කවුන්සිලය පිහිටුවා ඇත. අදාළ විෂය භාර ඇමැතිවරයා එම කවුන්සිලයේ සභාපතිවරයා විය යුතු බවත්, සභාපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයන් 11 දෙනෙකු සහ විවිධ ක්ෂේත්‍රවලින් මෙන්ම පළාත් සභා සහ පළාත්පාලන ආයතන මට්ටමින් පත්කෙරෙන සාමාජිකයන් 9 දෙනෙකුගෙන් මෙම කවුන්සිලය සමන්විත වන බව පනතේ සඳහන් ය. විෂය භාර ඇමැතිවරයාගේ උපදෙස් මත මේ සියලු සාමාජිකයන්ට විධිමත් ලෙස ගෙවීම් සිදු කළ යුතු බව ද එහි දක්වා ඇත. එනම් මෙය ගරු සේවයක් නොවන අතර, රාජකාරියකි.
පහසුකම් සැපයීමේ වගකීම
කවුන්සිලය යටතේ ක්‍රියාත්මක විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වන ජාතික ලේකම් කාර්යාලයක් පිහිටුවීමට ද පනත මගින් ප්‍රතිපාදන සකස් කර තිබේ. මෙම පනතේ 13 (අ) හි කවුන්සිලයේ කාර්යය යටතේ සඳහන් වන්නේ මෙම කවුන්සිලය පළාත්පාලන ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යල සමග සම්බන්ධ වී, ඒ එක් එක් ප්‍රදේශවල සිටින විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් පිළිබඳ ලැයිස්තුවක් ලබාගෙන, ඔවුන්ගේ සුබසාධන කටයුතු සඳහා මැදිහත් විය යුතු බවයි. එහි අංක 06 යටතේ රට පුරා සිටින එවැනි පුද්ගලයන්ගේ ලැයිස්තුවක් නඩත්තු කළ යුතු බව ද සඳහන් ය. එසේම අවශ්‍ය අවස්ථාවලදී, විශේෂ තත්ත්වයක් යටතේ ඔවුන්ට අදාළ සියලු පහසුකම් සැපයීම ද මෙම කවුන්සිලයේ කාර්යයක් ලෙස පනතේ සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මනෝ වෛද්‍ය විශේෂඥ ජයාන් මෙන්ඩිස් පවසන්නේ කවුන්සිලයෙන් අපේක්ෂිත කාර්යභාරය ඉටු නොවීම කනගාටුවට කරුණක් බවයි. අඩු තරමේ ඔවුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමග සම්බන්ධවෙමින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය සඳහා පහසුකම් සැපයීමක් හෝ සිදු නොකරන බව ද වෛද්‍යවරයා පෙන්වා දෙයි.
මෙසේ වගකිවයුතු පාර්ශ්ව තම වගකීම් ඉටුනොකිරීම හේතුවෙන් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සියදිවි නසාගැනීමේ දැඩි අවදානමක් පවතින බවත්, ඊට හේතුව ඔවුන්ට මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමට හැකියාවක් නොමැති වීම බවත් පෙන්වා දෙන වෛද්‍යවරයා, කොවිඩ් 19 වසංගත තත්ත්වය උග්‍රව පැවැති අවස්ථාවේදී එවැනි සියදිවි නසාගැනීම් ගණනාවක් වාර්තා වූ බව ද අවධාරණය කරයි.
කලාපයේ දෙවැනි තැන ලංකාවට
කෙසේ වෙතත් ආසියානු සංවර්ධන බැංකුව මගින් 2019 වසර අවසානයේදී නිකුත් කරන ලද ආසියානු කලාපයේ සමාජ ආරක්ෂණ දර්ශකය පිළිබඳ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව සිටින්නේ කලාපයේ දෙවැනි ස්ථානයේ ය. ලංකාවට ඉදිරියෙන් සිටින්නේ තායිලන්තය පමණි. ළමා, වැඩිහිටි සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වන සුබසාධක සේවා සම්බන්ධයෙන් මෙම වාර්තාව සකස් කර ඇත.

Leave a Reply

Your email address will not be published.