“හැමෝම අතරමං වෙන්න පුළුවන්”– සහසලා හුණුකුඹුර(මේ මොහොත වන විට ඇය මෙලොව හැර ගිහින් පැය ගණනක් )

සහසලා හුණුකුඹුර ඊයේ (22) දින මෙලොව හැර ගිහින් මෙහි පලවන්නේ ඇය සමඟ මීට වසරකට එපිටදී රශ්මික මණ්ඩාවල ලංකා පුවත්පතට සහ ලංකා වෙබ් අඩවියට කරන ලද සම්මුක සාකච්ඡාවකි. පහත මුලින් පලවන්නේ සහසලාගේ මියයාම දැනගත් මොහොතේ රශ්මික මණ්ඩාවල විසින් තබන ලද ෆේස්බුක් සටහනකි.
“සහසලා කියන්නේ බොහොම කෙටිකාලෙකින් හිතවත්ම යාලුවෙක් වුන කෙනෙක්. සහසලාගෙ මං අතරමං පොත කියවලා ඒ ගැන කතාකරලා තමයි අපේ යාලුකම පටන් ගත්තේ. දෙවෙනි පොත ප්‍රින්ට් කරන්න කියවලා බලන්න කියලා එව්වේ මාස දෙක තුනකට කලින්. ඒක ඉවර වෙන්නත් කලින් එයා මේ ලෝකෙන් ගිහින්. සහසලා සුබ ගමන්. හරිම අමාරුයි මේක දරාගන්න.”
ලාංකීය සාහිත්‍ය තුළ මනෝ විශ්ලේෂණීය නවකතා බිහිවන්නේ තරමක් සීමිතව ය. සමන් වික්‍රමාරච්චිගේ ‘අප්පච්චි ඇවිත්’ කෘතිය ඇතුළුව එවැනි කෘති බිහිව ඇත්තේ අල්ප වශයෙනි. සාම්ප්‍රදාය බිඳදමින් රැඩිකල් චරිතයක් වීමට උත්සාහ කරන මනෝ ව්‍යාධියක් ඇති තරුණියක් සහ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු අතර ඇතිවන සම්බන්ධයක් හරහා ගලායන ‘මං අතරමං’ නවකතාව සහසලා හුණුකුඹුරගේ කුළුඳුල් නවකතාවයි. කතාවේ තේමාත්මකය එසේ වුවද එය ලාංකීය සමාජය තුළ කාන්තාව පෙළන සංස්කෘතික සීමා, දරුවන්ගෙන් තම බලාපොරොත්තු ඉටුකරගන්නට උත්සාහ කරන දෙමාපියන් ගේ ඛේදවාචකය වැනි අතුරු තේමා වලට විහිදෙයි. එහි කතුවරිය අප සමඟ සම්මුඛ වුනේ මේ අයුරිනි.
මං අතරමං කියන නම සංකේතීයව අද අපි හැමෝම මුහුණ දීලා තියෙන තත්වයක් වගේ කියලා මට දකිද්දිම හැඟුනා. මං අතරමං කෘතියට ඔබ එළඹුනේ කොහොමද? මේ තේමාව සහ සමාජය අතර සම්බන්ධය ගැන ඔබේ අදහස මොකක්ද?
ලංකාව විතරක් නෙවෙයි, ආසියාතික රටවල ජීවත් වෙන අපි හැමෝම ජීවිතය තුළ එක් අවස්ථාවක හරි අතරමං වෙනවා. ඒක තවදුරටත් පැහැදිලි කරොත් ඕනෑම කෙනෙකුට, ඕනෑම දෙයක් ගැන පවතින තත්වය ප්‍රශ්න කරන්න හිතෙන අවස්ථා එන්න පුළුවන්, ඕනෑම අවස්ථාවක කඩතුරාව ඇරිලා මේක වැරදියි කියලා හිතෙන, ඒත් අපි ජීවත්වෙන සමාජ වටපිටාව ඒක එහෙමයි කියන නිසාම නැවතත් අපේ සාමාන්‍ය මනෝභාවයට පත්වෙන අවස්ථා හෝ අපි විසින්ම ඒ තේරුම් ගත්ත සත්‍යය අවශ්‍යයෙන්ම බැහැර කරන අවස්ථා ඕනතරම් තියෙනවා. ඒක කෙනෙක් උවමනාවෙන්ම කරනවා, කෙනෙක් නොදැනුවත්වම වෙනවා. ඒක බහුතරයක් දෙනා සැඳෑ සමයෙදිවත් තේරුම් ගන්නෙ නෑ. විශේෂයෙන් ලංකාවෙ රාමුවක් තුළ ජීවත් වෙන කෙනෙක් සමාජය තුළ උත්කර්ෂයට නංවන ගැහැණු දරුවෙක්ගෙ රූපය, පිරිමි දරුවෙක්ගෙ පෞරුෂය වගේ කරුණු ගත්තම, ඒ උත්කර්ෂය උපතින්ම හිමි නොවන කෙනෙක් මොන අතින් ඉහළට ගියත් මේ සමාජය විසින්ම කොයිම මොහොතක හරි ඒ කෙනාව මේ අතරමං වීමට භාජනය කරවනවාමයි. අපි හිතමු පිරිමි ළමයෙක්ගෙ කටහඬ මෘදුයි කියලා. ඒ ළමයගෙ අනිත් දක්ෂතා මොනවා තිබුනත් එයා මේ කටහඬ නිසාම මනෝමූලිකව අතරමං වෙන අවස්ථා එනවාමයි. එහෙම අතරමං වෙච්ච කෙනෙක් යම් මානසික ව්‍යාධියකට පත් වුනත් අර සමාජය විසින්ම ඒ කෙනාගෙ පවුලේ සාමාජිකයින්ව පත් කරලා තියෙන සාමාජීය තත්වය එක්ක ඒක මානසික ව්‍යාධියක් කියලා පිළිගන්නත් අකමැතියි. ඉතින් ගොඩක් අයට වෙන්නෙ ජීවිතය පුරාම අතරමං වෙලා ඉන්න තමයි. විශේෂයෙන්ම මේ කතාවෙ ප්‍රධාන චරිතය වගේ හැම අතින්ම දක්ෂ, බොහොම නිර්භය කොටින්ම අපි කියන්නෙ සියළු දේම උපතින්ම අරගෙන ආපු දරුවෙක් තුළ මේ වගේ මානසික අවපාත තත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා දෙමව්පියනවත් විශ්වාස කරන්නෙ නෑ. එහෙම වටපිටාවක එයාට දවසක “මං අතරමං” කියන්න වෙන්නෙ නැද්ද.
මට අවශ්‍යවුනේ මේ සමාජීය ප්‍රශ්න පුද්ගලානුබද්ධ මානසික ව්‍යාධියක් බවට ක්‍රමයෙන් පත්වෙන එක ගැන කතා කරන්න. අපි ජීවත්වන වටපිටාවම ඒ ව්‍යාධීන්වලට රුකුල් සපයන විදිහ ගැන කතිකාවක් ගෙන එන්න. හැබැයි ඒ වගේම මම දන්නවා ලංකාවෙ සාහිත්‍යය දැන් විතැන්වෙලා ගිහිල්ලා නතර වෙලා තියෙන්නෙ කොතනද කියලා. අපි ජනප්‍රිය සහ ප්‍රශස්ථ කියලා ලක්ෂ්‍ය දෙකක් අරගෙන රේඛාවක් ඇන්දොත් ගොඩක් නවකතා දැන් දැන් ජනප්‍රිය අන්තයට බර වෙනවා. ඒ කතා තුළ ගතයුතු හරයක් නෑ කියලා නෙවෙයි මම කියන්නේ. නමුත් මුල් තැන ලැබෙන්නේ අන්තර්ගත පරිකල්පනයට වඩා කතාවට. ප්‍රශස්ත අන්තයට වඩාත් ළංවෙන කතා අත්‍යන්තයෙන්ම බැහැර වෙනවා මේ පාඨකයන් අතින්. මට අවශ්‍ය වුනේ මම මේ පොත හරහා ගෙන එන කතිකාවට අර ජනප්‍රිය ගණයේ පොත් කියවන පිරිසත් එකතු වෙන්න. මොකද මම කැමති මම අර කිව්ව සරල රේඛාවෙ හරි මැද ඉඳන් ලියන්න. ඒ නිසයි යම් සංකීර්ණ් මනෝභාවයක් ගැන සාකච්ඡාව මේ වගේ ප්‍රසිද්ධ ආදර කතාවක් හරහා කරන්න හිතුවෙ.
මං අතරමං නවකතාව මම ලියන්න පටන් ගත්තෙ 2009 වසරෙදි. මේකට මූලික ප්‍රස්තූතය මගෙ ඔළුවට එන්නෙ මා වටා සිටින චරිතයක් නිසාම තමයි. ඇත්තටම කිව්වොත් මේ කතාව තුළ මම කතා කරන්න උත්සාහ කරන ආකාරයේ චරිත බොහොමයක් අපේ සමාජය තුළ ගැවසෙන සාමාන්‍ය චරිත. විශ්ව විද්‍යාලයක් ඇතුලෙ මතු පිටින් නොපෙනෙන, සාමාජීය, සංස්ක්ෘතික අන්ධභාවය නිසාම කෙනෙකුට අවබෝධ නොවන, විශේෂයෙන් ගමක ඉපදුණු කෙනෙක් විශ්ව විද්‍යාලය ගැන මවාගෙන ඉන්න යුතෝපියාවට බාධා කරන සංසිද්ධීන් බහුලයි. උදාහරණයක් විදිහට ගත්තම විශ්ව විද්‍යාල කථිකාචාර්‍ය පදවිය කියන ගරු නම්බුව උත්කර්ෂයට නංවාගෙන ඒක ආත්මාර්ථය සඳහා පාවිච්චි කරන කථිකාචාර්‍ය්වරුන් වගේම ඒ ආත්මාර්ථයෙන් ප්‍රයෝජන ගන්න ශිෂ්‍යාවනුත් නැතිව නෙවෙයි. අතීතයෙත් හිටියා, අපේ කාලෙත් අපි අත්දැක්කා, ඊයෙත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉඳියි.
මේ කතාව තුළ සිද්ධීන් බහුතරයක් මට හෝ වෙන කෙනෙකුට විශ්ව විද්‍යාලය තුළ සිද්ධ වෙච්ච සිද්ධීන්. ලංකාවෙ උසස් අධ්‍යාපන ආයතන විශ්ව විද්‍යාල කියලා නම් කරලා තිබ්බට ඒ ලැබෙන අධ්‍යාපනය තුළ සමාජ, ආර්ථික, ගෝලීය අවබෝධයකින් යුතු විද්‍යාර්ථියෙක් බිහි වෙනවද කියන එක ප්‍රශ්නයක්,
සරසවිය, පේරාදෙණිය වගේ වචන ප්‍රේමය එක්ක බැඳීමක් තියෙන වචන. මේවා ඔබට බලපෑවේ කොහොමද? ලංකාවේ වර්තමාන තාරුණ්‍යය සහ ප්‍රේමය ගැන ඔබට තියෙන්නේ කොහොම අදහසක්ද?
මම කළිනුත් කිව්වා වගේ මම ප්‍රේම කතාවක්, මේ නවකතාවට පාදක කරගන්න හේතුවම මේක ජනප්‍රිය සහ ප්‍රශස්ත අතර මැද ඉඳල ලියන්න ඕන නිසාමයි. එහෙම නැතුව සරසවි ප්‍රේමයෙන් ආතුරවීම හෝ සරසවි ප්‍රේමය උත්කර්ෂයට නැංවීම නෙවෙයි. අනිත් එක ඕනම සරසවියක් තුළ ඔය වගේ ආදර කතා ඇති. මට ඕන වුනේ ප්‍රථම සාමාර්ථයක් වෙනුවෙන් ඒ වගේ කැපකිරීමක් කරන්න සූදානම් ගමකින් ආව රැඩිකල් චරිතයක් ගැන කතා කරන්න. පේරාදෙණිය සරසවියෙ ප්‍රේමණීය පරිසරය ඕනම කෙනෙක්ව වල්මත් කරන්න පුළුවන්. ඒත් දහමවී කියන චරිතය සකිතරත් එක්ක ප්‍රේමයෙන් බැඳෙන්නෙ බාහිර සාධක නිසාම නෙවෙයි. එයා ආදර සම්බන්ධතාවයකින් බලාපොරොත්තු වෙන මානසික සුරක්ෂිතතාවය හෝ නැත්නම් පරිණත ඇසුර වෙන්නත් පුළුවන්. ඒකයි කථකයා හරහා රැඩිකල් ගැහැණු කෙනෙකුගේ අභ්‍යන්තරය ගැන මම කතා කරන්නෙ. ඒ වගේම සකිතර වුනත් ප්‍රේමයට ආගන්තුකයි. එයා ආදරය කියලා හඳුනාගෙන තියෙන්නෙම රාගය හෝ කායික පෙළඹවීම. ආදරය වුනත් එකිනෙකා හඳුනාගන්න මානයන් වෙනස් වෙනවා. කෙනෙක් ආදරය සහ අනුරාගය සමව විඳින්න කැමති වුනාට තව කෙනෙක් කායිකව ලබන තෘප්තියට වඩා මානසිකව ලැබෙන තෘප්තියට මුල් තැන දෙන්න පුළුවන්. මේ කතාවෙ එන නිරවද්‍යා වගේ චරිත ඕන තරම් අපි අහලා අත්දැකලා තියෙනවා. හැබැයි දහමවී වගේ චරිත හරි අඩුයි.
මම හිතන්නෙ ප්‍රේමය ගැන මගේ අදහසත් දහමවී ප්‍රේමය ගැන දරණ අදහසමයි. ප්‍රේමය කොතැන, කොහොම, කා වෙනුවෙන් ඇති වෙනවද කියලා අපිට පාලනයක් නෑ වගේම ප්‍රේමයේදී සීමාවන් තියාගන්න ඕන කියලත් මම හිතන්නෙ නෑ. හැබැයි ප්‍රේමය නිසා ලැබෙන අතුරුඵලයන්ට අපේ ජීවිතය ඉදිරිය පාලනය කරන්න දෙනවද කියන එකත් අපි තීරණය කරන්න ඕන දෙයක්.
තාරුණ්‍යය, ප්‍රේමය අරගත්තොත් එකිනෙකට බැඳුණු වචන. මගෙ අදහසනම් ප්‍රේමයේ සුන්දරත්වය විඳින්න ලාංකික අපි දන්නෙ නෑ. ප්‍රේමය සහ අනුරාගය වෙන් කරන තැනම ප්‍රේමයේ සුන්දරත්වය මැරෙනවා. අපි හොයන්නෙම ” සඳ එළිය සේ අචින්ත්‍ය ප්‍රේමයක්”. සංස්කෘතිය සහ කලාව විසිනුත් අපිට ප්‍රේමය අර්ථකථනය කරන්නෙ යථාර්ථයට එහා ගිය මුලාවක ඉඳන්. ඒ නිසාම අපි ප්‍රේමය විඳින්නෙ කොටුවක ඉඳන්. ලංකාව තාක්ෂණය හරහා විශ්ව ගම්මානයත් එක්ක එකතු වුනත් තාමත් මේ සමාජීය සංස්කෘතික බාධාවන් අපිට තියෙනවා. මානුෂීය හැඟීමකට එහෙම කොටුවක් හදනවට වඩා ප්‍රේමයේ අතුරුඵල ගැන තරුණ පරපුර දැනුවත් කිරීම ඉතාම වටිනවා. තරුණ්‍යයේදී දරන්න අපහසු බරක් දරන්න මාවත හදන දරුවෙක් පිළිසිඳ ගැනීම වගේ තත්වයකට පත් නොවෙන්න දැනුවත්වීම මූලිකවම වෙන්න ඕන දෙයක්. ඒත් අපේ සමාජයෙන් වෙන්නෙ සෞන්දර්යාත්මක හැඟීම් මරාදාලා තාරුණ්‍යය හිරකරන්න උත්සාහ කිරීම. ඒ නිසා තමයි තරුණ පරපුර අසහනයකින් ඉන්නෙ. රහසින් ප්‍රේමයේ සුන්දරත්වය විඳින්න යන්නෙ. එයින් බිහිවෙන්නෙ අතෘප්තිකර මිනිසුන් කොට්ඨාශයක්. අපේ රටේ ප්‍රශ්නය ඒකයි. සෞන්දර්යාත්මක මිනිස්සුන්ව සමාජය විසින් හිරකරලා අතෘප්තිකර මිනිස්සු බවට පත් කරලා. ඒක අද තරුණ පරපුරටත් වෙනසක් නෑ.
අද සමාජයෙත් අපි දකින දෙයක් තමයි ළමයින්ට ඔවුන්ගේ නිදහසේ යායුතු මාර්ගයට යා නොදී ඔවුන්ව තමන්ට ඕන මාර්ගයේ හසුරවන දෙමාපියන් හෝ ඥාතීන්. ඔබේ නවකතාවෙත් මේ කියන කාරණාව යම් පමණකට සාකච්ඡා වෙනවා.
ඔව් ඔබගෙ ප්‍රශ්නයට උත්තර දෙන්න කලින් මම මෙන්න මේ ටික කියලා ඉන්න ඕන. ඇත්තටම මේ කතාවට මම බොහෝ දුරට මගෙ ජීවිතයේ සත්‍ය සිදුවීම් පදනම් කරගන්නවා. කොටින්ම මම මේ නවකතාවෙ ප්‍රධාන චරිතයේ වාසගමට පවා පාවිච්චි කරන්නෙ මගෙ වාසගම. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි “හුණුකුඹුර” පරම්පරාව වඳවේගෙන යන පරම්පරාවක්. අපේ රටේ පැවැත්මක් තියෙන්නෙ තාත්තගෙ වාසගමට විතරයි. ඉතින් පිරිමි දරුවෝ නැති පවුලක වාසගම ඉදිරි පරම්පරාවලට යන්නෙ නෑ. මේ කතාවෙ කියනවා වගේම හුණුකුඹුර කියන්නෙ අපේ ගමේ නම. ඇත්තටම කුරුණෑගල රාජධානිය තියෙනකාලෙ නාථගනේ හිටපු ප්‍රාදේශීය රජ කෙනෙකුගෙ ආචාර්‍ය්න් වෙලා තියෙන්නෙ අපේ මුතුන් මිත්තො. අපේ ගම ඒ ඉගැන්වීම් වලට අපට ලැබුනු නින්දගමක්. නින්දගම් දෙන්නෙ සන්නසක් හරහානේ, එහෙම ලැබුණු සන්නසේ පිටපතක් අපි ළඟත් තියෙනවා. අපෙන් පස්සෙ වඳවෙලා යන හුණුකුඹුර පරම්පරාව ගැන ලියලා තියන එක මගෙ යුතුකමක් කියලා මට හිතුනා. දෙවෙනි එක මම ලියන්නේ සමාජයේ සුලබව පවතින මානසික ව්‍යාධීන් කීපයක් ගැන. ඒ ව්‍යාධීන්වලට ලක්වුණු මගෙ ඥාතීන් කීප දෙනෙක්ම ඉන්නවා. ඕනනම් මට ඒක සත්‍ය කතාවක් වගේ ලියන්න තිබුනා ඒ අයගෙ ඇත්ත විස්තරම දාලා. ඒත් මම හිතුවෙ මේ කතාව හරහා ඒ කිසිම කෙනෙකුට සමාජීය වශයෙන් හානියක් වෙන්න දිය යුතු නැහැ කියලා. මගෙ ජීවිතයේ මම ළඟින්ම ඇසුරු කරපු බොහෝ දෙනෙක් මේ කතාව කියවලා ලබාදීපු විචාරයන් අතර තියෙන එක් දෙයක් තමයි මම මගේ ජීවිතයේ සත්‍ය සිදුවීම් පදනම් කරගැනීම. ඒ නිසා නොදන්නාම කෙනෙක් මට මේ මානසික ව්‍යාධීන් තිබ්බා කියලා සිතීම මට සාධාරණීකරණය කරගන්න ලේසි වුනා, මගෙ ඥාති සහෝදරිය මේ හරහා යම් අවමානයක් ලබනවට වඩා. ඉතින් මම “හුණුකුඹුර” වාසගම පාවිච්චි කරමින් මේ නවකතාව හරහා යම් අපහාසයක්, අවමානයක් කෙනෙකුට වෙනවානම් ඒකත් වළක්වාගන්න උත්සාහ කරනවා.
මේ කතාවෙ වටපිටාව, මිනිස්සු මගෙ ජීවිතේට ගොඩාක් සමීප වුනාට මේක මගෙ ජීවිත කතාව නෙවෙයි. ඒක අනියමාර්ථයේ අසම්භව්‍ය ක්‍රියා අනුසාරයෙන් ලියවුනක්. උදාහරණයක් විදිහට මාව ගත්තොත් මම සාහිත්‍යයට ගොඩාක් නැඹුරු වෙච්ච දරුවෙක්. ඒවගේම ගණිතය විෂයටත් ඉතාම දක්ෂයි. මම පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් කුරුණාගල මලියදේව බාලිකා විද්‍යාලයට නොගියා නම් සහ මගෙ තාත්තා ජීවතුන් අතර හිටියානම් මගෙ ජීවිතේ දහමවී වගේ වෙන්න තිබ්බා. ඒකයි මම කිව්වෙ අනියමාර්ථයේ අසම්භව්‍යක් ක්‍රියා කියලා. ඔබ අහපු ප්‍රශ්නය මේ රටේ දරුවන්ට තියෙන බරපතල ප්‍රශ්නයක්. මට මතකයි මගෙ සාමාන්‍යපෙල සිංහල ගුරුතුමිය සෝමා ජයතිලක මහත්මිය මට කෙළින්ම කිව්වා කලා විෂයන් හදාරන්න කියලා. නමුත් මම අවබෝධයක හිටියා කලා විෂයන් හැදෑරීමෙන් මම බලාපොරොත්තු වන ආර්ථීක සෞභාග්‍ය ළඟා කරගන්න බෑ කියලා. ඇත්තටම මාව ගත්තොත් මට ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන්න කියලා කාගෙන්වත් බලපෑමක් තිබුනෙ නෑ. ඒත් ලංකාවෙ බහුතරයක් දරුවන්ට මේ බලපෑම දෙමව්පියන්ගෙන් වගේම ගුරුවරුන්ගෙනුත් තියෙනවා. මේක බස්නාහිර පළාත ගත්තම මේ වෙනකොට තත්වය වෙනස් වෙන්න පුළුවන්. නමුත් රට ඇතුලට යන්න යන්න විශේෂයෙන් කොළඹින් ඈත තදාසන්න ප්‍රදේශවල තත්වය එසේමයි. මේකෙන් සිද්ධ වෙන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ගෙ දක්ෂතාවයන් අනුව ජීවන වෘත්තියක් තෝරගත් කෙනෙකුට දවස අවසානයේ ලැබෙන්නෙ තෘප්තියක්, ඒක මම අත්දැකීමෙන් දන්නවා. එහෙම නැති වෘත්තිකයෙක් දවස අවසානයේ සමාජයට බහින්නෙ හෝ තමන්ගෙ කුටුම්බයට එන්නෙ පොදු ප්‍රවාහන සේවයට ගොඩ වෙන්නෙ යම් අසහනයකින්. අතෘප්තිකර මනසකින්. ඒ අතෘප්තිය පුද්ගලිකව ඒ ඒ පුද්ගලයාටත්, ඒ පුද්ගලයා වටා ඉන්න සමාජයටත් බලපානවා. ටිකෙන් ටික ඒක සමාජයට බලපානවා. දිගින් දිගට හිතලා බැලුවොත් ඒක නෙවෙයිද ඇත්ත. මේක අපි විශ්ලේෂණාත්මකව අවබෝධ කරනොගත්තට මේව දීර්ඝ කාලීන වැරදි දෙයක් සමාජ භාවිතයේ යෙදීමේ අතුරුඵල. දෙවෙනි එක, යම් කෙනෙක් උපතින්ම එන කලාත්මක හැකියාවන් බලෙන්ම අමතක කරලා අපේ රට වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවිත අරගලය නිසා කලාවෙන් ඈත්වීම රටක කලාවටත් බලපානවා. උදාහරණයක් විදිහට සාහිත්‍යම බලන්න. මයිකල් ඔනඩච්චිගෙන් පස්සෙ අනුක් ජාත්‍යාන්තරයට යනකන්ම ඒ අතර කාල සීමාවේ ජාත්‍යන්තරයත් එක්ක කරට කර හිටගන්න පුළුවන් කිසිම කෙනෙක් බිහිවෙලා නෑ. ඒකට හේතුව ලංකාවෙ ඒ වගේ සහජ හැකියාවන් තියෙන මිනිස්සු නැති එක නෙවෙයි. මම අර කලින් කිව්වා වගේ තමන්ගෙ හැකියාවන් තුලින් සාධාරණ ඉපයීමක් කරන්න අපේ ආර්ථිකය වගේම සමාජය මිනිස්සුන්ට ඉඩ නොදෙන නිසා, සැබෑ දක්ෂයන් කලාවෙන් ඈත්වෙලා මුදල් යහමින් උපයන්න පුළුවන් වෘත්තිකයන් බවට පත්වීම. ඇත්තටම දරුවන්ට, දෙමව්පියන්, ගුරුවරුන් කරන මේ බලපෑම දැන් රටේ සමාජීය ප්‍රශ්නයක් දක්වාම වර්ධනය වෙලා. අපි කවුරුත් ඒ ගැන හරි අවබෝධයක් නෑ. ඒකෙන් ලංකාවෙ හැම මාධ්‍යයකම කලාව තිබිය යුතු තැනට හෝ යායුතු තැනට ගිහිල්ලා නෑ.
ඔබේ නවකතාව තුළ එක්තරා විදියක ඔබ යුතෝපියානු පිරිමි චරිත නිර්මාණය කිරීමක් කරන බවක් පේනවා. විශේෂයෙන් නවකතාවේ අනුරාධ, සිද්ධු වැනි චරිත පමණක් නොව යම් පමණකට තරමක ආන්දෝලනාත්මක චරිතය වෙන සකිතර පවා දහමවී විශයෙහි දක්වන්නේ පුදුම ආදරණීය බවක්. මේ ගොඩනැංවීම ගැන කතා කළොත්?
කතාව සහ ඒ ඒ චරිත ගොඩ නැංවීමේදී මට අදහසක් තිබ්බෙ නෑ ඔබ ඔය කියන විදියේ පිරිමි චරිත ගොඩනංවන්න. ඒත් අවසානයේදී ඒ චරිත කතාව තුල හැසිරිලා තියෙන්නෙ ඒ විදිහට කියලා ඔබට හැඟෙනවානම් එතන යම් සත්‍යතාවයක් ඇති. නමුත් සිද්ධුගෙන් ඇරෙන්න අනිත් දෙන්නගෙන් ඒ යුතෝපියානු පිරිමි ගතිය දකින්න ලැබෙන්නෙ නෑ කියන එකයි මගේ හැඟීම. අනිත් එක අනුරාධ වගේ චරිතයක් මට විශ්ව විද්‍යාල ජීවිතයේදී මුණ ගැහිලා තියෙනවා. ඒ නිසා ඒක යුතෝපියානු චරිතයක්ම කියන්න බෑ. එක් එක් අය තුළ ප්‍රේමය ජනිත වීම සහ ප්‍රේමය නාමයෙන් එක් එක්කෙනා කරන කැප කිරීම්, ප්‍රේමය දනවන විධීන් වෙනස්. කෙනෙකුට හදවතින්ම තවත් කෙනෙක්ගෙ ජයග්‍රහණයක් වෙනුවෙන් සතුටුවෙන්න පුළුවන් නම් ඒක යුතෝපියානු ප්‍රේමයක්ම වෙන්නෙ නෑ නේද. ඒ වගේම සකිතරගෙ චරිතය වුනත් මම ගොඩ නැගුව යථාර්ථවාදී චරිතයක ලක්ෂණ එක්ක. සකිතරගෙ අතීතය බැලුවාම සැබෑ ප්‍රේමය අත්දකින්න නොහැකිවුනු තාරුණ්‍යයක් එක්ක මැදි වයසට ආපු කෙනෙක්. ඔහු කායික ත්ෘප්තිය තුලින් පමණක් ප්‍රේමය දකින්න බලෙන්ම ඇදලා දාපු චරිතයක්. නමුත් ඕනම කෙනෙකුට ජීවිතයේ ඕනෑම අවස්ථාවක මේ අවදිවීම ඇතිවෙන්න පුළුවන්. මෙතෙක් නොදැනුනු හැඟීමක් කෙනෙක් ගැන ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් සකිතර වගේ කලාවත් එක්ක, සාහිත්‍ය පිළිබඳ නිර්මාණාත්මක පර්‍යේෂණ කරන කෙනෙකුට මේ අවදිවීම ඒ තුළින්ම ඇති වෙන්න හැකියාවක් තියෙනවා. මෙතනදි යම් තරමකට යුතෝපියානු වෙන්නෙ සිද්ධු කියන චරිතය විතරයි.
ලංකාවෙ එහෙම ආදරණීය පිරිමි නැත්තෙ නෑ, හැබැයි හරි අඩුයි. ඔබට ඒ චරිත යුතෝපියානු වෙන්නෙ ඒ නිසයි. ලෝකෙ කොහෙත් එහෙම මිනිස්සු හරි අඩුයි, ඒත් ඉන්නවා. මම මෙහෙම උදාහාරණයක් ගන්නම්, අපි අත් දකිනවා, කියවලා තියෙනවා බටහිර සංස්කෘතියේ ප්‍රේමය ආසියාතික ප්‍රේමයට වඩා වෙනස් කියලා, සහ ඒ ප්‍රේමය අර මම කළින් කියපු විදියේ ප්‍රේමයක්. මානසික සහ කායික ත්ෘප්තිය එක්ක බැඳුනු ප්‍රේමයක්. එහෙම හැඟීම් බහුල ප්‍රේමයක්. ඒ දෙපැත්තෙන්ම කෙනෙක් ගැලපෙන්නෙ නැත්නම් ප්‍රේමය හැරයන්න බටහිර සංස්කෘතිය ඉඩදීලා තියෙනවා. අපි වගේ අඬාගෙන වැලපෙන්නෙ නෑ. නමුත් ඒ අතරත් ආසියාතික අපි උත්කර්ෂයට නංවන කෙනෙක්ගේ දුර්වලතාත් එක්ක මානසික ප්‍රේමණීය හැඟීම් වලට මුල් තැන දෙන අය නැතිව නෙවෙයිනෙ. නික් වොයෙජජ්ගෙ බිරිඳ එහෙම කෙනෙක්. ඒ නිසා මගෙ අදහස මේ පිරිමි යුතෝපියානු නෑ කියන එකයි.
මේ නවකතාව මනෝවිශ්ලේෂණීය ආදර කතාවක් ලෙස දකින්න මම කැමතියි. දහමවී ගේ මේ පඩිපෙල්වල පෙරලීම වගේ තත්වයන්හි සිට පුරුෂයන් කෙරෙහි ඇගේ දෘෂ්ටිය සකස්වීමට ඇය සමාජ සේවා ආයතනයකදී අසන්නට ලැබෙන කාන්තාවන්ගේ කතා බලපෑම් කරන බවක් පෙනෙනවා. මේ මානසික ස්වභාවය ගැන කතා කළොත්?
දහමවීට පිරිමින් විෂයෙහි අත්දැකීම් අඩුයි. ඇය පොඩි කාලයේ ඉඳන්ම සීමිත පිරිමින් පිරිසක් ළඟින් ඇසුරු කරන කෙනෙක්. නමුත් ඇය කොළඹ ආවට පස්සෙ සිද්ධු පසෙකින් පලිහක් ලෙස තියාගෙන ඇයට රිසි පරිදි පිරිමින්ව ඇසුරු කරනවා. මේ පඩිපෙළවල් පෙරළීම එන්නෙ ජීවිතයේ බොහෝ දේවල් ලැබුනු කෙනෙක් යම් දෙයක් නොලැබුනාම ඒකත් මොන විදිහකින් හරි ලබාගන්න උත්සුක වෙන මානසිකත්වය එක්ක, මේ තත්වය අපි ඕනම කෙනෙක්ට ඇති වෙන්න පුළුවන්. ඇය එක්තරා වයසකදි අවබෝධ කරගන්නවා ඇයට පිරිමින් විෂයෙහි අවධානය ලබාගන්න නම් යම් දෙයක් කරන්න අවශ්‍යයි කියා. ඒ නිසා තමයි ඇයත් නොදැනීම ඇගේ ශරීරය ඇයට මේ දරඳඩුවීම හරහා උදව් කරන්නෙ. ඇගේ පඩිපෙලවල් වල පෙරලීම මානසික ව්‍යාධියක්. ඒ ව්‍යාධියයි පිරිමින් විෂයෙහි ඇගේ අදහස් වලයි යම් සම්බන්ධයක් තියෙනවා කියන්න බෑ.
කාන්තා සංවිධානය හරහා ඇය බටහිර සමාජ සංස්කෘතික රාමුව හඳුනා ගැනීම තුළ ලාංකීය පිරිමින්ගේ සමහර සීමාවන් ප්‍රශ්න කරනවා. උදාහරණයක් විදිහට සිද්ධුගෙ සිංදුව හරහා ඇය ඇයගෙ ඒ අදහස් එළියට දාන්න උත්සාහ කරනවා. ඒ කිසිම දෙයක් බොරු නෙවෙයි. අපි නොදන්නවා වුනාට බහුතරයක් කාන්තාවන්ගෙ සත්‍ය කතා. ගම්වල කසිප්පු බීලා ඇවිල්ලා, වැරැද්දටත් නිවැරද්දටත් ගැහැණුන්ට පහර දෙන පිරිමි, කසිප්පු වල පිහිටෙන් ගැහැණුන්ව ලිංගිකව පෙළන, යම් යම් කායික පෙළීම් වලින්, නැත්නම් වධ හිංසා වලින් සතුටුවෙන පිරිමි ඕන තරම්. දහමවීට එතනින් තියෙන බලපෑම තමයි ඇය හැම පිරිමියෙක්ම ඒ කතා තුලින් දකින්නට උත්සාහ කිරීම. නැත්නම් පිරිමි හැමෝම එහෙමයි කියලා දැකීම සහ ඒ දැක්ම නිසාම පිරිමින්ව අතේ දුරින් තියාගෙන ආශ්‍රය කිරීම. දහමවීගෙ මේ සිතුවිලි නිසාමයි මේ නවකතාව තුළට එක් කරන්න පුළුවන් සකිතරගෙ සහ දහමවීගෙ සුන්දර ලිංගික සම්බන්ධතාවයන් අඩු. මේ කතාව කියවපු කෙනෙක්ට හිතෙන්න පුළුවන් සකිතර වගේ ඕනෑ තරම් ගැහැණු ළමයින්ව ඇඳට ගත්ත මනුස්සයෙක් දහමවී විෂයෙහි විතරක් ඇයි එහෙම හැසිරෙන්නෙ කියලා. ඒකට හේතුව දහමවී පිරිමින් විෂයෙහි දරණ මේ ආකල්ප. ඒ නිසාම ඒ චරිතය උවමනාවෙන්ම ලිංගිකත්වයෙන් ඈත් වෙන්න ඉල්ලුවා. ඉතින් මම ඒ චරිතයට අවශ්‍ය විදිහට අනිත් චරිත වලට හැසිරෙන්න ඉඩ දුන්නා.
ඔව් ඔබ කියන මනෝ විශ්ලේෂණීය ගතිය කතාවට එක් කරන්න මම උවමනාවෙන්ම උත්සාහ කරා. ඒකට එක හේතුවක් තමයි, ලංකාවෙ එහෙම කතා ලියවෙන්නෙම නැති තරම්. අද කාලේ පවතින සාමාන්‍ය ආදර කතාවක් හරහා බැරෑරුම් මානසික තත්වයක් විස්තර කරන්න උත්සාහ කිරීමේදී ඒක එහෙම නොවුනානම් ඒ මනෝමූලික ව්‍යාධිය කෙනෙකුට හරි විදිහට අවබෝධ කරගන්න බැරිවෙයි කියලා මට හිතුනා. අනිත් එක මම මුලිනුත් කිව්වා වගේ මම කැමති ප්‍රශස්ත සහ ජනප්‍රිය අතර මැද්දෙ ඉඳගෙන ලියන්න. ජනප්‍රිය කතා කියවන්න කැමති අයත් මගෙ කතාව කියවන්න ඕන, මොකද ඒකෙන් තමයි මම බලාපොරොත්තු වෙන පරිකල්පනීය වෙනසක් ඒ අයට කරන්න මට පුළුවන් වෙන්නෙ. ඉතින් ඒ නිසා මනෝ විශ්ලේෂණීය ගතිය එන්නෙ කතාව සහ චරිත තුලින්ම ඒක ඉල්ලන නිසා. කොහොමත් ආදර කතාවක් හරහා මේ ප්‍රස්තුතය පාඨකයා අතරට ගෙනියන්න මට ඕන වුනේ මේක බහුතරයක් කියවන්න ඕන කියලා අදහසක හිටපු නිසයි.
මං අතරමං නවකතාවෙ මම දකින සුවිශේෂි ලක්ෂණයක් තමයි මෙහි ආකෘතිය. මේ කතාවේ ආකෘතිය ගොඩනැගීමට අපි කලින් කතාකරපු දහමවී. නැත්නම් මේ නවකතාවේ ප්‍රධාන චරිතය හේතු වෙනවා. ඇයගේ මානසික තත්වයත් එක්ක ඇගේ ආඛ්‍යානය අපිට විශ්වාස කරන්න බැරි එකක් බවට පත්වෙනවා. ඒ නිසාම මේ නවකතාව රේඛීය කාලරාමුවකින් මිදිලා ඒකටම අනන්‍ය බවක් ගන්නවා. මේ ආකෘතිය ඔබට කොහොමද නිර්මාණය වෙන්නේ?
මට බොරුවක් කියන්න ඕන නෑ, මම මේක පර්‍යේෂණ කරලා හොයාගත්ත ආකෘතියක් කියලා. ඇත්තටම එහෙම කිසිම අධ්‍යනයකින් ජනනය වුණු ආකෘතියක් නෙවෙයි. හැබැයි මම කලිනුත් කිව්වා මම ඕනම තැනක, අත් හදා බැලීම්, නිර්මාණාත්මක වෙනසක් කරන්න කැමති කෙනෙක්. මම රැකියාව තුලිනුත් නිර්මාණාත්මක වෙනසක් කරන්න උත්සාහ කරපු කෙනෙක්. මෙතනදිත් ඒ වගේ වෙනසක් මගෙ හිත ඉල්ලුවා. මට ඕනවුනේ ඇත්තටම මම මෙතෙක් කියවපු, සිංහල හෝ ඉංග්‍රීසි නවකතා වල නැති ආකෘතියක් නිර්මාණය කරන්න. ඒක මට ලේසි වුනා මේ කතාවෙ ප්‍රස්තූතය මගෙ ඔළුවට ආවට පස්සෙ. හේතුව මේ කතාවෙ ප්‍රධාන චරිතයේ මනෝ මූලික ව්‍යාධිය පාඨකයාට දනවන්න මට ආකෘතියෙනුත් උදව් ලබාගන්න මට ඕන වුනා. මේ ආකෘතිය නිර්මාණය වෙන්නෙ එහෙම. කතාවෙ ගලා යෑමටත්, පාඨක කුතුහලය අවසානය වෙනතෙක්ම රඳවාගන්නත් ඒ අකෘතිය රචකයා විදිහට මට උදව් කරා. මේ නවකතාව යම් තාක් දුරට සාර්ථක නවකතාවක් නම් ඒකට ප්‍රබල අත්වැලක් ආකෘතිය සපයනවා.
6. නවකතාව ලියන්න පටන් ගනිද්දි ඉස්සෙල්ලම ඔබේ මනසට එන්නේ කතාවද, නැත්නම් චරිතද?
මම මුලින්ම කතාව ගොඩ නගාගන්නවා. ඊට ගැළපෙන චරිතත් නිර්මාණය කරනවා. ඒ නිසා කතාවත් එක්කම චරිතත් මනසට එනවා කියන එකයි ඔබේ ප්‍රශ්නයට පිළිතුර.
හැබැයි කතාව ඇතුලෙ සමහරවිටක චරිත හැසිරෙන ආකාරය ඒ ඒ චරිතවලට ආවේණිකයි. විටෙක චරිතය ඉල්ලන වපසරිය ඇතුලෙ මම කතාවට අනුකූලව හැසිරෙන්න ඒ ඒ චරිත වලට ඉඩ දෙන අවස්ථාත් තියෙනවා.
තව දෙයක්, මම මේ කතාව තුළ චරිත කීපයක් පමණක් නම් කරලා ඒ චරිත ප්‍රබලව ගොඩ නගනවා. සමහර අතුරු චරිත නම් කරන්නෙත් නෑ. අවශ්‍ය වෙලාවට කරලියට ගේනවා පොදු ව්‍යවහාර නමකින්. ඒකට හේතුව වුනේ කතාව ඇතුලෙ තියෙන පරිකල්පනමය සිද්ධීන් අවබෝධ කරගන්නත් පාඨක මනස යම් වෙහෙසක් දරන්න අවශ්‍ය වෙන අතරෙ නම් ගොඩාක් මතක තියාගන්න වුනොත් ඒක කතාව අවබෝධ කරගන්න බාධාවක් වෙයි කියලා සිතීම. ඒක හිතලම මම එහෙම කරන්නෙ මේ කතාව වැඩි පාඨක පිරිසක් අතරට ගෙනයන්න ඕන නිසා.
මේ නවකතාව ඔබේ කුළුඳුල් නවකතාව. හැබැයි ඔබ මීට පෙර කවියෙහි කාලයක් පුරා වැඩකරපු කෙනෙක්. සාහිත්‍යයට ඔබ ප්‍රවේශ වෙන්නේ කොහොමද?
අපි හැමෝම සෞන්දර්යාත්මක මිනිස්සු, සංස්කෘතික මිනිස්සු. මම හිතන්නෙ මම කලාවෙ බොහෝ අංගයන්ට උපතින්ම දක්ෂතාවය දක්වපු කෙනෙක්. මම පුංචි කාලෙ ඉඳන්ම මගෙ අත්දැකීම් සහ අදහස් ප්‍රකාශ කරන්න ලිඛිත මාධ්‍යය භාවිතා කරපු කෙනෙක්. සමහරවිට ඒ ආභාසය ලැබුනේ තාත්තගෙන් වෙන්නත් පුළුවන්. මම ඒක දැනගෙනත් හිටියා. පුංචි කාලෙම මම අධ්‍යාපනය හදාරපු පාසලේ වාර අවසාන විවිධ ප්‍රසංගයක් තිබ්බෙ නෑ. අපි එතකොට තුන වසරෙ. ඒත් පාසලටම ඒ විවිධ ප්‍රසංගය කරේ අපි. නැටුවා, සිංදු කිව්වා, රඟ පෑවා, නාට්‍ය ලිව්වා. චරිත වලට නළු නිළියො තේරුවා. කලාවෙ හැම අංගයක්ම අත්පත ගෑවා මම ඒ පාසලෙන් ඉවත්වෙලා ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා මලියදේව බාලිකාවට එනතුරුම. හැබැයි එතනින් පස්සෙ මගෙ කලා හැකියාවන් ඔක්කොම කවියට පමණක් සීමා වෙනවා. මගෙ හැකියාවන් යම් තරමකට හරි පාසලේදී අවබෝධ කරගන්නෙ උසස් පෙළ කණ්ඩායම් ව්‍යාප්ෘතිය කරන්න අපිට වෙන් වෙන ගුරුතුමිය. මගෙ කණ්ඩායමේ බහුතරය වුනේ කලා විෂයන් හදාරන සොයුරියන්. අපේ ව්‍යාපෘතිය වුනේ පරිසරය සුරැකීම සම්බන්ධ ළමා නාට්‍යයක්. නමුත් ඒ වෙනකොට පරක්කු වැඩියි. අපි හිටියෙ පාසලේ අවසාන වසරේ. මම කලාවෙන් ගොඩාක් ඈත් වෙලා. හැබැයි කවිය මඟ හැරුනේ නෑ. විශ්ව විද්‍යාල සමයෙ මගෙ කවි ගොඩාක් පත්තරවල පළ වුනා. එහෙම එකතු කරපු කවි ඇල්බම් එකක්ම තියෙනවා. ඒ කාලෙ ලක්ශාන්ත අතුකෝරල මහත්මයාගෙ කවි වලට මම ගොඩාක් ඇලුම් කලා මතකයි. එයාගෙ කවියක් එක්ක මගෙ කවියක් පත්තරේ පළවුනාම මට නිකන් සම්මානයක් ලැබුනා වගේ.
ඒ නිසා මම විශ්ව විද්‍යාලයෙන් ඉවත් වෙන තුරුම කලාව ඇසුරේ නොයෙකුත් අත් හදා බැලීම් කරපු කෙනෙක්. බොහෝවිට මගෙ මාධ්‍යය වුනේ කවි. මගෙ කවි ගොඩක් ඒ අතර නවකතා කීපයක් ලියලා තියෙනවා. ඒ හැම කතාවක්ම යථාර්ථය ඇසුරින් ලියවෙච්ච කතා. පුංචි කාලෙ ඉඳන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමා කරන තුරුම මම ලංකාවෙ ස්වතන්ත්‍ර, පරිවර්තන බොහොමයක් කියෙව්වා. ඒත් මමත් නොදන්න, මට ඒ කාලෙ තේරුම් ගන්න අපහසුවෙච්ච යම් හිඩැසක් තියෙන්න ඇති. යම් ඒකාකාරී බවක් දැනුනා මතකයක් තියෙනවා. ඒ දවස් වල ඉංග්‍රීසි පොත් කියවන්න පටන් අරන් තිබ්බෙ නෑ. ඒත් එක්තරා දෛවෝපගත දිනයකදි මම අහම්බෙන් සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ ප්‍රේම පුරාණය කියවනවා. ඒ පොත පුරාම දිවෙන චරිතය මම පොඩි කාලෙ ඉඳන් දකින, වැඩිහිටියන් අගය කරන සමාජීය සංස්කෘතික කොටුවට පිටින් හිතන, හිතන දේ කරන චරිතයක්. ඒ නිදහස් පැවැත්ම වෙන්නැති මම ප්‍රිය කරන සමාජය. සමහරවිට මම ජීවත් වෙන්න ප්‍රිය කරන විදිහ සහ මම ලියන්නත් ප්‍රිය කරන විදිහ. මම හිතන්නෙ මගෙ ජීවිතයේත්, ලේඛණ කලාවෙත් හැරවුම් ලක්ෂ්‍ය එතන. මගෙ යම් බයක් තිබ්බානම් සමාජයට, සංස්ක්ෘතියට ඒ අඳුරු කඩතුරාව ඇරුනේ ඒ නවකතාවෙන්.
නමුත් රැකියා ජීවිතයේ ආරම්භයත් සමඟම මම විවාහ වුනා. ඒකෙන් කවියත් ටිකෙන් ටික මගෙන් ඈත් වුනා. මම වෘත්තියෙන් මානව සම්පත් කළමණාකරණ නිළධාරිනියක් විදිහට වැඩ කරන කාලෙ මගෙ නිර්මාණශීලී හැකියාවන් පාවිච්චි කරලා ගොඩාක් සමාජ සත්කාර කරන්න මට අවස්ථාව ලැබුනා. ඇඟලුම් ක්ෂේත්‍රයේ සාමාජික සාමාජිකාවන්ගෙ දරුවන් සහ ඒ අයගෙ පවුල් වල උදවිය, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සම්බන්ධ දැනුවත් කිරීම් කරන්න නොයෙකුත් වැඩසටහන් නිර්මාණය කරා. බට්ටිච්චෝ, මගේ පවුල රත්තරන්, EYES, Knowledge Matrix වගේ විවිධ වැඩ සටහන් හරහා කලාවට යම් සාධරණයක් කරන ගමන්ම යන්ත්‍ර වගේ මිනිස්සුන්ට යම්තාක් දුරට කලාවෙන් සහනයක් ගේන්න මම උත්සාහ කලා.

මේ නවකතාව පුරාම අපිට දකින්න ලැබෙන්නේ ආදරය බලාපොරොත්තුවෙන තරුණියක්. ඉසබෙල් අයියන්දේ මේ වසරේ නිකුත් කලා The soul of a women නමින් කෘතියක්. මේ කෘතියේ කාන්තාවකට මොනවද අවශ්‍ය? කියන පැනයට ඇය පවසන්නේ මෙවන් දෙයක්. කාන්තාවකට අවශ්‍ය ආරක්ෂාව, අගය කිරීම, සාමයෙන් ජීවත්වීම, තමන්ගේ ජීවිතය සහ ශරීරය පාලනය කරගන්න හැකියාව, මේ සියල්ලටම වඩා ආදරය. ඔබේ මේ නවකතාව පුරාම මේ කියන කාරණා සියල්ලම මම දහමවී කියන චරිතය තුළ දකිනවා. කාන්තාවක් විදියට ඔබ හිතන්නේ කොහොමද ඒ සම්බන්ධව?

මම ඉසබෙල් අයියන්දේගෙ ඒ පොත කියවලා නෑ. නමුත් මම ඇයත් සමඟ එකඟයි. ඔව් මේ කතාව පුරාම දහමවීට දැනුවත්ව හෝ නොදැනුවත්ව ආරක්ෂාව ඕන වෙනවා. ඒක කායික ආරක්ෂාව, මානසික ආරක්ෂාව දෙකම. ඇයගෙ පෞරුෂය තුලින් පෙන්වනවාට වඩා ඇය ආදරය අපේක්ෂා කරනවා. කාන්තාවක් විදිහට මමත් එහෙමයි කියල මම හිතනවා.
ඒකෙන් මම අදහස් කරන්නෙ මේ සමාජය දකින විදිහෙ ආරක්ෂාවක් නෙවෙයි. ගැහැණු කෙනෙක් නම් කසාද බැඳලා ස්වාමියා යටතේ සියළු දේ කළ යුතුය සහ ඔහුගෙන් ආරක්ෂාව ලැබිය යුතුය කියන එක නෙවෙයි. කාන්තාවකට මේ මානසික හා කායික ආරක්ෂාව සමාජය විසින්ම හැදිය යුතුයි. ඇය බලාපොරොත්තු වන ආදරය සහ ගෞරවය අරගලයකින් තොරවම ලැබිය යුතුයි. අපි හැමෝම මනුෂ්‍යත්වයට ආදරය කරනවා නම් ගෞරව කරනවා නම් එතනදි කාන්තාවන් විතරක් විශේෂකොට සළකන්න අවශ්‍යතාවයක් නෑ. මම ගෑණියෙක් වුනත් පිරිමියෙක් වුනත් මනුෂ්‍යයෙ ක් විදිහට මට ලැබෙන්න ඕන දේ අනෙකාටත් ලැබෙන්න ඕන. මෙන්න මෙතනින් පිට හිතන නිසා තමයි ගැහැණියකට අවශ්‍ය මොනවද කියන හැමෝම අතරමං වෙන්න පුළුවන්.
සංවාද සටහන- රශ්මික මණ්ඩාවල

සබැඳි

Leave a Reply

Your email address will not be published.