දේශබන්දුගෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් : සා.පෙළ සිසුවෙකුත් අත්අඩංගුවට අරන් !

බස්නාහිර පළාත බාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අනීතික නියෝගයක් ඉටුනොකිරීම නිසා බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා වහාම මාරු කිරීමට ඔහු කටයුතු කර තිබේ.

ස්ථානාධිපතිගෙන් අභියාචනයක්

පසුගිය මැයි 19දා පොලිස්පතිවරයා විසින් මීට අදාළ නියෝගය නිකුත් කර තිබේ. නියෝගය නිකුත් කිරීමත් සමග බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති ආර්.එම්.ආර්.ප්‍රසන්න විසින් නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අල්විස් වෙත මේ පිළිබඳ අභියාචනයක් යොමු කර තිබේ. එම අභියාචනයේ සඳහන් කර ඇත්තේ අරගලකරුවන් විසින් අරලියගහ මන්දිරය ඉදිරිපිට සවිකර තිබූ හට් එකක් ඉවත් කරන ලෙස දේශබන්දු තෙන්නකෝන් ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම නිසා පොලිස්පතිවරයා මගින් මෙම ස්ථාන මාරුව සිදු කර ඇති බවයි.

නියෝගය නීත්‍යනුකූල ද?

දේශබන්දු තෙන්නකෝන් මෙම නියෝගය ලබාදී ඇත්තේ පදිකයන්ට හිරිහැර වන ලෙස ඇති අදාළ හට් ඉවත් කරන ලෙස අධිකරණයෙන් නියෝග කිරීමට පෙර ය. එම නිසා පොලිස් ස්ථානාධිපතිවරයා එම නියෝගය ඉටු කර නැති බව ද එහි සඳහන් ය.

විමර්ශන සාර්ථක වෙයිද?

දේශබන්දු තෙන්නකෝන් විසින් අරගලකරුවන්ට එල්ල කරන ලද ප්‍රහාරය පිළිබඳ සාක්ෂිකරුවකුට මෙසේ බලපෑම් කිරීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් ද විමර්ශනයක් ආරම්භ කර තිබේ. අදාළ අභියාචනය සලකාබැලීමෙන් පසු මේ වන විට තාවකාලිකව පොලිස් ස්ථානාධිපතිවරයාගේ ස්ථාන මාරුව අවලංගු කර තිබේ.

ස්ථානාධිපතිටත් චෝදනා

මෙම පොලිස් ස්ථානාධිපතිවරයා ද මීට පෙර දේශපාලන පක්ෂපාතීත්වය ඇතුළු චෝදනා රැසක් එල්ල වූ අයෙකි. වරක් මේ චෝදනා නිසා ඔහු ව ධුරයෙන් පහත හෙළීමට ද පොලිස් විශේෂ විමර්ශන ඒකකය නියෝග කර තිබිණි.

අධිකරණය සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි

ගෝල්ෆේස් ප්‍රහාරය සම්බන්ධයෙන් ඩෑන් ප්‍රියසාද් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන කොළඹ – මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පෙන්වා දී තිබුණේ මේ අපරාධය වළක්වා ගැනීමට කටයුතු නොකළ බස්නාහිර පළාත බාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම බරපතළ කරුණක් බවයි. එහිදී මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබිණි. ඔවුන් මහේස්ත්‍රාත්වරයාට පවසා තිබුණේ දේශබන්දු තෙන්නකෝන්ගෙන් ලබාගත් ප්‍රකාශවලින් අනාවරණය වූ කරුණු මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

වරප්‍රසාද ලත් සැකකරුවෙක් ?

එහිදී නීතිඥවරුන් පෙන්වා දී තිබුණේ අනෙකුත් සැකකරුවන්ට ලබානොදෙන වරප්‍රසාද, තවත් සැකකරුවෙකුට ලබාදීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. මේ පිළිබඳ විශේෂ අවධානය යොමුකරන බව මහේස්ත්‍රාත්වරයා ද සඳහන් කර තිබිණි.

සීඅයිඩී අධ්‍යක්ෂටත් බලපෑම්

මේ අතර දේශබන්දු තෙන්නකෝන් විසින් සිය නිල බලය යොදාගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට අදාළ විමර්ශන පිළිබඳ බලපෑම් කරමින් සිටින බව ද පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එහි එක් සිදුවීමක් ලෙස දේශබන්දු තෙන්නකෝන් විසින් අධ්‍යක්ෂවරයා අමතා, විමසා ඇත්තේ තමන් ප්‍රහාරය අවස්ථාවේ නිවැරදි ව රාජකාරි කළ බව අධිකරණය ඉදිරියේ නොපැවසුවේ ඇයිද යනුවෙනි. මේ පිළිබඳව අධ්‍යක්ෂවරයා විසින් සටහනක් ද යොදා ඇති බව අදාළ ආරංචි මාර්ග අවධාරණය කරයි.

ජනාධිපති උපදෙස මතකද?

එසේම අප මීට පෙර ද අනාවරණය කළේ ගෝල්ෆේස් ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින, නීතිපති දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දී ඇති පිරිසෙන් එක් අයෙකු හැර, අනෙක් සියල්ලන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට උපදෙස් ලැබී ඇති බවයි. එසේ අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇතැයි පැවසෙන්නේ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙනි.
ඔහුගෙන් පැය 10ක කාලයක් ප්‍රශ්න කිරීමට පමණක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි. මීට අදාළ අනෙකුත් සාමාන්‍ය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අදාළ කටයුතු වේගයෙන් සිදුවෙමින් තිබේ.

මහින්ද තවමත් නිදොස්

එහෙත් මෙම අයුතු ජනරාශිය කැඳවීමේ වගකීම සහිත හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස හෝ සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස මෙතෙක් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී නැත.

පොලිසිය සීසීටීවී පීරයි

මේ අතර පසුගිය 09දා ගෝල්ෆේස් ප්‍රහාරයට සමගාමීව රට පුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට වගකිවයුත්තන් ලෙස හඳුන්වමින් පුද්ගලයන් සිය ගණනක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. සීසීටීවී කැමරා දර්ශන නිරීක්ෂණය කරමින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකරන බව වාර්තා වේ.

සා.පෙළ සිසුවෙකුත් අත්අඩංගුවට

එවැනි එක් අත්අඩංගුවට ගැනීමක් අද (22) උදෑසන එරාවුර් ප්‍රදේශයෙන් වාර්තා විය. හෙට (23) සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටීමට නියමිත සිසුවෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ ගිනි තැබීම් ස්ථානයක් ආසන්නයේ සිටි බවට වීඩියෝ දර්ශන ඇති බව පවසමිනි. මොහොමඩ් බිලාල් මොහොමඩ් අෆ්සාල් නම් මෙම සිසුවා, එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.