කටුගෙවල් හදන එකත්, බිඳින එකත් සිනමාවේ වැඩක්

ප්‍රභාත් අගම්පොඩි විසින් විරචිත “පශ්චාත්නූතන සිනමාව” නම් අපූරු සිනමා සාහිත්‍යය සංරචනය පශ්චාත්නූතන සිනමාව ගැන කෙරුණු ප්‍රාමාණික ශාස්ත්‍රාලීය අධ්‍යයනයක ප්‍රකාශනයක්. සුජාත ශාස්ත්‍රීය අධ්‍යයන ක්‍රමවේදයන් සහ අධිපති ශාස්ත්‍රාලීය දැනුමට ඔබ්බෙහි නොදැනුම වෙත ඇහැරුණු විකල්ප දැනුම් ක්ෂේත්‍රයක් ශාස්ත්‍රාලීය විනයකින් ලිවීමේ අභියෝගය ප්‍රභාත් හොඳින් ජයගෙන ඇත. අධිපති නූතනත්ව ශ්‍රව්‍ය-දෘශ්‍ය සංස්කෘතියට ප්‍රතිවිරෝධීව මතුවන පශ්චාත්නූතන සිනමා ධාරාව දෘෂ්‍යමය සංස්කෘතිය උඩුයටිකුරු කරන්නක් විය.
ධනේශ්වරයේ කලා මාධ්‍යයන් අතර ඉහලින් ම වැජඹුණු නූතන සිනමාව මගින් තත්වාකාරයෙන් වරනැගීමට උත්සහ ගත් පුද්ගලත්වය, පවුල , සමාජය , ජීවිතය, ඉතිහාසය , ස්ත්‍රිය,පරිසරය…..යනාදිය පශ්චාත්නූතන සිනමාව අධියථාර්ථමය දෘෂ්‍යමය භාෂාවකින් අභියෝගයට ලක් කළේ ය. නූතන සිනමාවෙන් අධිනිශ්චය කළ ලිංගිකත්වය වෙනුවට පශ්චාත්නූතන සිනමාපට තුළ අප දකිනුයේ ලිංගිකත්වයේ සංක්‍රාන්ති තත්වයකි. පුද්ගලත්වය වෙනුවට අපුද්ගලත්වය, වේෂනිරූපණය පශ්චාත්නූතන සිනමාව මගින් නිරූපිත ය. මනෝවිශ්ලේෂණයේ ආභාසයෙන් අවිඥානය එහි වැඩබිම බවට පත් විය. පැවැත්ම වෙනුවට නො පැවැත්මත්, සක්‍රීය සහභාගීත්ව පාඨකත්වයත්, ඒක සත්‍යය වෙනුවට බහු සත්‍යයත්, මහා ආඛ්‍යාන වෙනුවට චූල ආඛ්‍යානත් එහි සිනමා සංරචක බවට පත් විය. මුළ,මැද, අග ගැලපූ ආඛ්‍යාන ශෛලියෙන් පශ්චාත්නූතන සිනමාව ප්‍රති-ආඛ්‍යාන ශෛලියට මාරු වෙයි.
මෙකී සිනමා ධාරාව පූර්ව නිශ්චිත කියවීම් අසමත් කරන අතර හැඟවුමට වඩා හැඟවුම්කාරකයට බර තබයි. එසේම ශානරීයත්වයෙන් අන්තර් ශානරීයත්වයට සහ අන්තර් වියමනට ගමන්කරයි. නො පවත්නා දේ අධිනිශ්චය කිරීම නිසා මෙම සිනමාවේ කර්තෲන් මිය යයි. හිදැස නොහොත් හිස්කමෙහි ක්ෂතියෙන් පශ්චාත්නූතන සිනමාව අබිමුව ප්‍රේක්ෂකයා මැරි මැරී උපදියි. එහි දී ලෝකය ගැන කප්පරක් සිතුවිලි බිඳි බිඳී විසිරෙයි. සංඛත චිත්තය විසංකාරව ක්ෂය වෙයි.
මේ නිසා පශ්චාත්නූතන සිනමාව ප්‍රපංචයෙන් නිශ්ප්‍රපංචයට ගමන් කරන්නකි. ඒ තුළින් ප්‍රේක්ෂකයා කාටිසියානු භාවනාවකට ගෙන යනවා යැයිද කිව හැකි ය. මක්නිසාද යත් එහි දී අපව සිනමා සංඥාවක දැහැන්ගත කරනවා වෙනුවට හැඟවුම්කාර දාමයක් දෙස ඔහේ බලා සිටීමට සලස්වන නිසාය. මේ නිසා එය අපේ ම සිතුවිලි ක්‍රියා කරන ආකාරය දෙස හුදෙක් බලා සිටීමක් වැනි ය.
ප්‍රභාත් ,පශ්චාත්නූතන සිනමාවේ සෑම අංශයක් ගැන ම විශ්ලේෂණයක යෙදෙයි.
පශ්චාත් නූතනවාදය, ලෝක සිනමාවේ පශ්චාත්නූතන සිනමාපට, පශ්චාත්නූතන සිනමාවේ සුවිශේෂී ලක්ෂණ පිළිබඳ පූර්විකාවක් ඔස්සේ යමින් ඔහු සිංහල සිනමාපට කිහිපයක් පිළිබඳ පුළුල් විමසුමක් සිදු කරයි. අක්ෂරය සිනමාපටයේ පශ්චාත්නූතන ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කරන පරිච්ඡේදයේ ඔහු උපුටා දක්වන
අක්ෂරයේ දෙබස් ස්වභාවිකකරණය වූ සිංහල බෞද්ධ අධිපති දෘෂ්ටිවාදයට විරුද්ධ මහපොළවේ අරගලයට කොයිතරම් ජවයක් සපයන්නේ දැයි සිතෙයි.
ආරක්ෂක නිලධාරියා :
කටුගෙයක් ඇතුළට වැද්දගන්නේ ඒකේ අරමුණුවලට ගැලපෙන අය විතරයි.
විනිසුරුවරිය :
කටුගෙයකට අරමුණක් තියෙනව ද?
ඇත්තෙන් ම පශ්චාත්නූතනවාදී සිනමාව සිදුකරන්නේත් කටුගෙවල් කඩන එක නෙමේ ද? කටුගෙවල් හදන එකත් කඩන එකත් සිනමාවේ වැඩක්.
අනේක වූ සමාජ නිර්මිත, සංඥා දෛනිකව අපට මුණගැසුනත් ඒවා සමාජ ඉතිහාසය සමඟවත් අපගේ පෞද්ගලික ඉතිහාසය සමඟවත් සම්බන්ධයක් නැත්තා සේය. පශ්චාත්නූතන සිනමාවෙන් නිරූපණය කෙරෙනුයේ අතීතය සහ අනාගතය පිළිබඳ හැඟීම අතුරුදන් වුණු සමාජයකි. මේ තුළ සදාතනික වර්තමානයක අථත්‍ය වේදනාවකට පුද්ගලයා ඇද වැටෙයි. මේ තුළ ඉදිරිගාමීත්වය යනුවෙන් දෙයක් ද නැති අතර කලින් සංකල්පීයකරණය කරන ලද කිසිදු ආඛ්‍යානයකින් මෙම නව තත්ත්වය තේරුම් ගැනීමට හෝ පාලනය කිරීමට නො හැකි ය. සිනමා රූපයක් යනු හැඟවුම්කාරකයක් මිස යථාර්ථයක් නො වේ.අක්ෂරයේ විසංයෝජනය නම් උප මාතෘකාවෙන් ප්‍රභාත් මෙය පෙන්වා දෙයි. කර්තෘගේ ආධිපත්‍යයෙන් තොර සිනමා වියමනක් යනු හිස්කමක් සහිත සිනමා (නො)නිර්මාණයකි.
මෙවැනි විශ්ලේෂණයන් ඔස්සේ යමින් තනිතටුවෙන් පියාඹන්න, සුළඟ එනු පිණිස, ඉර මැදියම වැනි සිනමාපට තුළ පශ්චාත්නූතන ලක්ෂණ විමසමින් ප්‍රභාත් ලියා ඇති මෙම ග්‍රන්ථය සිනමා සාක්ෂරතා පෝෂණයට කළ ප්‍රශස්ථ දායකත්වයකි.
– ප්‍රියන්ත ජයරත්න

Leave a Reply

Your email address will not be published.